'රාජපක්ෂ අර්ථ ශාස්ත්‍රය' : නව ලිබරල් විරෝධී ද?




  | අහිලන් කදිරගාමර් 

ණ්ඩුවේ සති තුනක ඛේදජනක ආණ්ඩු කාලය සහ පාර්ලිමේන්තුවේ පසුගිය දවස්වල රග දැක්වූ චණ්ඩිකම්වල සංදර්ශනය විසින් රට බරපතල දේශපාලන අර්බුදයකට ඇද දමා ඇත. ජනමාධ්‍යවල සහ ප්‍රසිද්ධ සාකච්ඡාවල මේ ගැන කෙරෙන අවධානය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථානුකූලභාවය කෙරෙහි යොමු වී තිබෙන නමුදු වඩාත් ගැඹුරු ලෙස සලකා බලන්නේ නම්, අර්බුදයේ මූලය ගැබ්වී තිබෙන්නේ අස්ථාවරත්වය සහ අස්වාමීකරණය ඇති කිරීමට හේතු වී තිබෙන, දශක ගණනාවක් පුරාවට අනුගමනය කල නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තීන් තුලය.

පසුගිය සති කිහිපය තුල, තමන්ගේ ජාතිකවාදී ව්‍යාපෘතිය ජනප්‍රිය කරවීම සදහා රාජපක්ෂ හිතවාදී න්‍යායධරයින් නව ලිබරල්වාදය පිලිබද විකෘති චිත්‍රයක් ඉදිරිපත් කිරීමට පටන් ගෙන තිබේ. ඔවුන් කියන පරිදි රාජපක්ෂව අගමැති ලෙස පත්කිරීම අවශ්‍ය වූයේ වසර තුනක කාලයක් තුල අනුගමනය කල නව ලිබරල් ආර්ථික පිලිවෙත් විසින් ඇති කල ආර්ථික විනාශය ආපසු හැරවීම සදහා සහ එමගින් ලංකාවේ ජාතික ස්වාධිපත්‍යයට වූ හානිය වලක්වා ගැනීම සදහාය. මෙම කියැවීම අනුව ලංකාවේ දේපල විදේශවලට විකිණීම නතර කිරීම සහ රටේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම පවතින ආර්ථික අර්බුදය ආමන්ත්‍රණය කිරීමෙහිලා ප්‍රමාණවත්ය. රාජපක්ෂගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලනය පසෙකින් තිබිය දී නව ලිබරල්වාදය ගැන මෙම විකෘති අදහස අභියෝගයට ලක්කිරීම වැදගත්ය. රාජපක්ෂ විසින් ඉදිරිපත් කරන මෙම ජාතික ස්වාධිපත්‍යය කතිකාව භයානකය. මන්ද ඒ තුල සුලු ජාතික කොටස් වලට එරෙහි වාර්ගික ජාතිකවාදය ප්‍රවර්ධනය කෙරෙන නිසා සහ නව ලිබරල් ධනවාදය යටතේ සාමාන්‍ය ජනයා මුහුණ දෙන අති මහත් අස්වාමීකරණ ක්‍රියාවලිය ආමන්ත්‍රණය නොකෙරෙන නිසාය.

ප්‍රතිවිරෝධතා

නිදහස් වෙලද ගිවිසුම් හා ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථාන ආදී නව ලිබරල් ක්‍රියාමාර්ග ආක්‍රමණශීලී ලෙස ප්‍රවර්ධනය කිරීමට වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය ක්‍රියා කල බව සත්‍යයයකි. නමුත් ඒ වගේම පැහැදිලි ලෙස සටහන් කරගත යුතු කාරණය වන්නේ මූල්‍යකරණය, වෙලදාම ලිහිල් කිරීම සහ විදේශ ණයවල පදනම මත සිදුකරන දැවැන්ත යටිතල පහසුක්ම් සංවර්ධන හා නාගරිකකරණ ව්‍යාපෘතීන් රාජපක්ෂගේ ආර්ථික වැඩසටහනේ ද කේන්ද්‍රය සංයුක්ත කල බවයි. එහෙත් වරාය නගර ව්‍යාපෘතිය, ෂැංග්‍රිලා හෝටලය හා හම්බන්තොට වරාය ආදී වූ රාජපක්ෂ රජයේ ක්‍රියාමාර්ග අමතක කරන රාජපක්ෂවාදී න්‍යායවේදීහු සිංගප්පූරු වෙලද ගිවිසුම සහ හම්බන්තොට වරාය සහ කොලඹ වරායේ නැගෙනහිර පර්යන්තය බදු දීම ආදී ක්‍රියාමාර්ග පමණක් ‘නව ලිබරල්වාදය’ ලෙස හදුන්වති.  

