බර්නි සැන්ඩර්ස් සමග සංවාදයක්



සමාජවාදී අදහස් සමග අනන්‍ය වන නව දේශපාලන ප්‍රවණතාවයක් ඇමරිකාව තුල පසුගිය කාලය පුරාවට ජනප්‍රිය වෙමින් තිබේ. මෙම ප්‍රවණතාවයේ අලුත්ම ප්‍රකාශනය වූයේ 2018 නොවැම්බර් මාසයේ  පැවැත්වුණු එරට මධ්‍ය-වාරික මැතිවරණ වටයේ දී සමාජවාදී අපේක්ෂකයින් ගණනාවක් සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගැනීමය. මින් බොහෝ අය ‘ඇමරිකාවේ ප්‍රජාතාන්ත්‍රීය සමාජවාදියෝ’ (Democratic Socialists of America) සංවිධානය හා අනුබද්ධ අය වූහ. ස්වාධීන දේශපාලන බලවේගයක් නිර්මාණය කිරීමට කටයුතු කරන ගමන් ඩිමොක්‍රටික් පක්ෂයේ අවකාශය තුල සමාජවාදී ප්‍රතිපත්ති පිලිගන්නා අපේක්ෂකයින්ට ආධාර කිරීම හා ඒ තුල ක්‍රියාත්මක වීම සදහා මෙම සංවිධානය කටයුතු කරයි. තරුණ සමාජවාදී අපේක්ෂිකාවක වන ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කෝටේස් විසින් නිවු යෝර්ක්වල දී වාර්තා කල ජයග්‍රහණය මේ අතර කැපී පෙනෙන ජයග්‍රහණයක් විය.

පහත පලවන්නේ ඇමරිකානු සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස් සමග ජැකොබින් සගරාව කල සම්මුඛ සාකච්ඡාවක සිංහල අනුවාදයයි. 2016 වර්ෂයේ ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක තේරීම සදහා වූ මැතිවරණයේ දී හිලරි ක්ලින්ටන්ට තියුණු අභියෝගයක් එල්ල කල සැන්ඩර්ස් ඇමරිකාව තුල සමාජවාදී අදහස් ප්‍රධාන දහරාගත කිරීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ සැලකිය යුතු භූමිකාවක් ඉටු කලේය. මෙම සාකච්ඡාව තුල ඔහු ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසයෝ-කෝටේස්ගේ ජයග්‍රහණයේ වැදගත්කම, සමාජවාදී ප්‍රතිපත්තිවලට ඇමරිකාව තුල තිබෙන පිලිගැනීම හා සමාජ වෙනසක් සදහා ඩිමොක්‍රටික් පක්ෂය යොදාගැනීමට තිබෙන ඉඩ ආදී කරුණු පිලිබදව සාකච්ඡා කරයි. 



ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කෝටේස්ගේ ජයග්‍රහණය ඔබ දකින්නේ කොහොමද? ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදිනියක විසින් එතෙක් කොංග්‍රසයේ මන්ත්‍රීධූරය දැරූ ඉතාම ප්‍රබල පුද්ගලයෙක් පරාජයට පත් කරනු ලැබීමේ දේශපාලන තේරුම ඩිමොක්‍රටික් පක්ෂයේ සංස්ථාපිතය අවංකව තේරුම් ගෙන තිබෙනවා කියලා ඔබ සිතනවාද?

