පවතින දේශපාලන තත්වය හා එය වෙනස් කිරීම පිළිබද යෝජනාවක්.


|කැළුම් නවරත්න විසිනි.

2015 ජනවාරි 08 අභිලාෂ යනු මොනවාද යන්න අපගෙන් බොහෝ දෙනා අසන පැනයකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු ධනවාදී සමාජ සැකැස්මක දේශපාලන සැකැස්ම ලෙස ශිෂ්ටාචාරය බිහිකරගත් සංකල්පයකි. නූතනවාදයට පෙර තිබූ සමාජ සැකැස්මේ ගැටළුවලට පිළිතුරක් ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබද අදහස ගොඩනගන ලදී. නමුත් ධනවාදයේ අර්බුධය එහිම ප‍්‍රතිවිරෝධයන් විසින් අර්බුධයට යවද්දී මෙම ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබද සංකල්පය ක‍්‍රමක‍්‍රමයෙන් හීන කරමින් එය සමස්ත සමාජ අර්බුධයකට පිළිතුරු සොයනවා වෙනුවට දක්ෂිණාංශික දේශපාලන ආධිපත්‍යය පිහිටුවාගැනීමට අදාළ තත්වයන් ඉටු කරගැනීම වෙනුවෙන් කඩේ යවන සංකල්පයක් වී හමාරය.

බොහෝ දෙනා වර නගන ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබද අදහසේ නිර්මාතෘවරුන් කවුරුන්ද. 2015ට මහින්ද රාජපක්ෂයේ ඒකාධිපති පාලනයට විරුද්ධව එයින් ආන්තීකරණය වූ ශිෂ්‍ය ප‍්‍රජාව, ප‍්‍රගතිශීලීන්, ගොවියන්, ධීවරයන්, සිට රතු පස්වල ජනතාව දක්වා නැගී සිටීමේ ප‍්‍රතිඵලයක් ලෙස බිහිවූවකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉබේ පහළ වෙන්නේ නැත. යම් කිසි මිනිස් ප‍්‍රජාවක් හෝ පන්තියක් සමාජ සැකැස්මක් තුළ තමන්ගේ දේශපාලන අදහස වර නැගීමේදි පාලක පන්තීන් විසින් එයට මර්ධනය එල්ල කරන විට මෙම ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සීමාට හා සඨන් පාඨ මතුවෙයි. දේශපාලන අරගලය නොමැති නිශ්ක‍්‍රීය තැනක හමුවන්නේ දේශපාලන පිළිබද සටන්පාඨ නොව දේශපාලනික අවරසිකත්වයයි. එමනිසා 2015 ජනවාරි 8 වනදා ප‍්‍රකාශයට පත්වූයේ ඊට පෙර අරගල කරන ලද සියළුම මිනිසුන් විසින් සමාජය මත ඒත්තු ගන්වන ලද ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීත්වයයිඑමනිසා ජනවාරි 08 අභිලාශයේ නිර්මාතෘවරුන් වූයේ තමන්ගේ සමාජ සැකැස්මේ අර්බුධයන්ට එරෙහිව සටන් කළ සියළුම ගැහැණුන් හා පිරිමින්ය.

ලංකාව තුළ ක‍්‍රියාත්මක වන මූලික දක්ෂිණාංශික දේශපාලනෙයේ අක්ෂ දෙක කුමක්ද යන්න අපි විමසා බැලිය යුතුය. මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම ලංකාවේ දේශපාලනයේ තීරක බල ඇණිය වේ. එය ජාතිකවාදයත්, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීත්වයත්, දේශපාලන අවරසිකත්වයත් කරපින්නා ගෙන සිටින්නකි. ලෝකයේම ගත කළ නවලිබරල්වාදී ආර්ථික මොඩලය ඉල්ලා සිටින්නේ මෙවැනි රාජ්‍ය යාන්ත‍්‍රණයකි. කඩා වැටෙන ධනවාදී සමාජ ක‍්‍රමය යන්තම් හෝ අල්ලාගෙන සිටීමටත් ප‍්‍රාග්ධන සමුච්ඡුනය තීව‍්‍ර කිරීමටත් මෙකී දැවැන්ත මර්ධනකාරීත්වයක් අවශ්‍යය. ඇමෙරිකාව, චීනය, රුසියාව, කොරියාව, සිංගප්පූරුවේ සිට බැලුවත් ධනවාදය තුළ සාර්ථකවීමට හැක්කේ මෙම ආකෘතිය තුළ බැව් ඔප්පු කරමින් සිටී. දැවැන්ත බල සංකේන්ද්‍රණයත් දෘශ්ටිවාදී බලයත් එකට එක්කර ජනතාව මත මර්ධනය දියත් කරමින් ගෝලීය ප‍්‍රාග්ධන සමුච්ඡුනයට ඉඩදීම මෙම පිළිවෙතේ දිශානතියයි.

