අනුර දිසානායකගේ TNA හැරවුම



| ඉෂාන් චාමර 

.වි.පෙ නායක අනුර කුමාර දිසානායක ඉන්දියාවේ 'ද හින්දු' පුවත් පත සමග පසුගිය බදදා දින සිදු කළ සාකච්ඡාවකදී තම පක්ෂයට දෙමළ ජාතික සන්ධානය සමග දිගු කාලීන සහයෝගීතාවයකට එළැඹීම සදහා විභවතාවයක් පවතින බවට ප්‍රකාශ කර තිබුණි.  එහිදි ඔහු තවදුරටත් ප්‍රකාශ කර තිබුනේ ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන්නේ මර්දනකාරි රාජ්‍යය විසින් මර්දනය කෙරුණු ලංකාවේ දකුණු සහ උතුරු ප්‍රදේශයන් බවයි. එක්සත් ජාතික පක්ෂය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙමළ ජාතික සන්ධානය සමග අවංක සාකච්ඡාවක් කිසිදා සිදු නොකල බව පවසන හෙතෙම තවදුරටත් කියන්නේ ප්‍රජාතාන්ත්‍රීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයට සහ ජනතා විමුක්ති පෙරමුණට පොදු අරගලයක් පවතින බවයි. 

ජ.වි.පෙ - TNA ඉදිරි හවුලක් පිළිබද අනුර කුමාර දිසානායකගේ මෙම ප්‍රකාශය මූලිකවම කාරණා ද්විත්වයක් හේතුවෙන් වැදගත් වේ. පළමු වැන්න නම් දෙමළ අරගලය සහ දෙමළ ජනයාගේ අභිලාෂයන් පිළිබද ජනතා විමුක්ති පෙරමුණ මෙතෙක් සිටි දේශපාලනික සහ න්‍යායික ආස්ථානයේ සුසුමාදර්ශීය වෙනසක් පිලිබද සංඥාවක් ඒ තුල නිරීක්ෂණය කල හැකි වීමයි.  1971 දී සහ 87-89 දී රාජ්‍යය විසින් දකුණ මත මුදාහල මිලේච්ඡ මර්දනයම 2009 දී සමූළඝාතනය කළ දෙමළ අරගලය වෙතද මුදාහල බව පිළිගැනීමට ජ.වි.පෙ සූදානම් බව ඉන් හැගවේ. දකුණේ තරුණයා විසින් මර්දනීය රාජ්‍යයට එරෙහිව සිදු කළ අරගලයට නායකත්වය සැපයු ජනතා විමුක්ති පෙරමුණ උතුරේ තරුණයා විසින් මර්දනීය රාජ්‍යයට එරෙහිව කළ අරගලයේ ප්‍රජාතන්‍ත්‍රවාදි අඩංගුව නොසලකා හරින ලදි. එහි අවසන් ප්‍රතිඵලය වූයේ දෙමළ විමුක්ති අරගලය ජ.වි.පෙ අතින් බෙදුම්වාදයකට ඌනනය වීමත් ජ.වි.පෙ සිංහල බෞද්ධ ජාතිකවාදයේ කරවටක් ගිළීමත්ය. 

ජ.වි.පෙ විසින්ම බෙදුම්වාදීන් ලෙස හංවඩු ගැසු දෙමළ ජාතික සන්ධානය සමග කටයුතු කිරීමට ජ.වි.පෙ දැන් දක්වන සූදානම - එය සැබෑ සූදානමක් නම් - දෙමළ ජනයාගේ දේශපාලන ඉල්ලීම් සම්බන්ධයෙන් වන ජ.වි.පෙ ආස්ථානයේ සුවිශේෂි හැරවුමකි. මීට වසර කිහිපයකට ප්‍රථම මෙබදු ප්‍රකාශයක් ජවිපෙ නායකයෙක් විසින් සිදුකිරීම යනු සිතාගැනීමටවත් නොහැකිව තිබුණු දෙයකි. මහින්ද රාජපක්ෂ පාලන සමයේ 13 වන සංශෝධනය ඉක්මවූ බලය බෙදීම පිලිබද සාකච්ඡා මතු වූ විට ජවිපෙ සෑම විටම එබදු උත්සාහයන් හංවඩු ගැසුවේ බෙදුම්වාදයට දොල පිදේනි දීමක් ලෙසය. එම කතිකාව තුල දෙමළ ජාතික සන්ධානය සලකන ලද්දේ බෙදුම්වාදයේ 'යුදමය නොවන' සාමකාමී ඒජන්තයා ලෙසය. එබදු ඉතිහාසයක පසුබිම තුල, එම දෙමළ ජාතික සන්ධානය සමග පොදු ප්‍රජාතාන්ත්‍රීය ප්‍රශ්නවල දී එකට අරගල කල හැකි බව ජවිපෙ නායකයා පැවැසීම හුදු ප්‍රකාශයකට එහා ගිය, දේශපාලනය දෙස බලන ආකාරයේ කැපී පෙනෙන වෙනසක් සලකුණු කරන්නකි. 