නව ලිබරල්වාදය ගැන මෙම පටු නිර්වචනය අප්‍රමාණවත්ය. මන්ද යත් ඒ තුල මහජනයාගේ ජීවිතවලට බලපාන ආර්ථික ක්‍රියාවලීන් සහ ගතිකයන් ආමන්ත්‍රණය නොවන බැවිනි. රාජ්‍ය දේපල හා ජාතික ව්‍යාපෘතීන් විදේශවලට පවරා දීම කෙරෙහි පමණක් අවධානය ලඝු කරන මෙම ප්‍රවේශය ආර්ථික ජාතිකවාදයේ දේශපාලනය නියෝජනය කරයි. වෙනත් වචනවලින් කියනවා නම්, මේ තුල අවධානය යොමු වන්නේ ක්‍රියාවලිය හසුරුවනු ලබන්නේ ජාතික හෝ විදේශීය ප්‍රාග්ධනය විසින් ද නැද්ද යන්න කෙරෙහිය. ප්‍රාග්ධනයේ හැසිරීම ගැන විවේචනයක් හෝ එම හැසිරීම තුලින් ජනිත වන විවිධ වර්ගවල සූරාකෑමේ හා අස්වාමීකරණයේ ප්‍රවර්ගයන් ගැන අදහසක් මේ කතිකාව තුල නැත.

මූල්‍ය ප්‍රාග්ධනය

නව ලිබරල්වාදය ගැන මේ සරලමතික කතිකාව වෙනුවට එහි යථාර්තයන් ගැඹුරින් ස්පර්ශ කරන සාකච්ඡාවක් අපට අවශ්‍යයය. මාක්ස්වාදී භූගෝල ශාස්ත්‍රඥ ඩේවිඩ් හාර්වි සහ වෙනත් චින්තකයින් විසින් හදුන්වනු ලබන ආකාරයට නව ලිබරල්වාදය වූ කලී මූල්‍ය ප්‍රාග්ධනය විසින් ක්‍රියාත්මක පංති ව්‍යාපෘතියකි. ධනවාදී නිෂ්පාදන ක්‍රියාවලිය තුල සිදුවන ශ්‍රම සූරාකෑමට අමතරව නව ලිබරල් යුගයේ තිබෙන විශේෂ ලක්ෂණය වන්නේ මූල්‍ය ප්‍රාග්ධනය විසින් මහජනයාට ඔවුන්ගේ ධනය, වත්කම් සහ හිමිකම් අහිමි කරනු ලැබීමය. අස්වාමීකරණය යනු මෙයයි. අවශ්‍ය වූ විට අස්වාමීකරණය සදහා බලය යොදනු ලැබේ. සාමාන්‍ය ජනයා භුක්ති විදින ඉඩම් හා සම්පත් කොල්ලකෑම සදහා රාජ්‍ය බලය යෙදවීම ඊට උදාහරණයකි. තවද, නව ලිබරල් ගෝලීයකරණය තුල ගෝලීය හා දේශීය ප්‍රාග්ධනය අතර පෙර තිබුණු බෙදීම වියැකී ගොස් තිබේ. මක්නිසාද යත්, සෑම රටකම බැංකු සහ මූල්‍ය ප්‍රාග්ධනය ගෝලීය මූල්‍ය පද්ධතිය සමග ආබද්ධ වී තිබෙන නිසාය. මේ නිසා ප්‍රශ්නය මූල්‍ය ප්‍රාග්ධනයය. මේ තුල ගෝලීය මූල්‍ය ප්‍රාග්ධනය මෙන්ම එහි දේශීය මූල්‍ය හවුල්කරුවන් ද සංයුක්ත වී සිටින අතර නව ලිබරල්වාදය තුල ජයග්‍රහණය කරන්නේ මෙකී මූල්‍ය ප්‍රාග්ධනයයි. එම ක්‍රියාවලිය තුල පරාජයට පත්වන්නේ වැඩ කරන ජනයා ඇතුලු පොදු ජන කොටස්ය.