මෙම බල ආධිපත්‍යයට විරුද්ධව මහින්ද රාජපක්ෂ යුගයේ සිට බිහිවෙමින් තිබුණු දේශපාලන සංයුතිය කුමක්ද. ඒකාධිපතිත්වයට විරුද්ධ ප‍්‍රජාතන්ත‍්‍රවාදයත්, ජාතිකවාදයට විරුද්ධ අරගලයත්, දේශපාලන අවරසිකත්වයට විරුද්ධව ශිෂ්ටත්වයත්, එම අරගලයේ කොටස්කරුවන් විය. දක්ෂිණාංශික දේශපාලනයේ මූලික ප‍්‍රවේශය වන්නේ පවතින දේශපාලන ප‍්‍රතිවිරෝධතාවයන් තමන්ගේ බල අරගලයට එක් කර ගැනීමයි. මහින්ද රාජපක්ෂට විරුද්ධව ගොඩ නැගුණු දේශපාලන අභිලාශය වෙනුවෙන් යහපාලන නඩය පෙනී සිටින්නේ මෙන්න මේ නිසාය. සමාජය සංවිධානය වන කොණයෙන් බැලුවහොත් ප‍්‍රධාන දක්ෂිණාංශික බලවේග දෙක දේශපාලනයට පිවිසෙන්නේ මෙම අක්ෂ දෙකිනි.

2015ට පෙර ජනතාව විසින් ඇතිකරන ලද දේශපාලන අභිලාෂය කිසිදු වාමාංශික බලවේගයකට එක් කර ගැනීමට හැකි වූයේ නැත. ජවිපෙ එම අභිලාශයන් වෙනුවෙන් පෙනී සිටියද පෙසප ඒ වෙනුවෙන් පෙනී සිටියේ නැත. මෙම ප‍්‍රගතිශීලී දේශපාලන බලවේගයට නායකත්වය දීමට නොහැකි වීම විසින්ම ඔවුන්ව තල්ලු කර දැමුවේ ආන්තිකබාවයකටය. පසුව අප දේශපාලන මිතුරන් පවා මෙම ප‍්‍රගතිශීලී දේශපාලන විභවය කළමණාකරණය කර ගැනීමට නොහැකිවීමේ අසමත්කමමශුද්ධවූ දේශපාලන සටන්පාඨයක් ලෙස හුවා දක්වමින් අල්තාරය මත ලියා තැබීය. අවසානයේ මෙම දේශපාලන අභිලාශයන් අත් කර ගත්තේ යහපාලන කදවුර හා සිවිල් ක‍්‍රියාකාරිකයින් අතටය.

යහපාලන රජයට හාස්‍යජනක ඉරණමකට මුහුණ දීමට සිදුවිණ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙනී සිටීමට ආ ඔවුන්ගේ පාලනය අවසාන වූයේ මහින්ද රාජපක්ෂට පවා ව්‍යාවස්ථාව උල්ලංගනය කරන්නේ මෙන්න මේ ආකාරයටය යන්න පවා උගන්වමිනි. මහින්ද රාජපක්ෂ අවසාන සීමාවේ හෝ උත්සාහා කළේ සියළු මිලේච්ඡුත්වයන් ව්‍යවස්ථාව තුළ ප‍්‍රකාශමාන කිරීමයට. යහපාලන ආණ්ඩුව අවසානයේ එම සීමාව පවා බිද දැමීය. මෙම සිදුවීම ලංකාවේ දේශපාලනයේ ම්ලේච්ඡතම රූපාකාරය අලුතින් ලිවීමට තරම් ශක්තිමත් උල්ලංඝනය කිරීමකි.

යහපාලන ආණ්ඩුවට සිදු වූයේ කුමක්ද.