මම හිතන්නෙ නැහැ ඩිමොක්‍රටික් පක්සයේ නායකත්වය ඇලෙක්සැන්ඩ්‍රියාගේ ජයග්‍රහණයේ වැදගත්කම සම්පූර්ණයෙන්ම තේරුම් ගෙන තියෙනවා කියලා. ඇයට විශාල අවධානයක් ලැබුණා. ඇගේ ජයග්‍රහණය අසමසමයි. ඇය ඉතාම විශිෂ්ට බිම් මට්ටමේ මැතිවරණ ව්‍යාපාරයක් සිදුකලා. ගෙයින් ගෙට යමින් තම පණිවුඩය ඉදිරිපත් කලා. ඇය සමග ස්වේච්ඡාවෙන් වැඩ කල විශාල පිරිසක් හිටියා. ඒක විශිෂ්ට ව්‍යාපාරයක්. ඒත් මේ හුදෙක් ඇලෙක්සැන්ඩ්‍රියා ගැන විතරක් යමක් නෙමෙයි. ඇලෙක්සැන්ඩ්‍රියා ජය ලැබූ රාත්‍රියේම මේරිලන්ඩ්වල ඩිමොක්‍රටික් පක්ෂ සංස්ථාපිතය අභියෝගයට ලක්කරමින් තරග කල බෙන් ජේලස් පක්ෂ අපේක්ෂකත්වය දිනාගැනීමට සමත් වූවා. එදාම බැල්ටිමෝර්වල තරුණ ප්‍රගතිශීලී අපේක්ෂකයින් කිහිප දෙනෙක් එතෙක් ඒ කොට්ටාශවල බලය හෙබවූ පිරිස් ගණනාවක් පරාජය කිරීමට සමත් වූ අතර මෙය පක්ෂ සංස්ථාපිතයට විශාල ප්‍රශ්නයක් ඇති කලා. 

මේ ප්‍රවණතාවය රට පුරාම පැතිරෙන විධිහ අපිට දකින්නට පුලුවන්. ප්‍රගතිශීලී බිම් මට්ටමේ ව්‍යාපාර සමග එන පිරිස් සංස්ථාපිතයේ දේශපාලනඥයින් පරාජය කරමින් ඉදිරියට එන ආකාරය අපිට දැකිය හැකියි. 

ඩිමොක්‍රටික් පක්ෂය තුල සමාජවාදයට ඉඩක් නැති බව කොංග්‍රසයේ සුලුතරයේ නායිකා නැන්සි පෙලෝසි ලග දී අවධාරණය කලා. ඔබ ඊට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද?

සමාජවාදය ධනවාදය වගේ වචන බරපතල වචන. මේවා විවිධ අය විවිධ විධිහට තේරුම් ගන්නට පුලුවන්. ඔබ ඇලෙක්සැන්ඩ්‍රියා කථා කරන දේවල් දිහා, මම - ඒ වගේම වෙනත් ප්‍රගතිශීලීන් කථා කරන දේවල් දිහා බැලුවොත් ඔබට පෙනේවි ඒවා බෙහෙවින් ජනප්‍රිය බව. ප්‍රගතිශීලීන් හෝ ප්‍රජාතන්ත්‍රවාදීන් ලෙස තමුන්ව හදුන්වා ගන්නා අය අතර පමණක් නෙමෙයි පොදුවේ ඇමරිකානු ජනතාව අතර මේ අදහස් ජනප්‍රියයි. ඇලෙක්සැන්ඩ්‍රියා හෝ මා සටන් කරන අදහස් බොහොම ජනප්‍රිය අදහස් බව වටහා ගැනීම වැදගත්. 

උදාහරණයක් විධිහට දැනට අපගේ අවම වැටුප පැයට ඩොලර් හතයි දශම දෙකයි පහයි. මෙය යම්තම් සාගිනි නිවාගැනීමට ප්‍රමාණවත් වැටුපක්. කිසිම කෙනෙක්ට මේ වැටුපෙන් ජීවත් වෙන්නට බැහැ. ජාතික අවම වැටුප පැයට ඩොලර් පහලොවක් විය යුතු බවට අප කියන විට ඇමරිකානු ජනතාව ඊට සහයෝගය දෙනවා.

