පුත්තලම රංගෙ බණ්ඩාර සහ වරකාපොල නාමල් කුමාර




රකාපොල නාමල් කුමාර සති කිහිපයක් තුල ලංකාවේ තරුවක් බවට පත්විය. තරුවක් බවට පත්වූවා නොව තරුවක් බවට පත් කෙරිණ. ඔහු තමුන් ත්‍රස්ත විමර්ශන අංශයේ ඉහල නිලධාරියෙක් සමග කල දුරකථන සංවාදවල හඩ පට ප්‍රමාණයක් මාධ්‍ය සාකච්ඡා කැදවා ප්‍රකාශයට පත්කල අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් සමග මේ හඩපට සම්බන්ධ බවට කියැවිණ. ප්‍රධාන පෙලේ ජනමාධ්‍ය ආයතන, විශේෂයෙන්ම දෙරණ හා හිරු යන රූපවාහිනී ආයතන මෙම හඩපටවලට විශාල ප්‍රසිද්ධියක් ලබා දුන් අතර වරකාපොල නාමල් කුමාර එක රැයෙන් දොන් සුසන්ත සාගර චන්ද්‍රසිරි කෙනෙක් නොහොත් ජෙහාන් ප්‍රනාන්දු කෙනෙක් ලෙසට අභිෂේක ලැබීය.

ඊයේ දින, පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙ බණ්ඩාර මාධ්‍ය හමුවක් කැදවා පිල් මාරු කිරීම වෙනුවෙන් ඔහුට අති විශාල මුදලක් ලබා දීමට මහින්ද රාජපක්ෂගේ දේශපාලන කදවුර අර්පණය කල බවට හෙලිදරවුවක් කලේය. මේ හෙලිදරවුව සිදු වූයේ ද දුරකථන ඇමතුම්වල පටිගත හඩපට මුදා හරිමිනි. එස්.බී. දිසානායක රංගෙ බණ්ඩාරට කථා කරන හඩපටයකට අමතරව එස්.බීගේ නියෝජිතයෙක් හා තවත් තැරැවුකරුවන් පිරිසක් විසින් කල යෝජනා මේ හඩපටවල අන්තර්ගත විය. 

මෛත්‍රීපාල සිරිසේන මහින්ද රාජපක්ෂව අගමැති ධූරයට පත් කරන ලද්දේ ඔහුට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති තත්වයක් තුලය. මේ වනවිට සිදුවන්නේ පාර්ලිමේන්තුව කැදවීම ජනාධිපති බලය  මගින් කල් දමා මුදල් විසි කොට බහුතරය සාදා ගැනීම සදහා මන්ත්‍රීවරුන් මිල දී ගැනීමය. මහජන ඡන්දයෙන් තේරී පත් වූ නියෝජිතයින් මෙලෙස මුදල්වලට අලෙවි වීම ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ බරපතල ප්‍රශ්නයකි. රංගෙ බණ්ඩාරගේ හෙලිදරවුව මෙම ක්‍රියාවලිය කෙතරම් නිහීන ලෙස සිදුවන්නේද යන්න විදහා දක්වන උදාහරණයකි. පසුගිය කාලයේ, මහ බැංකු බැදුම්කර වංචාවට අදාල කෝප් කමිටු විමර්ශනයන් සිදුවන විට අර්ජුන් ඇලොසියස් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් මිලදී ගැනීම සදහා මුදල් විසි කල ආකාරය ප්‍රසිද්ධ වූ අතර මහජන නියෝජිතයින් මෙලෙස වෙලද භාණ්ඩ බවට පත්වී තිබෙන විධිහ දැනගැනීම ඔවුන්ට ඡන්දය දෙන මහජනයා සතු අයිතියකි.

කෙසේ වුවත්, උත්ප්‍රාසය නම් රංගෙ බණ්ඩාරගේ මාධ්‍ය හමුව ඉහත කී කිසිදු මාධ්‍ය ආයතනයක් විසින් සිය ප්‍රවෘත්ති ප්‍රකාශනයන් තුල ආවරණය නොකිරීමයි. මේ මාධ්‍ය හමුව ගැන තොරතුරු සංසරණය වූයේ සමාජ ජාලා මාධ්‍යවලය. නාමල් කුමාරගේ හඩපට මහත් වැදගත්කමක් ලබා දී ප්‍රචාරය කල කිසිදු රූපවාහිනී ආයතනයක් රංගෙ බණ්ඩාරගේ මාධ්‍ය හමුව වාර්තා කලේ නැත. හිරු හා දෙරණ යන ආයතන විශේෂයෙන් මේ වනවිට රාජපක්ෂගේ දේශපාලන ව්‍යාපෘතිය සුජාතකරණය කිරීම සදහා විශාල ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කොට තිබෙන අතර සිදු වූ දෙය සාමාන්‍යකරණය කිරීම සදහා එම ආයතන සිය ගුවන් කාලය ආයෝජනය කොට ඇත.