මුලින් කතා කළ පරිදිම යම් තරමකට හෝ ධනවාදය මේ මොහොතේ පැවතිය හැක්කේ දැවැන්ත මර්ධනයක්, දෘශ්ටිවාදී එකගතාවයක් මත පමණකි. මූල්‍ය ප‍්‍රාග්ධනය විසින් ලංකාවට යෝජනා කරන ලද ගමන් මාර්ගය දක්ෂිණාංශික දේශපාලන කදවුරු දෙකට වෙනස් කරන්නට හැකියාවක් නැත. එය ඔවුන් කිසිම පැකිලීමක් නැතිව බාරගනියි. ගෝලීය දේශපාලනයේ වුවමනා එපාකම් ඉටුකිරීමේ වෙනස් බල කදවුරු දෙකක් ඔවුන් මත ක‍්‍රියාත්මක වෙයි. වෙනස ඇත්තේ එපමණකි. මෙම ආර්ථික මොඩලය ක‍්‍රියාත්මක කිරීමට මහින්ද රාජපක්ෂ ඒකාධිපතිත්වය හා ජාතිකවාදය ප‍්‍රයෝජනයට ගන්නා විට එයට එරෙහිව නැගෙන උද්ඝෝෂණය වන්නේ මීට විරුද්ධ සටන්පාඨ දෙකකි. එනම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා ශිෂ්ටත්වය පිළිබදව වන යෝජනාවකි. නමුත් ගැටළුව නම් යහපාලන ආණ්ඩුවට ඉහත කී නවලිබරල් ආර්ථික මොඩලය ක‍්‍රියාත්මක කිරීම සදහා ප‍්‍රජාතන්ත‍්‍රවාදය උල්ලංඝනය කිරීමට ජනවාරි 8 ජනතාවගෙන් ඉඩ ලැබේද යන්නයි. යහපාලන රජය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාවන් එක පිට එක කළේ ජනවාරි 8 අභිලාෂයන් කරපින්නා ගත් ජනතාවට පස්සා හරවමිනි. එය ඔවුන් සිරවූ උගුලයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් ශිෂ්ටත්වයත් පවත්වාගෙන පවතින නවලිබරල්වාදී ව්‍යාපෘතිය සිදු කළ හැකිනම් ලෝකයේ ධනපති පන්තිය ඒකාධිපතිත්වය ජාතිකවාදය මේ තරම් වර නගන්නේ නැත.

2015 ජනවාරි 8න් පසු අපට ගමන් කිරීමට තිබුණු මාවත් මොනවාද. ඉන් එක් ආකාරයක් ප‍්‍රායෝගිකව දකින්නට ලැබෙයි. ව්‍යවස්ථා උල්ලඝනය කිරීමේ සිට ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී ක‍්‍රියාවන් එක පෙළට සිදුවෙමින් පවතියි. එම මාවත ගොඩ නැගුණේ කෙසේද. යහපාලන රජයට සිදු වුණේ පැමිණි දා සිටම ජනතාවගේ අභිලාෂයන් පාවා දීමය. ඔවුන්ට වෙන විකල්පයක් තිබුණේද නැත. යහපාලන රජයත් සමග හිදගත් සිවිල් ක‍්‍රියාකාරිකයින් හා ප‍්‍රතිශීලීන් කළේ එම ක‍්‍රියාවන් සාධාරණීකරණය කිරීමය. සමාජ සැකැස්මක් ගොඩනැගීමේදී එහි සියළු ප‍්‍රතිවිරෝධතාවයන් හා පසමිතුරුතාවයන් අපගේ දේශපාලන අභිලාෂ සමාජීයව ප‍්‍රකාශ කර ගැනීම වෙනුවෙන් සකස් කළ යුතුය. නමුත් යහපාලන ආණ්ඩුවට ඇත්තටම අවශ්‍ය වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශිෂ්ටත්වය නොව ගෝලීය නවලිබරල්වාදී ආර්ථික උපායමාර්ගයට අනුව ලංකාවේ සැකසීමයි. එමනිසා යහපාලනයේ අභිලාෂත් ජනවාරි 8 අභිලාෂයනුත් හරියටම සිටගන්නේ එකිනෙකට ප‍්‍රතිවිරුද්ධවය. යහපාලන රජයට නවලිබරල් අවශ්‍යතාවයන් සමග කිසි දිනෙක ප‍්‍රජාතන්ත‍්‍රවාදය හෝ ශිෂ්ටත්වය පැල කළ නොහැකිය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය හෝ ශිෂ්ටත්වය දරාගත් නවලිබරල්වාදයක් ලෝකයේ ඇත්තේ නැත.