කාන්තාවන්ට සම වැටුප් තිබිය යුතු බව අප කියන විට ඇමරිකානු ජනතාව ඊට සහයෝගය දක්වනවා. අප සියලු දෙනාට නිදහස් සෞඛ්‍ය සේවය සහතික විය යුතු යැයි කියන විට සැලකිය යුතු බහුතරයක සහය ඊට ලැබෙනවා. මේ මීට වසර කිහිපයකට පෙර ඉතාම රැඩිකල් යැයි පෙනුනු අදහසක්. ඒත් දැන් ඒක ප්‍රධාන දහරාවේ අදහසක් බවට පත්වෙලා තිබෙනවා. සෞඛ්‍ය සේවාව වරප්‍රසාදයක් නෙමෙයි අයිතියක් බව ඇමරිකානු ජනතාවට වැටහෙනවා. දැනට වැඩිහිටි අයට විතරක් සීමා වෙලා තිබෙන ඔවුන් අරභයා ඉතා හොදින් ක්‍රියාත්මක වන මෙම අයිතිය අනෙක් අයටත් ව්‍යාප්ත විය යුතු බව, සෑම ගැහැණියකටම, පිරිමියෙක්ටම සහ ලමයෙක්ටම මෙම අයිතිය හිමිවිය යුතු බව සහ මේ සියලු දෙනාට සුව සේවාව සැපයීම විශාල වශයෙන් මුදල් ඉතිරි කරගැනීමට උපකාරී වන බව ඔවුන් වටහා ගෙන තිබෙනවා. මොකද මේ වනවිට ඒක පුද්ගල පෞද්ගලික සෞඛ්‍ය වියදම වෙනත් රටවල්වලට සාපේක්ෂව ඉතාම ඉහලයි.

ඖෂධ සමාගම්වල තණ්හාව ගැන අප කථා කරන විට ඇමරිකානු ජනයා ඉන්නේ අප සමග. පසුගිය වසරේ ඖෂධ සමාගම් පහක් ලාභ ලෙස ඩොලර් බිලියන පනහක් ඉපැයූ අතර ඔවුන් එම සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්ට අති විශාල වැටුප් හා දීමනා සපයනවා. අනෙක් අතට ඇමරිකානු ජනගහණයේ පහෙන් එකකට වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරන බෙහෙත් මිල දී ගැනීමට තරම්වත් මුදල් අතේ නැහැ. ඉතාම හොදින් ජීවත් වෙන අතිශයින් ධනවත් පිරිස් ඔවුන්ගෙන් සාධාරණ ලෙස සමාජයට අය විය යුතු බදු මුදල් ගෙවිය යුතු බවට අප බල කරන විට ඇමරිකානු ජනතාව ඊට සහයෝගය දෙනවා. 

රජයේ අධ්‍යාපන ආයතන හා විශ්ව විද්‍යාලවල ගාස්තු අය කිරීම අහෝසි කල යුතු බව අප කියන විට ඇමරිකානු ජනයා ඊට පක්ෂයි. සංක්‍රමණ ප්‍රතිපත්තිය, අපරාධ යුක්ති ප්‍රතිපත්තිය ප්‍රතිසංස්කරණය කිරීමට ඔවුන් එකගයි. ෆිලඩෙල්පියාවේ දී ලැරී ක්‍රැස්නර් මේ සම්බන්ධයෙන් බොහෝ හොද දේවල්වලට මුල පුරලා තියෙනවා. 

මේ ප්‍රතිපත්ති ඔබට කැමති විධිහකට ලේබල් කරන්නට පුලුවනි. මට අනුව මේවා සමාජ, ආර්ථික, වාර්ගික හා පාරිසරික යුක්තිය සම්බන්ධ මූලික අදහස්. ඇමරිකානු ජනයා මෙහි දී අප සමගයි. 


ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කෝටේස්
ඩිමොක්‍රටික් පක්ෂ සෙනෙට් සභික ටැමී ඩක්වර්ත්ට අනුව ඇලෙක්සැන්ඩ්‍රියාගේ ව්‍යාපාරය තුල මතු කල සටන් පාඨ ඇමරිකාවේ මධ්‍ය-බටහිර බදු ප්‍රදේශවලට ගැලපෙන්නේ නැහැ. ඔබ මොකද මේ ගැන කියන්නේ?