1978 ලංකාවේ ආර්ථිකය විවෘත කල තැන් පටන් ලංකාව තුල මූල්‍ය අංශය අති මහත් ලෙස ප්‍රසාරණය වී තිබේ. මෙම ප්‍රසාරණය වරින් වර සිදුවන අර්බුදවලින් සංයුක්ත වූවකි. මෙම අර්බුදය මූල්‍ය සමාගම් හා ඇතැම් විට බැංකු බංකොලොත් වීම මගින් ප්‍රකාශිතය. පසුගිය දශකය තුල මූල්‍ය අංශයේ ප්‍රසාරණය වීම අතිමහත් පරිමාණයෙන් සිදුවූ අතර මේ සදහා බලපෑ ප්‍රධානතම හේතුව වූයේ යුද්ධය අවසාන වීමත් සමග ගෝලීය ප්‍රාග්ධනය රට තුලට ගලා ඒමය. ලංකාවේ බොහෝ මූල්‍ය සමාගම් දේශීය මූල්‍ය ධනපතීන් විසින් ආරම්භ කරනු ලැබූ ඒවා හා ඔවුන් සතුව අයිතිය පවතින ඒවාය. ප්‍රධාන පෙලේ බැංකු කිහිපයක් රජය සතුය. ගෝලීය මූල්‍ය ධනපතීන් විසින් කරනු ලැබූ අයෝජන හා ණය දීම් මගින් මෙම සමස්ත මූල්‍ය හා බැංකු පද්ධතිය ගෝලීය මූල්‍ය පද්ධතිය සමග අවශෝෂණය කෙරිණ. ලීසිං, ක්ෂුදු මූල්‍ය ණ්‍ය හා උකස් වෙලදාම ආදී විවිධ ප්‍රභෙදවලින් සිදුවූ මූල්‍ය අංශයේ දැවැන්ත ප්‍රසාරණය පසුපස පවතින්නේ මෙලෙස අන්තර්ජාතික මූල්‍ය පද්ධතිය හා ආබද්ධිත මූල්‍ය ප්‍රාග්ධනයේ ක්‍රියාකාරීත්වයයි. වැඩ කරන ජනකොටස්වල ණයභරිතභාවය ඉහල නංවමින් ඔවුන් අස්වාමීකරණයට ලක්කිරීමෙහිලා විසාල වශයෙන් වග කිව යුතු වන්නේ මෙන්න මේ මූල්‍ය ප්‍රාග්ධනයයි.