තතු එසේ වෙතත් මහින්ද රාජපක්ෂව අප විසින් තතර කළ යුතුව තිබිණි. ඒ අන් කිසිවක් නිසා නොව සියළු ප‍්‍රගතිශීලීණ්ටත් ලිබරල්වාදීන්ටත් වාමාංශිකයන්ටත් සමාජ සැකැස්මේ ගැටළුව විදාරණය කර ගැනීම උදෙසා ඉස්පසුවක් ගැනීමටය. 2015න් පසු කිසිවක්ම සිදුවුණේ නැහැ කියා පවසන අයට කියන්නට තිබෙන්නේ 2015ට පෙර ජීවත් වූ විදිය මතක් කරන ලෙසත්, මෛත‍්‍රීගේ මේ මොහොතේ ක‍්‍රියාකලාපය ව්‍යවස්ථා විරෝධී යැයි පවසන්නටද හැකියාවක් නොමැති බවයි. පසුගිය අවුරුදු 3 අප ගත කළේ බොහෝ අඩුපාඩුකම් සහිතවය. එහි ප‍්‍රතිඵල අපි මේ මොහොතේත් භුක්ති විදිමින් සිටිමු.

මෙම දේශපාලන තත්වයට අප සමාජය පිළිතුරු සෙවිය යුත්තේ කෙසේද. ප‍්‍රධාන දක්ෂිණාංශික බලවේග දෙක දැනටමත් ඔවුන්ගේ ක‍්‍රියාමාර්ග නම් කර ඇත. ධනවාදී සමාජ සැකැස්ම එය විසින්ම දෙකට බෙදුණුදේශපාලන අදහසේ කතෘත්වය ගැනීම උදෙසා ඔවුන් අරගල කරමින් සිටියි. මහින්ද රාජපක්ෂ පරණ මාවතේ දේශපාලනය තෝරාගෙන ඇත. රනිල් පාර්ශවය 2015 වර නැගීමම කරමින් ඇත. නමුත් ඉහත කී උගුලෙන් ඔවුන් ගැලවෙන්නේ කෙසේද යන්න කිසිදු කෙනෙකු ප‍්‍රකාශ කර නැත. ඔවුන් සිදු කරමින් තිබෙන්නේ දේශපාලන උද්ඝෝෂණය සරුවපිත්තල සන්දර්ශනයකට සීමා කිරීම පමණි. එක්කෝ ඔවුන් ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා ශිෂ්ටත්වය පැලකෙරෙන සමාජ සැකැස්මේ රූපාකාරය ප‍්‍රකාශ කළ යුතුය. නැතිනම් ඔවුන් සමග සිටගන්නා ජනතාවටත් සිවිල් ක‍්‍රියාකාරීන්ටත් 2015 අභිලාෂ හෝද හෝදා මඩේ දැමීමට සිදු වනු ඇත.