ඇලෙක්සැන්ඩ්‍රියා ඊට හොද උත්තරයක් දුන්නා. මධ්‍ය-බටහිර ප්‍රාන්තවල අපි ඉතාම සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කලා. 2016 ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක තෝරාගැනීම සදහා වූ ඡන්දයේ දී අපි ඉන්ඩියානා, මිචිගන්, වින්කොන්සින් ආදී ප්‍රාන්ත ජයග්‍රහණය කලා. ඉලිනොයිස් වැන තැනක අප පරාජය වූවේ සුලු ඡන්ද ප්‍රමාණයකින්. අප කථා කරන අදහස්වලට හැම ප්‍රාන්තයකම වලංගුතාවයක් තිබෙනවා.

මීට අවුරුදු හතරකට කලින්, 2014 මධය-වාරික මැතිවරණවල දී දශක හතක කාලයක් තුල දක්නට ලැබුණු අඩුම ඡන්දය දීමේ ප්‍රතිශතය වාර්තා වූවා. ඇමරිකානු ජනතාවගෙන් සියයට 36 ක් වගේ සංඛ්‍යාවක් තමයි ඡන්දය ප්‍රකාශ කලේ. සාමාන්‍ය ඇමරිකානු ජනතාව අධෛර්යයට ලක්ව, දේශපාලනය ප්‍රතික්ෂේප කරන විට, ඡන්ද පොලට නොයන විට තමයි රිපබ්ලිකන් පක්ෂය හොද ප්‍රතිඵල පෙන්නුම් කරන්නේ. ඔබට මතක නම්, අවුරුදු හතරකට කලින් රිපබ්ලිකන් පක්ෂය කොංග්‍රසය සහ සෙනෙට් සභාව යන දෙකම තුල විශාල බහුතරයක් අත්පත් කරගත්තා. ප්‍රාන්ත මැතිවරණවල හා ආණ්ඩුකාර ඡන්දවලත් එහෙමයි. ඒ ඡන්දය දීමේ ප්‍රතිශතය පහල වැටීමේ ප්‍රකාශනයයි. 

‘සෞඛ්‍ය සේවාව සියලු ජනතාවගේ අයිතියක් විය යුතුදැයි’ ඔබ මිනිස්සුන්ගෙන් අහන කොට ඔවුන් ‘ඔවු’ කියලා උත්තර දෙනවා. සෞඛ්‍ය සේවාව සියලු පුරවැසියන්ට සහතික කරන ලෝකයේ වෙනත් ප්‍රධාන පෙලේ රටවල් සමග ඇමරිකාවත් පෙල නොගැසීමට කිසිම හේතුවක් නැහැ. ලක්ෂ ගණන් දක්ෂ තරුණ පිරිස්වලට අද උසස් අධ්‍යාපනය සදහා ගෙවීමේ හැකියාව නැහැ. තවත් මිලියන ගණන් තරුණ පිරිස් අධ්‍යාපන ආයතනවලින් එලියට එනවා අති විශාල ණය බරකින් පරිපීඩිතව. මා එවැනි තරුණ හා මැදි වයස් අය සමග කථා කොට තිබෙනවා. ඒ ණය අති විශාලයි. ඩොලර් පනස් දහස හෝ ලක්ෂය තරම් අති විසාල මුදල්. මොකක්ද මෙච්චර ණය වෙන්න ඔවුන් කල අපරාධය? ඉගෙන ගැනීම! මෙය මහත් විකාර සහගත තත්වයක්.