පෙනී යන ලෙස අපට ඇත්තේ ඉතා කෙටි මතකයකි. මූල්‍ය ප්‍රාග්ධන සමුච්චනය සදහා මාර්ග සම්පාදනය කිරීමේ පෙරමුණෙහි සිටියේ රාජපක්ෂ ආණ්ඩුවය. ප්‍රාග්ධන වෙලදපොලවල් ප්‍රවර්ධනය, සේවක අර්ථ සාධක අරමුදල් කොලඹ කොටස් හුවමාරුව උත්තේජනය කිරීම සදහා යොමු කිරීම, රක්ෂණ ක්ෂෙත්‍රයේ ප්‍රසාරණය, යුද්ධයෙන් ඉක්බිති විශාල ජාත්‍යන්තර ණය ගැනීම කෙරෙහි රජයේ බැංකු යොමු කිරීම - මේ ආදී වූ ක්‍රියාමාර්ග ජාතික ආර්ථිකය අති විසාල ලෙස මූල්‍යකරණය කිරීම සහ එය ගෝලීය මූල්‍ය ප්‍රාග්ධනය සමග ගැටගැසීම කෙරෙහි බලපෑවේය. ගෝලීය ප්‍රාග්ධන ගලනයේ වැඩි පංගුවක් දේපල වෙලදාම් ක්ෂෙත්‍රය තුල ආයෝජනය කෙරිණ. විශාල සුඛෝපභෝගී මහල් නිවාස ඉදිකිරීම මේ අතර කැපී පෙනුනු අතර නාගරිකකරණය සහ කොලඹ නගරය අලංකරණය ආදී වැඩපිලිවෙලවල් මගින් මෙම ක්‍රියාවලියට රජය පහසුකම් සැපයීය. කොටස් වෙලදපොලේ වර්ධනය හා දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය පදනම් වන්නේ සමපේක්ෂණය මතයි. මෙම සමපේක්ෂණ ක්‍රියාවලිය මූල්‍ය ප්‍රාග්ධනය වෙත අති මහත් ලාභ උපයා දීමෙහි සමර්ථ වූවද අනෙක් අතට වැඩ කරන ජනකොටස්වල අස්වාමීකරණය කෙරෙහි බලපායි. සමපේක්ෂණය නිසා ඇති වන ආර්ථික බුබුලුවලට පසු ඇති වෙන කඩා වැටීම්වල බර ආණ්ඩු විසින් සමාජ සුබසාධන කප්පාදු කිරීමේ හා මහජන සේවාවන් පෞද්ගලිකකරණය කිරීමේ වේශයෙන් මහජනයා වෙත විතැන් කරනු ලැබේ. නව ලිබරල් සමුච්චනය නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවාව ආදී පොදු ජනයාගේ හිමිකම් ඉලක්ක කරයි. අධ්‍යාපනය පෞද්ගලිකකරණය හා වාණිජකරණය මගින් හා පෞද්ගලික සෞඛ්‍ය සේවාව හා සෞඛ්‍ය රක්ෂණ කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම මගින් මෙකී සේවාවන් ලාභ උපයන ව්‍යාපාර බවට හැරවීමට මූල්‍ය ප්‍රාග්ධනය උත්සාහ කරයි.

මෙම සන්දර්භය තුල, පසුගිය දශකය තුල සමාජ අසමානතා රට තුල බරපතල ලෙස ඉහල නැංගෙය. මෙම අසමානතාවය ආදායම් විෂමතාවය තුල මෙන්ම සමාජ සුබසාධනය සදහා වූ ප්‍රවේශය තුල ද දැකගැනීමට පුලුවන. අනෙක් අතට, මූල්‍ය හා ඉදිකිරීම් අංශවල සිදුවූ සමුච්චනයේ ප්‍රතිඵල ලෙස උපයා ගත් ස්වකීය අලංකෘත ප්‍රාසාදයන් හා සුඛෝපභෝගී වාහන ප්‍රදර්ශනය කරමින් සුලුතර ධනවත් පංතියක් විරාජමානී ලෙස මතු වී සිටී.