අප මෙහිදී ජවිපේ ක‍්‍රියාකාරීත්වය නිරීක්ෂණය කළ යුතුය. ජවිපේ පසුගිිය දිනවල දිගින් දිගටම ප‍්‍රකාශ කළේ ඔවුන් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යාපාරයක්ය යන්නයි. ඒ අර්ථයෙන් ගත්තත් මේ ගොඩ නැගී තිබෙන දේශපාලන අවරසිකත්වයට විරුද්ධව තමන්ගේ පක්ෂය මෙහෙයවීමට ඔවුන් ආරම්භ කර ඇත. එය අපි විසින් ප‍්‍රගතිශීලීව බාරගත යුතුය. පාර්ලිමේන්තු බල දේශපාලනයේදී අපගේ ප‍්‍රගතිශීලී දේශපාලන මාවත ආරක්ෂා කර ගැනීම සදහා ඔවුන් ගන්නා ක‍්‍රියාමාර්ග සමාජයක් ලෙස අප ආරක්ෂා කළ යුතුය. එසේ නොවන තැන් විවේචනය කළ යුතුය. ඔවුන් සමාජවාදීන් යැයි මම සිතන්නේ නැත. ජනතා විමුක්ති පෙරමුණ දේශපාලනයට වගකීම් සහගත ලෙස සමාජප‍්‍රජාතන්ත‍්‍රවාදී වැඩ බිමක් වන්නේ නම් අපට ඒ ඇතිය. ඔවුන් සමග අපට ගමනක් තිබෙන බව අමුතුවෙන් කියා සිටිය යුතු නැත. නමුත් ඔවුන්ගෙන් ලිස්සා යන දේශපාලනයේ විමුක්ති ශක්‍යතාවයන් සමාජය තුළට ගෙන ඒමට අප බිය විය යුතුද නැත.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය පසුගිය දිනවල වර නැගුවේ 2015 ඔවුන් ගත් ක‍්‍රියාමාර්ගය සාධාරණීකරණය කිරීමත් ඔවුන් නිවැරදි දේශපාලනය යෝජනා කළා යැයි පැවසීමත්ය. නමුත් ඊයේ දිනයේ මාධ්‍ය සාකච්ඡුාවෙන් පසු එයින් නිශ්චිතව කැඩී වෙන්වීටම අවශ්‍ය උද්යෝගයක් දකින්නට තිබිණි. එය ඉතාම උද්යෝගයෙන් බාරගන්නා අතරම පොදු වමේ බලවේගයක් ගොඩනැගීමට ඔවුන් කරන යෝජනාව සමග එකට සිටගත යුතුය. ජවිපෙත් පෙසපත් යනු විජේවීරවාදයේ දේශපාලනය විසින් 2009න් පසු විභින්න වූ කොටස් දෙකය. එය එහිම ප‍්‍රතිවිරෝධයන් වෙන්වෙන් ගොඩනැගුණු බලවේග දෙකය. මේ දෙක අතර සහෝදරාත්මක සංවාදය අනාගතයේ දේශපාලනය වෙනුවෙන් අත්‍යාවශ්‍යම සාධකයකි. මාධ්‍ය සන්දර්ශන මට්ටමින් කොවැනි අර්ථකත තිබුණත් මෙම පක්ෂය දෙකෙහිම සහෝදරත්වයට යෝජනා කරන්ට තිබෙන්නේ තමන්ගේ බිම් මට්ටමේ වැඩ කිරීමේදී පක්ෂ දෙකේ සාමජිකයින් අතර වඩා අන්‍යෝන්‍ය දේශපාලන සංවාදයක් ඇති කරගතයුතු බවයි. එයට එරෙහිව යෝජනා වන ඕනෑම අදේශපාලනික කටයුතු සදහා මෙම පක්ෂ දෙකෙහිම සහෝදරවරුන් තමන්ගේ පක්ෂ තුළ සාමූහිකව උදඝෝෂණය කළ යුතු බව අපේ අදහසයි.

අවසාන වශයෙන් දේශපාලන සිතියමේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශිෂ්ටත්වය පිළිබද දේශපාලන සංවාදයේ මට්ටම් තුනක් අපට මුණගැසෙයි.

01. එජාපය ප‍්‍රමුඛ කණ්ඩායම

මෙහි දිග පළල හා උපයෝගීතාවාදී මැදිහත්වීම පිළිබද අපි දනිමු. එහි විපාකයන් සමාජයට අත් විදින්නට වන්නේ ද්වී ගුණ වී බවද අපි දනිමු. දැන් අත්විදින්නට තිබෙන්නේ එම තත්වයයි. නමුත් ඉතාම අදේශපාලනික ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා ශිෂ්ටත්වය පිළිබදව එක් එයෙක් හෝ වර නගයිනම් ඔවුන් සමග අපට සංවාදයක් ඇත. නමුත් ඔවුන්ව හෙට දිනයේ රනිල් විසින් කඩේ යවන බවද ලියා තබමු. ණයට ඉල්ලා ගත් සටන්පාඨ විසින් අවසානයේ උරුම කරන්නේ ම්ලේච්ඡුත්වයම පමණකි.

02. ජවිපේ ප‍්‍රමුඛ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැදිහත්වීම

පාර්ලිමේන්තු දේශපාලනයේදීත් දෛනික දේශපාලන බල අරගලයේදීත් ඔවුන් මෙම අවරසික දේශපාලන සමාජ සැකැස්මට විරුද්ධව ගන්නා ක‍්‍රියාමාර්ග අපි විසින් ආරක්ෂා කළ යුතු අතර අපට ඔවුන්ට යෝජනා කිරීමට තිබෙන්නේ වාමාංශික බලවේග සමග ඉතාම ඓන්ද‍්‍රීයව වැඩ කිරීමට අදාළ තත්වයන් සකසා ගන්නා ලෙසයි. හැකිනම් සියළු වාමාංශික කණ්ඩායම්ද ඇතුළුව මෙම දේශපාලන පෙරමුණ ගොඩ නගා ගැනීමත් එවාත් සමග වඩා දියුණු දේශපාලන සංවාදයක් ඇති කර ගන්නා ලෙසයි. එයින් කියා සිටින්නේ ඔබගේ සියලු ප‍්‍රගතිශීලී පියවර තැබීම් අපගේද දේශපාලන මාවතද ශක්තිමත් කරන බවයි.