ඒ නිසා අපගේ අදහස් රැඩිකල් අදහස් නෙමෙයි. අපි මේ අදහස් ජනතාව සමග සාකච්ඡා කරන විට ඔවුන් කියනවා ‘ඔවු ඒක හරි, අපි ඒක කරන්න ඕනෑ’ කියලා. ඔවුන් ඒ අනුව පෙලඹී ඡන්දය ප්‍රකාශ කලහොත් ප්‍රගතිශීලීන්ට හා ප්‍රජාතන්ත්‍රවාදීන්ට ජය ලබන්නට පුලුවනි. අපට වැඩ කරන ජනතාවට ආමන්ත්‍රනය කල හැකි වැඩපිලිවෙලක් නැතිනම්, ජනයා පුබුදු කල හැකි අදහස් අපට නැතිනම් එවිට ජනයා ඡන්දය ප්‍රකාශ කිරීමට එන්නෙ නැහැ. රිපබ්ලිකන් පක්ෂය අපේක්ෂා කරන්නෙත් ඒකයි. ඔවුන් ඡන්දය දිනන්නේ එතකොට.  

මේ උපායමාර්ගය ඩිමොක්‍රටික් පක්ෂයේ ඡන්දදායක පදනමට ආමන්ත්‍රණය කිරීම සදහා සැකසුණු 
එකක් වගෙයි? ඒ වෙනුවට රිපබ්ලිකන් පක්ෂයට ඡන්දය දෙන, උදාහරණයක් විධිහට ට්‍රම්ප්ගේ සමහර අදහස් නිසා කලකිරීමට පත් වී සිටින පිරිස් වැනි අය වෙත ලගා වෙන්නේ කොහොමද?

මම හිතන්නෙ නැහැ මේ දෙක අන්‍යොන්‍ය වශයෙන් බහිෂ්කාරීයි කියලා. මේ රටේ විශාල පිරිසක් ඉන්නවා ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ලැජ්ජා විරහිත බොරුකාරයෙක් වීම, වර්ගවාදියෙක්, ලිංගවාදියෙක් සහ ස්වෝත්තමවාදියෙක් වීම නිසා කෝපයට පත් වී සිටින.

ට්‍රම්ප්ගේ ආණ්ඩුව අවුරුදු තුනේ හතරේ පොඩි ලමයි ඔවුන්ගේ මවුවරුන්ගේ උදුරා ගෙන වෙන් කරන විධිහ දැකලා අප්‍රසන්න හැගීම් ඇති වෙන්න හෝ කෝපයට පත් වෙන්න ඔබ ප්‍රගතිශීලියෙක් වීම අත්‍යවශ්‍ය නැහැ. රට පුරා සිටින රිපබ්ලිකන් පක්ෂයට සහය දෙන අයට පවා මේ කෝපය දැනෙනවා. ඇමරිකාව මෙබදු රටක් නොවිය යුතු බව ඔවුන්ට හැගෙනවා. 

මධ්‍යස්ථ රිපබ්ලිකන් ඡන්දදායකයින් ආදී විශාල පිරිසක් ඉන්නවා ට්‍රම්ප්ගේ හැසිරීම නිසා ලැජ්ජාවට පත් වී සිටින හා ඩිමොක්‍රටික්වරුන්ට ඡන්දය දීමට සූදානම පල කරන. එහෙත් වැදගත්ම දේ තමයි අපි තේරුම් ගත යුතුයි ඇමරිකාව කියන්නේ ප්‍රධාන පෙලේ රටවල් අතුරින් අඩුම ඡන්දය දීමේ ප්‍රතිශතයක් වාර්තා වන රටක් බව. අප එලියට ගොස් ඡන්දය දීමට මැලිවන වැඩ කරන ජන කොටස්වලට, සුදු ජාතික, කලු ජාතික, ලතින් ඇමරිකානු සම්භවයක් තිබෙන, ආසියානු-ඇමරිකානු හා ස්වදේශික-ඇමරිකානු ආදී සියලු වැඩ කරන ජන කොටස්වල අපි කථා කරන්න ඕනෙ ඔවුන්ට තේරුමක් දැනෙන ප්‍රශ්න ගැන. අපට පුලුවන් නම් ඡන්දය දීමේ ප්‍රතිශතය ඉහල නංවා ගන්නට මට සහතිකයි ඩිමොක්‍රටික් පක්ෂයට කොංග්‍රසයේ වගේම සෙනෙට් සභාවෙත් බලය ලබාගත හැකි බව. 