අනුර කුමාර දිසානායකගේ මෙම ප්‍රකාශය වැදගත් වන දෙවැනි කාරණාව වන්නේ මෙමගින් දෙමළ ජාතික සන්ධානය වෙත ලබා දෙන දේශපාලන සංඥාවයි. තමන්ගේ ඉදිරි දේශපාලන ගමන් පථය පිළිබද බැරෑරුම් තීරණයක් ගැනීමට  සිදුවී තිබෙන සන්ධිස්ථානයක මේ වනවිට දෙමළ ජාතික සන්ධානය පසු වේ. දෙමළ ජනයාගේ දේශපාලන අභිලාෂ නියෝජනය කිරීමේදි දෙමළ ජාතික සන්ධානය මෙන්ම එහි පූර්වතමයන්ද විශ්වාසය තැබුවේ මූලික වශයෙන් දකුණේ ප්‍රතිගාමී බලවේගයක් වන එක්සත් ජාතික පක්ෂය කෙරෙහිය. නමුත් ඉන් සැමදා ඔවුන්ට ලැබුණේ කඩවුණු පොරොන්දුය. දෙමළ ජාතික සන්ධානයේ පූර්වගාමියා වූ ෆෙඩරල් පක්ෂය දකුණේ ප්‍රගතිශීලී බලවේග සමග සාකච්ඡාවකට නොගොස් එක්සත් ජාතික පක්ෂය සමග හවුල්කාරීත්වයක් ඇති කරගැනීමට දැක්වූ යොමුව සහ එය දෙමළ ජාතික අරගලයට කරන හානිය ගැන දෙමළ සමාජයේ ප්‍රගතිශීලී කොටස් වෙතින්ම ඉතිහාසය තුල විවේචන ඉදිරිපත් වී ඇත. දමිළ ජාතික සමසමාජවාදියෙක් වූ වී. කරාලසිංහම් විසින් 1960 ගණන්වලදී ලියූ 'දෙමළ ජනයා සදහා වූ ඉදිරි මග' පොත් පිංච තුල වගේම පසුකාලීනව යාපනයේ මානව හිමිකම් සදහා විශ්ව විද්‍යාල ආචාර්යවරු සංවිධානය විසින් එලි දැක්වූ 'බිදුණු තල් රුක' කෘතිය තුල ද ෆෙඩරල් පක්ෂය වැනි පක්ෂවල මෙම නැඹුරුව විවේචනයට ලක්විය. 

මෑතකාලීනව දෙමළ ජාතික සන්ධානය දෙමළ දේශපාලන අභිලාෂ දිනාගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ගැන විශ්වාසය තැබීය. මේ අනුව UNP ආණ්ඩු ආර්බුදයන්ට යන බොහෝ අවස්ථාවන්හිදි ගැළවුම්කාර සුර දූතයා ලෙස පැමිණෙන්නේ දෙමළ ජාතික සන්ධානයයි. ආරම්භයේදි ඔවුන් රජුන් තනන්නන්ගේ භූමිකාව රඟ දැක්වුවද කල්යත්ම ඔවුන් නොසලකා හැරෙයි. යහපාලනය ගෙන ඒමට තීරණාත්මක කාර්ය භාරයක් කළ දෙමළ ජාතික සන්ධානයට අවසානයේදි යහපාලන සංහිදියා මිරිගුවේ ගිලීමට සිදු වීම මෙම නොසැලකිල්ලේ ප්‍රකාශනයකි. එක්සත් ජාතික පක්ෂය සමග මෙම සන්ධානය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය ගෙවූ මිල වූයේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව අනුගමනය කරන සමාජ විරෝධී ක්‍රියාමාර්ගවල දී ප්‍රධාන විපක්ෂ පක්ෂය ලෙස නිශ්ශබ්දව සිටීමය. එජාපය ඉදිරිපත් කල ඉතාම ගැටලුසහගත අය වැය ලේඛන සියල්ල සම්මත කරදීම වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය කටයුතු කල අතර දකුණේ පොදු ජනයා මුහුණ දෙන කිසිදු ප්‍රශ්නයක් වෙනුවෙන් ඔවුන් පෙනී සිටියේ නැත.