03. පෙසප හා වාමාංශික කණ්ඩායම්

ප‍්‍රජාතන්ත‍්‍රවාදයත්, ශිෂ්ටත්වයත්, සමාජ සැකැස්මේ ව්‍යුහාත්මක වෙනස්කම් වෙනුවෙනුත් අරගල කරන වාමාංශික කණ්ඩායම් ලෙස ඉහත කණ්ඩායම් දෙකෙහිම ප‍්‍රගතිශීලී විභවයන් සමග සිට ගනිමින්, ප‍්‍රතිගාමීත්වයන් විවේචනය කරමින්, අවශ්‍ය විටක එක්ව සටන් කරමින්, සමාජයක් ලෙස අප පරාජය වන ඔ්නෑම මොහොතක වගකීම බාර ගනිමින්, සමාජීය සැකැස්මේ ව්‍යුහාත්මක වෙනස්කම් දක්වා සමාජය තල්ලු කිරීමේ වගකීම බාර ගතයුතුය. හැම එකාම පිස්සු කෙළිනවායැයි ඉතිහාසයෙන් ඉවත් වෙනවා වෙනුවට ඉතිහාසයේ බල අරගලය කළමණාකරණය කිරීමත් විකල්ප සමාජ ව්‍යුහයක් ගොඩනැගීමත්  ඉතිහාසය වෙනස් කිරීමත් අපට පැවරී තිබෙන වගකීමයි. එසේ නොවන ඔ්නෑම මොහොතක සමාජය තුළ ද්විගුණ වන්නේ ම්ලේච්ඡුත්වය පමණකි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ශිෂ්ටත්වය, නිදහස අපේකෂා කරන සියළුම ලිබරල්වාදීන් ප‍්‍රගතිශීලීන් වාමාංශිකයන්ට සිදු කරන්නට තිබෙන්නේ එක දෙයකි. එනම් ධනවාදයේ නවලිබරල්වාදී මොහොත ආරක්ෂා කරමින් ඉහත කී අභිලාෂ සමාජයේ ගොඩනගන්නට නොහැකි බවත්, එම අභිලාෂයන් සමාජයේ ප‍්‍රකාශ වීමට නම් එයටම සුවිශේෂී තත්වයන් නිර්මාණය කර ගත හැකි සමාජ සැකැස්මක් නිර්මාණය කරගැනීමට අවශ්‍ය බවත් තේරුම් ගැනීමයි. ඔබට මාළු කඩයක් තුළ මල් විකිණීමට නොහැකි අතර, ඔබට තිබෙන්නේ මාළු කඩයක්නම් එය මල් විකිණීමට හැකි තැනක් බවට පත් කර නොගෙන මල් විකුණන්නට යාමෙන් සිදුවන්නේ මාළු බොකු ඇළුණු මල් එහි තබා තිබීම පමණි. 2015න් පසු ගෙවූ අවුරුදු 3 තුළ අපට හමුවන්නේ මාළු බොකු ඇළුණු මැස්සන් පිරුණු මල් මිටියකි. අප මිනිස් නිදහස හා ශිෂ්ටත්වය පිළිබද පුළුල්ම අදහසින් දේශපාලනය බිහි නොකළහොත් අපට සමාජය තුළින් හමුවන්නේ බහුගුණවන ම්ලේච්ඡුත්වයකි. 2015 ජනවාරි 8වනදා සිට 2018 ඔක් 26වනදා දක්වා අපට හමුවන්නේ එම බහුගුණ වූ ම්ලේච්ඡුත්වයයි.



Comments

Popular posts from this blog

සිංහල ජාත්‍යානුරාගයේ ප්‍රතිරූප දෙකක් : ඉරාජ් වීරරත්න සහ එදිරිවීර සරච්චන්ද්‍ර

කෙටි විසඳුම් නැති ගෘහස්ථ ණය අර්බුදය

පුත්තලම රංගෙ බණ්ඩාර සහ වරකාපොල නාමල් කුමාර