මේ උදාහරණය අප විසින් සලකා බැලිය යුතු වැදගත් ප්‍රශ්නයක් දෙස අපගේ අවධානය යොමු කරයි. ජනතාව තොරතුරු දැනගන්නා ප්‍රධාන මූලාශ්‍රයක් වන්නේ ජනමාධ්‍යයන්ය. විද්‍යුත් මාධ්‍යවල ආගමනය සමග, විශේෂයෙන් රූපවාහිනී නාලිකාවල පැමිණීම සමග ජනමතය හැඩගැස්වීමේ විශාල බලයක් එම නාලිකාවලට ලැබී තිබේ. ජනතාව දැනගත යුතු තොරතුරු මොනවාද, දැන නොගත යුතු තොරතුරු මොනවාද කියලා තීරණය කරන්නේ මේ නාලිකා විසින්ය. රජයේ රූපවාහිනී ආයතන දෙක හැර අනෙක් සියලු රූපවාහිනී ආයතන ව්‍යාපාරික-ජනමාධ්‍ය ආයතන වෙති. එනම් ඒවා අයිති මුදලාලිලාටය. ධනකුවේරයින්ටය. මාධ්‍යවල අන්තර්ගතය හා හැසිරීම තීරණය කරන්නේ මෙම මුදලාලිලා විසිනි. මේ වෙලාවේ රෙනෝ ද සිල්වා සහ දිලිත් ජයවීර ඉන්නේ මහින්ද රාජපක්ෂ සමගය. කිලී මහරාජාට ද තමන්ගේම වූ ව්‍යාපෘතියක් සහ ඒ අනුව සකස් කරගත් දේශපාලන ව්‍යාපෘතියක් ඇත. 

මේ මුදලාලිලා බහුතරය මේ මොහොතේ රාජපක්ෂ සමග සිටින නිසා ජනතාවට දැනගැනීමට ලැබෙන්නේ ඒ වරණය අනුව කපා කොටා ගත් වාර්තාකරණයකි. යමෙක්ට 2001-2004 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලය මතක නම් ඒ කාලයේ තිබුණේ මෙහි අනෙක් පැත්තයි. එකල දෙරණ හෝ හිරු නොතිබුණු නමුත් එවකට තිබුනු ප්‍රබල පෞද්ගලික රූපවාහිනී නාලිකා වූ සිරස හා ස්වර්ණවාහිනී අයිතිකරුවන් දේශපාලන හිතවත්කම් පෑවේ එක්සත් ජාතික පක්ෂයටය. ඒ අනුව ජනතාවට දැනගැනීමට ලැබුණේ සිදුවීම්වල කොල පැහැති වාර්තාකරණයකි. සරලව කිවහොත්, ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය නිර්වචනය වී තිබෙන්නේ මාධ්‍ය මුදලාලිලා දේශපාලනඥයින් සමග ඇති කරගෙන තිබෙන ඩීල්වල සහ යටිකූට්ටු ගනුදෙනුවල ස්වභාවය අනුවය.