කල යුත්තේ සංවිධානය වීම සහ දැනුවත් කිරීම. එහෙත් වැඩ කරන ජනයාට අර්ථයක් දැනෙන දේවල් ගැන කථා නොකරන තාක් දුරට ඔබට එය කල නොහැකියි. 

මැතිවරණ දේශපාලනය ගැන වාමාංශය තුල ඉතාම උණුසුම් විවාදයක් තිබෙනවා. ‘ඇමරිකාවේ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදීයෝ’ සංවිධානයේ බොහෝ අය ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයින් තෝරාගැනීමේ ඡන්දවල දී ප්‍රගතිශීලී අපේක්ෂකයින්ට සහයෝගය දීම වෙනුවෙන් පෙනී සිටිනවා. 20්‍16 දී ඔබ හිලරි ක්ලින්ටන්ට විරුද්ධව තරග කරන විට සහ ඔකාසියෝ-කෝටේස්ට මෙවර ආදී ලෙස. එහෙත් ඒ වගේම අපි සිතනවා ඩිමොක්‍රටික් පක්ෂයට පිටතින් වඩා රැඩිකල් හා ස්වාධීන බල පදනමක් නිර්මාණය කරගැනීම අවශ්‍යයයි කියලා. 

ඔබ මැතිවරණ දේශපාලනයට ප්‍රවිෂ්ට වූයේ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස. තාමත් ඔබ ස්වාධීනයි. වර්මොන්ට්වල දී ඔබට බර්ලින්ටන් නගරාධිපති වීම සදහා ආධාර කරනු වස් නිර්මාණය කල ප්‍රගතිශීලී පක්ෂයට මේ වනවිට වර්මොන්ට් ප්‍රාන්තය පුරා මන්ත්‍රීවරු සිටිනවා. මේ විධිහේ ස්වාධීන බලයක් ගොඩනැගීම සහ ඩිමොක්‍රටික් පක්ෂය තුල ඡන්දය ඉල්ලීම අතර නිසි තුලනය ලෙස ඔබ දකින්නේ කුමක්ද?

බර්ලින්ටන්වල සිදුවූ දේ ඊට තරමක් වෙනස්. ඒ කාලයේ, ඒ කියන්නේ 1981 දී - මම දන්නවා මේ බොහොම ඈත කාලයක්, නිකම් ජෝර්ජ් වොෂිංටන්ගේ කාලය ගැන කථා කරනවා වගේ - අපි දින්නා. අපි විශ්වාස කල දේ වෙනුවෙන් අපි වැඩ කලා. අපි සන්ධාන නිර්මාණය කලා. කම්කරුවන්, වෘත්තීය සමිති, පරිසරවේදීන් හා ස්ත්‍රීන් ආදී පිරිස්වලින් යුක්ත සන්ධානයක්. 

මේ සන්ධානය තුලින් තමයි ප්‍රගතිශීලී පක්ෂය බිහි වූයේ. වර්මොන්ට්වල මේ පක්ෂය මේ වෙනකොට සෑහෙන සාර්ථකයි. මට විශ්වාසයි ප්‍රගතිශීලී පක්ෂයට වර්මොන්ට්වල ප්‍රාන්ත මන්ත්‍රණ සභාව තුල ඇමරිකාවේ වෙනත් කිසිදු ප්‍රාන්තයක තුන්වන පක්ෂයකට සිටින මන්ත්‍රීවරුන්ට වඩා වැඩි මන්ත්‍රීවරුන් පිරිසක් ඉන්නවා කියලා. මේ වැඩ කරන ජනතාවගේ අවශ්‍යතා ගැන අවධානය යොමු කරමින් කල වැඩවල ප්‍රතිඵල. 