ආර්ථික ජාතිකවාදය

2015 ට පසු සිරිසේන-වික්‍රමසිංහ රජය විසින් අනුගමනය කල නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති හරයෙන් ගත් කල පශ්චාත් යුද සමය තුල රාජපක්ෂ අනුගමනය කල ආර්ථික පිලිවෙත්වලින් වෙනස් නොවේ. රාජපක්ෂ න්‍යායවේදීන් විසින් ඉදිරිපත් කරන ‘නව ලිබරල්වාදය පිලිබද විවේචනය’ දුර්වල එකක් වන්නේ මේ නිසාය. ජාතික ස්වාධිපත්‍යය අවතක්සේරු කිරීම ගැන ජාතිකවාදී තර්ක මත එල්ලී සිටීමට ඔවුනට සිදු වී තිබේ. එහෙත් උත්ප්‍රාසාත්මක ලෙස, දශකයකට පමණ පෙර, ස්වෛරීත්ව බැදුම්කර අලෙවිය මගින් ණය ගැනීම ආරම්භ කලේ රාජපක්ෂ ආණ්ඩුවමය. බිලියන ගණන් වටිනා එක්සත් ජනපද ඩොලර් ලෙස ලබාගත් මෙම ණය ඉදිරි වර්ෂ කිහිපය තුල ආපසු ගෙවීමට ලංකාවට සිදුවී තිබෙන අතර ගෝලීය මූල්‍ය ප්‍රාග්ධනය විසින් පිටුබලය ලබන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනවලට රට තුල තව තවත් නව ලිබරල් ප්‍රතිසංස්කරණ ඇති කිරීම සදහා බලපෑම් කිරීමට අවස්ථාව සපයා දී තිබෙන්නේ මෙලෙස ඇති වූ ණය අර්බුදය විසිනි.

ද්වීපාර්ශවීය වෙලද හා ආයෝජන ගිවිසුම් සහ ලංකාවේ දේපල විදේශ සමාගම්වලට විකිණීම කෙරෙහි අවධානය යොමු කිරීම මත ජාතික ස්වාධිපත්‍යය මත පදනම් වූ ජාතිකවාදී ආර්ථික තර්කය ගොඩනැගී තිබේ. එහෙත් දේශීය මූල්‍ය ප්‍රාග්ධනය විසින් අනුගමනය කරන ව්‍යාපෘතීන් නිසා ඇති වී තිබෙන සූරාකෑමේ සහ අස්වාමීකරණයේ බලපෑම් ගැන හෝ ඒවායේ ප්‍රතිඵල ලෙස විවිධ ජනකොටස් හා දේශීය සහ විදේශීය මූල්‍ය ප්‍රාග්ධනය සමග අතර ඇති වී තිබෙන ඝට්ටනය ගැන විවේචනයක් ඒ සතුව නැත. ඊට අමතරව නව රාජපක්ෂ ආණ්ඩුවේ සති තුනක ආර්ථික ව්‍යාජෝකීන් තුල අප දුටුවේ මොනවාද? විදේශ ආයෝජනවල වැදගත්කම ගැන සහතික දීම්වලින් සමන්විත මෙම ව්‍යාජෝක්තීන් ‘නව ලිබරල්වාදයට විරුද්ධ’ රාජපක්ෂ න්‍යායවේදීන් විසින් අමතක කොට තිබේ. නැතිනම් නුදුටුවා සේ සිටී.

මේ ප්‍රතිවිරෝධතා පසෙක තිබියදී, අප වටහා ගත යුත්තේ රාජපක්ෂවාදී විවේචනය නව ලිබරල්වාදය හෝ මහජන ස්වාධිපත්‍යය පිලිබද වූවක් නොවන බවයි. මහජන ස්වාධිපත්‍යයට පක්ෂ හා නව ලිබරල්වාදයට විරුද්ධ අවංක විවේචනයක් අවශ්‍යයෙන්ම මහජනයාට මුහුණ දෙන්නට සිදුවී තිබෙන සූරාකෑමේ හා අස්වාමීකරණයේ බලපෑම් ගැන සංවේදී විය යුතුය. ඊට සිය විරෝධය පල කල යුතුය. ඇත්ත වසයෙන්ම, පවතින රාජපක්ෂවාදී විවේචනය ජාතිය හා ජාතික ස්වාධිපත්‍යය සම්බන්ධ වූවකි. රාජපක්ෂ ආණ්ඩුව සදහා අවශ්‍ය ජාතිකවාදී සහය ගොනු කරගැනීම මෙම විවේචනයේ අරමුණයි.