සාමාන්‍යයෙන් ජනමාධ්‍යවල භාවිතාව ගැන සාකච්ඡා කරන විට හැමෝම අවධානය යොමු කරන්නේ රාජ්‍ය මාධ්‍යවල හැසිරීම ගැනය. රාජ්‍ය මාධ්‍යවල අන්තර්ගතය ප්‍රජාතාන්ත්‍රීයකරණය කරන්නේ කෙසේද කියන එක වැදගත් ප්‍රශ්නයක් වනවා වගේම පෞද්ගලික මුදලාලි-මාධ්‍යවල චර්යාව ගැන ප්‍රශ්නය ද වැදගත් ප්‍රශ්නයක් ලෙස මතු කිරීම අවශ්‍යයය. මේ මුදලාලි-මාධ්‍ය ලාභ ලැබීම සදහා පාවිච්චි කරන ගුවන් විදුලි සංඛ්‍යාත තරංග ආදිය පොදු සම්පත්ය. රූපවාහිනී බලපත්‍ර ලබාදීම මගින් සිදුකරන්නේ පොදු සම්පත් කුලියට දීම හා සමාන දෙයකි. එලෙස කුලියට ගෙන සමාජයේ මතය හැසිරවීමට කටයුතු කරන මුදලාලිලාගේ හැසිරීම සමාජ පාලනයට යටත් විය යුතු නොවේද? මේ ආයතනවල වැඩ කරන මාධ්‍යවේදීන් මෙම මුදලාලිලාගේ රූකඩ වෙති. මුදලාලිලාගේ න්‍යාය පත්‍රය අනුව කටයුතු කිරීමට තමයි ඒ අනුව සමාගම්-මාධ්‍ය සන්දර්භය තුල ‘මාධ්‍ය නිදහස’ කියලා කියන්නේ.

ප්‍රජාතන්ත්‍රවාදය නමැති අදහසේ එක් පදනමක් වන්නේ මහජන ස්වාධිපත්‍යය පිලිබද සංකල්පයයි. ඒ කියන්නේ බලය මහජනයා සතුවිය යුතුයි යන්නයි. සුලුතර පිරිසක් අත බලය සංකේන්ද්‍රණය වූ තත්වයක් ප්‍රජාතන්ත්‍ර-විරෝධී තත්වයකි. මහජනයාගේ තීරණ ගැනීම විශාල වශයෙන් තීන්දු වන්නේ ඔවුන්ට ලැබෙන තොරතුරු අනුවය. ජනමාධ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයේ සිවුවන කුලුණ කියලා අලංකාරියක් තිබෙන්නේ මහජන මතය හැඩගැස්වීමට ජනමාධ්‍යවලට තිබෙන මේ බලය නිසාය. මහජන මතය තීන්දු කිරීමේ සහ සමාජය දැනගත යුතු හා දැන නොගත යුතු දෑ තීන්දු කිරීමේ අති විශාල බලයක් මුදලාලිලා ස්වල්ප දෙනෙක් අත : රෙනෝ ද සිල්වා, කිලී මහරාජා, දිලිත් ජයවීර සහ ඊඒපී එදිරිසිංහ සමාගම අදිය අත සංකේන්ද්‍රණය වී තිබීම අපි තේරුම් ගත යුත්තේ කොහොමද? මෙය ප්‍රජාතාන්ත්‍රීය සමාජයකට කිසි ලෙසකින්වත් නොගැලපෙන තත්වයක් බව කිවමනා නොවේ.

ජනමාධ්‍ය ලෝකයේ ගැඹුරු ප්‍රතිසංස්කරණයක් ඉල්ලා සිටීම සමාජය පැත්තෙන් ඉතාම වැදගත් වන්නේ මෙන්න මේ නොගැලපීම නිසාය. ලිබරල්වාදී සිවිල් සමාජය සාමාන්‍යයෙන් ආශා කරන්නේ රජයෙන් ජනමාධ්‍යවේදීන්ට සිදුවන හිරිහැර ගැන කථා කිරීමටය. ජනමාධ්‍ය නිදහස ගැන ඔවුන්ට තිබෙන කියැවීම එයයි. මේ සාකච්ඡාවට මුදලාලි-මාධ්‍යවල වැඩ කරන මාධ්‍යවේදීන්ගේ ‘මාධ්‍ය නිදහස’ ගැන ප්‍රශ්නය වගේම මුදලාලිලා ස්වල්ප දෙනෙක් සමාජයේ තොරතුරු දැනගැනීමේ අයිතිය පාලනය කරන අත්තනෝමතික ආකාරය ගැන ප්‍රශ්නය ද සම්බන්ධ කල යුතුය.


Comments

  1. The Emperor Casino Online - Shootercasino
    The 메리트 카지노 주소 Emperor Casino is the perfect choice for your personal gaming and casino games. Visit us for 인카지노 your favorite slots, table games, live casino and more! 제왕카지노

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සිංහල ජාත්‍යානුරාගයේ ප්‍රතිරූප දෙකක් : ඉරාජ් වීරරත්න සහ එදිරිවීර සරච්චන්ද්‍ර

2019 අය වැය : මිල්ටන් ෆ්‍රීඩ්මාන්ට සුබසාධනවාදී වෙස්මුහුණක් දැමීම