මේ රීතිය රටේ ඒ ඒ ප්‍රජාවන්ට අදාල වෙන ආකාරය සම්බන්ධ වෙනස් ව්‍යතිරේඛයන් තිබෙන්නට පුලුවනි. එහෙත් ඩිමොක්‍රටික් පක්ෂය තුල අප කරන්නට උත්සාහ කරන්නෙත් මීට සමාන දෙයක්. අප උත්සාහ කරමින් ඉන්නවා ඩිමොක්‍රටික් පක්ෂයේ දොරටු වැඩ කරන ජනතාවට හා තරුණ පිරිස්වලට විවෘත කිරීමෙන් නොනැවතී පක්ෂයේ නීති රීති වෙනස් කරන්නට. ඔබට මතක ඇති 2016 ජනාධිපති අපේක්ෂක තෝරාගැනීම සදහා වූ ඡන්දයේ දී සුපිරි-නියෝජිතයින් අති විශාල බලයක් අභ්‍යාස කල අන්දම. මගේ මතකය නිවැරදි නම්, ඡන්දය පටන් ගැනීමටත් පෙර, හිලරි ක්ලින්ටන් වෙනුවෙන් පක්ෂපාතීත්වය ප්‍රකාශ කල සුපිරි-නියෝජිතයින් පන්සියයක් හිටියා. 

ඒක එතකොට නාම යෝජනා සදහා ඡන්දයකට වඩා නිකම් අභිෂේක කිරීමක් වගේ?

පැහැදිලිවම. අප පසුගිය කාලයේ මේ නීතිය වෙනස් කරන්නට ඉතාම මහන්සියෙන් ක්‍රියා කල අතර මේ වනවිට එම ගමනේ තුනෙන් දෙකක පමණ දුරක් අපි ඇවිල්ලා ඉන්නවා. අපට අවශ්‍යයයි සුපිරි-නියෝජිත ක්‍රමය අහෝසි කරන්නට. එය ඉදිරි පියවරක් වනු ඇති. 

රටක් විධිහට ඡන්දය ප්‍රකාශ කිරීම වැලැක්වීමේ බොහෝ කාර්යපටිපාටික නීති ඇමරිකාවේ තිබෙනවා. සමහරු සිතාවි එහෙම තත්වයක් තිබෙන්නේ ඇලබාමා, මිසිසිපි, විස්කොන්සින් වගේ ප්‍රාන්තවල කියලා. ඒත් නිව් යෝර්ක් ප්‍රාන්තය පවා එහෙමයි. ඔබට අවශ්‍ය නම් නිව් යොර්ක්වල ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රාථමික මැතිවරණයක ඡන්දය ප්‍රකාශ කරන්න ප්‍රාථමික මැතිවරණයට මාස හයකට පෙර ඔබ පක්ෂ ලියාපදිංචිය ගත යුතුයි. මෙය ඉතාම නරක තත්වයක්. 

නිව් යෝර්ක්වල ඩිමොක්‍රටික් පක්ෂයේ වගේම රිපබ්ලිකන් පක්ෂයෙත් තිබෙන්නේ දැනට ඉන්නා මන්ත්‍රීවරුන්ට තමන්ගේ අපේක්ෂකත්වය රැකගැනීම පහසු කෙරෙන වර්ගයේ ක්‍රමයක්. අලුත් අයට අපහසුයි ඔවුන්ට අභියෝග කරන්නට. මෙය වෙනස් විය යුතුයි සහ එය වෙනස් කරන්න අපි වැඩ කරනවා. 

අපි සාර්ථක වෙලා තියෙනවා විවිධ තැන්වල. ප්‍රගතිශීලී අපේක්ෂකයින් ජයග්‍රහණය කරවීම අතින් පමණක් නෙමෙයි ඩිමොක්‍රටික් පක්ෂයේ දොරටු විවෘත කරලා නව පිරිස් ඒ තුලට කැදවීම අතින්. 

බ්‍රිතාන්‍යයේ ජෙරමි කෝබින් තෙරේසා මේ අගමැතිනියට එරෙහිව ගෙන යන අරගලයෙන් ඔබට උගත හැකි පාඩම් මොනවාද?