බලය සංකේන්ද්‍රණය කරගැනීමේ මෙම ජාතිකවාදී ව්‍යාපෘතිය බාහිර බලපෑම් පිලිබද භීතීන් මතු කිරීම වටා ගොතනු ලැබූවකි. ජාත්‍යන්තර බලපෑම්වලට එරෙහිව බලවත්ව නැගී සිටින නායකයෙක් ලෙස මහින්ද රාජපක්ෂගේ ඉමේජය චිත්‍රණය කරනු ලැබේ. අධිරාජ්‍යවාදී අත පෙවීම්වලට විරුද්ධ ඇතැම් වාමාංශිකයින් මෙම ඉමේජයට වසග වීමේ ස්වභාවයක් පෙන්නුම් කරයි. අධිරාජ්‍යවාදයට වාමාංශික අර්ථයෙන් විරුද්ධ විය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදයේ, සමානාත්මතාවයේ හා ආර්ථික යුක්තියේ පදනම් මත බව මොවුහු අමතක කරති. ප්‍රජාතන්ත්‍රවාදයට හා මහජනයාගේ ආර්ථික ජීවිතවලට එරෙහිව ජාතික ස්වාධිපත්‍යයේ නාමයෙන් එකම ප්‍රහාරය දියත් කරනු ලබන අධිකාරිවාදී ජාතිකවාදියෙක්ගේ ව්‍යාපෘතියක ගොදුරු බව මෙබදු වාමාංශිකයෝ පත්ව ඇත්තාහ.

ජාතිකවාදය - එය සිංහල බෞද්ධ ජාතිකවාදය වේවා දෙමල ජාතිකවාදය වේවා මැතිවරණ ව්‍යාපාර සදහා කදිම ඉල්ලමකි. ඉතිහාසය පුරාවට ඔප්පු වී තිබෙන්නේ මැතිවරණ සහයෝගය ලබාගැනීම සදහා ජනවාර්ගික ප්‍රජාවන් භේද බින්න කිරීමෙහිලා මෙය සාර්ථක උපාය මාර්ගයක් බවය. එහෙත් එම ක්‍රියාවලිය භීතීන් පතුරුවන අතර විසම්මුතියට එරෙහි මර්දනය කුලුගන්වයි. මෙබදු ජාතිකවාදී ව්‍යාපෘතීන් විසින් පතුරුවනු ලබන ‘අනෙකා පිලිබද සැකය’ ප්‍රජාව තුලම සිටින ‘ද්‍රෝහීන්’ට එරෙහි දඩයම් කිරීම්වලට මං සපයයි.

බැරෑරුම් ආර්ථික විකල්පයක් නොමැති අවකාශයක් තුල, ඊට අවස්ථාව ලැබුණහොත්, ‘රාජපක්ෂ අර්ථ ශාස්ත්‍රය’ යන්නෙන් ඉදිරි කාලය තුල අපට දැකගැනීමට හැකිවනු ඇත්තේ පසුගිය දශකය තුල අනුගමනය කල නව ලිබරල් පිලිවෙත්, එම හරයෙන්ම, සමහර විට ඊටත් වඩා තීව්‍ර ලෙස ජාතික ස්වාධිපත්‍යය පිලිබද ව්‍යාජෝක්තීන් සහ බෙදුම්වාදය ගැන කෙරෙන වාගාලංකාරයන්ගේ පලිහ යටතේ ක්‍රියාත්මක වීමකි. ජනවාර්ගික ප්‍රජාවන් ධ්‍රැවීකරණය හා අධිකාරිවාදී බලය සංකේන්ද්‍රණය වීම විසින් ඇති කෙරෙන අධිකාරිවාදී තන්ත්‍රය උපයෝගී කොට ගනු ඇත්තේ සූරාකෑම්වලට හා අස්වාමීකරණයට එරෙහිව නැගෙන මහජන විරෝධතා මර්දනය කිරීම උදෙසාය.



Comments

Popular posts from this blog

සිංහල ජාත්‍යානුරාගයේ ප්‍රතිරූප දෙකක් : ඉරාජ් වීරරත්න සහ එදිරිවීර සරච්චන්ද්‍ර

කෙටි විසඳුම් නැති ගෘහස්ථ ණය අර්බුදය

පුත්තලම රංගෙ බණ්ඩාර සහ වරකාපොල නාමල් කුමාර