දෙමළ ජනයාගේ දේශපාලන ඉල්ලීම් දිනාගැනීම සඳහා ⁣දකුණේ ප්‍රතිගාමී බලවේග සමග සන්ධානයන්ට යාමේ මෙම උපාය මාර්ගය එහි තාර්කික අවසානයට ලඟා වී ඇති බව දෙමළ ජාතික සන්ධානය දැන් තේරුම් ගත යුතුය. එජාපය සමග සන්ධානය වෙනුවෙන් කවර මිලක් ගෙවූවත් දෙමළ ජනයාගේ ප්‍රශ්න ආමන්ත්‍රණය කිරීම සම්බන්ධ කැපී පෙනෙන කිසිදු පියවරක් එජාපය පැත්තෙන් සිදු වී නැත. දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන බවට ට්විටර් පණිවුඩ ලියමින් නාමල් රාජපක්ෂ කල පෙනී සිටීම තරම්වත් පෙනී සිටීමක් කිරීමට එජාපයට උනන්දුවක් තිබුණේ නැත. දකුණත් උතුරත් එක් කෙරෙන පොදු අරගලයකින් හැරෙන්නට දෙමළ ජනයාගේ අභිලාෂයන් දිනා ගැනීමට නොහැකිය. ඒ සදහා මෙතෙක් තිබුණු බාධාව නම් දකුණේ ප්‍රගතිශීලී බලවේග නියෝජනය කරන ජවිපෙ වැනි පක්ෂ දෙමළ දේශපාලනය ගැන දැක්වූ අධානග්‍රාහී ආකල්පයයි. 

එහෙත් ජවිපෙ විසින් ප්‍රස්තුත සාකච්ඡාව ආදී අවස්ථා මගින් ලබා දෙන සංඥාව යනු එබදු පොදු අරගලයක් ගැන සිතා බැලීමට අලුත් අවකාශයක් විවර කිරීමකි. මෙය ප්‍රමාණවත් නැති බව සැබෑය. ජනවර්ග ගැටලුවට දේශපාලන විසදුමක් ලබාදීම වැනි ප්‍රශ්න සම්බන්ධයෙන් ජවිපෙ තව බොහෝ දුර යා යුතුව තිබෙන බව ද සැබෑය.  ආරම්භයේදීම සදහන් කළ පරිදි අනුර කුමාර දිසානායක විසින් ඉන්දියාවේ හින්දු පුවත් පතට කළ මෙම ප්‍රකාශය යනු ජනතා විමුක්ති පෙරමුණ දෙමළ දේශපාලන ඉල්ලීම් සම්බන්ධයෙන් දරන ආස්ථානයේ සුසුමාදර්ශීය පිම්මක් නොව එබදු පිම්මක විය හැකියාව ගැන සංඥාවක් පමණි. එය හුදු සංඥාවක් පමණක් වුව එය සාධනීය දෙයක් ලෙස පිලිගත යුතුය. මන්ද තම තමන්ගේ ස්ථාවර ගැන නැවත සිතාබැලීමට අවශ්‍ය පෙලඹුම පොදු අරගලයක් තුලින් මතු වන සහයෝගීතාවයන් තුලින් නිර්මාණය වන නිසාය. 

ඒ වගේම ජවිපෙ නායකයාගේ මෙම ප්‍රකාශය කෙතරම් බැරෑරුම් එකක්දැයි තීරණය වන්නේ හින්දු පුවත්පතේ මීරා ශ්‍රීනිවාසන්ට කියන දෙයම 'දිවයින' පත්තරේ කීර්ති වර්ණකුලසූරියගේ මුහුණට ද කීමේ ධෛර්යය ජවිපෙ නායකයා සතුව තිබෙන්නේ නම්ය. මෙය අපට අනාගතයේ දී බලාගැනීමට හැකිවනු ඇත. ජවිපෙ ඉතිහාසය සහ එය විසින් පාක්ෂික බලවේග තුල ජනවර්ග ප්‍රශ්නය ගැන ඓතිහාසිකව නඩත්තු කල මතවාදය සමග බලන විට එවැන්නක් පහසු නැති බව කිවමනා නොවේ. එ් සදහා වූ ගමන ජනතා විමුක්ති පෙරමුණට යාමට සිදුවන්නේ සිංහල ජාතිකවාදයෙන් එල්ල වෙන දැඩි ප්‍රහාරයන් මධ්‍යයේය. දෙමළ ජනයාගේ අභිලාශයන් පිළිගන්නා සියළුම වාමාංශික සහ ප්‍රගතිශිලි බලවේගයන්ගේ කාර්යභාරය වන්නේ මෙම ප්‍රවේශය තවදුරටත් ශක්තිමත් කරගැනීම සදහා ජනතා විමුක්ති පෙරමුණට ආධාර හා ධෛර්යය සපයන ගමන් එම ආස්ථානය සිංහල මහජාතිවාදයේ ප්‍රහාරයෙන් කොන්දේසි විරහිතව ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටීමය. 

Comments

Popular posts from this blog

සිංහල ජාත්‍යානුරාගයේ ප්‍රතිරූප දෙකක් : ඉරාජ් වීරරත්න සහ එදිරිවීර සරච්චන්ද්‍ර

කෙටි විසඳුම් නැති ගෘහස්ථ ණය අර්බුදය

පුත්තලම රංගෙ බණ්ඩාර සහ වරකාපොල නාමල් කුමාර