කෝබින් ඉතාම විශිෂ්ට ව්‍යාපාරයක් මෙහෙයවූවා. එය අපි ඇමරිකාවේ කරන්නට උත්සාහ කරන දෙයට එතරම් අසමාන නැහැ. ඔහු ඒ වනවිට සැලකිය යුතු තරම් දක්ෂිණාංශයට තල්ලු වී සිටි, සංස්ථාපිතයේම කොටසක් බවට පත් වී තිබුණු කම්කරු පක්ෂයේ සමස්ත සංස්ථාපිතයට අභියෝග කලා. ‘බ්‍රිතාන්‍යය තුල අපගේ කාර්යභාරය වැඩ කරන ජනයා වෙනුවෙන් පෙනී සිට ධෛර්යසම්පන්නව ධනවතුන්ට හා බලවතුන්ට අභියෝග කිරීම’ බව ඔහු ප්‍රකාශ කලා. කම්කරුවන්ගේ වගේම තරුණයින්ගේ පරිකල්පනය ග්‍රහණය කරගත හැකි ඉතාම ප්‍රගතිශීලී වැඩපිලිවෙලක් හෙතෙම ඉදිරිපත් කලා. ඔවුන් පසුගිය මැතිවරණය ජය නොගත් බව ඇත්ත. එහෙත් සියලු අනාවැකි බොරු කරමින් ඉතාම සාර්ථක ප්‍රතිඵලයක් ඔවුන් වාර්තා කලා. 

කෝබින්ට හැප්පෙන්නට සිද්ධ වූයේ කොන්සර්වැටිව් පක්ෂය සමග පමණක් නෙමෙයි. කම්කරු පක්ෂයේ සංස්ථාපිතය සමගත් ඔහුට ගැටුමක් තිබුණා. එක්සත් ජනපදයේ ප්‍රගතිශීලීන් ලෙස අපටත් මුහුණ දීමට සිදු වී තිබෙන්නේ ඒ හා සමාන තත්වයකට. 

වැඩ කරන ජනතාවට අර්ථාන්විත යැයි හැගෙන න්‍යාය පත්‍රයක් මත වැඩ කිරීමට අපට පුලුවන් විය යුතුයි. අප ජීවත් වන්නේ ආදායම්වල හා ධනයේ අති විශාල අසමානතාවයක් තිබෙන යුගයක. කෝටිපතියන්ට සහ මහා පරිමාණ සමාගම්වලට මැතිවරණ මිල දී ගැනීමට පුලුවන්කම ලැබී තිබෙන දේශපාලන ක්‍රමයක් අපට තිබෙන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණය සිටිසන්ස් යුනයිටඩ් නඩු තීන්දුවෙන් මේ තත්වය අනුමත කලා. මේ පසුබිම තුල ඡන්ද අපේක්ෂකයින් සෘජු විය යුතුයි. අපගේ සමාජයේ මහත් බලයක් හොබවන විශාල ව්‍යාපාරික පිරිස්වලට අභියෝග කරමින් වැඩ කරන ජනතාවගේ පැත්ත ගැනීමේ ධෛර්යය ඔවුන්ට තිබිය යුතුයි. එහෙම කරන්න පුලුවන් නම් දේශපාලනයේ දී සාර්ථක වෙන්න වගේම ඡන්දය දිනන්න පමණක් නෙමෙයි, ඇමරිකා එක්සත් ජනපදයේ ජීවන තත්වය වඩා යහපත් කරන්නටත් පුලුවන්කම ලැබේවි. 



Comments

Popular posts from this blog

සිංහල ජාත්‍යානුරාගයේ ප්‍රතිරූප දෙකක් : ඉරාජ් වීරරත්න සහ එදිරිවීර සරච්චන්ද්‍ර

කෙටි විසඳුම් නැති ගෘහස්ථ ණය අර්බුදය

පුත්තලම රංගෙ බණ්ඩාර සහ වරකාපොල නාමල් කුමාර