බුද්ධිමතුන් ගැන ග්‍රාම්ස්චිගේ අදහස



පහත ලිපිය ඉන්දීය ශිෂ්‍ය බලමණ්ඩලයේ ( Students' Federation of India) නිල ප්‍රකාශනය වන, Student Struggle  හි ඉංග්‍රීසි භාෂාවෙන් පල කරන ලද  What Gramsci Taught Us About Intellectuals යන ලිපියෙහි සිංහල පරිවර්තනයකි. ඉන්දීය ශිෂ්‍ය බලමණ්ඩලය ( Students' Federation of India) යනු සමස්ත ඉන්දීය ශිෂ්‍ය ව්‍යාපාරය වෙත නායකත්වය සපයනු ලබන වාමාංශික ශිෂ්‍ය සටන් මධ්‍යස්ථානයයි. ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ ශිෂ්‍ය අංශය ලෙස 1970 දී ආරම්භ කරන ලද ඉන්දීය ශිෂ්‍ය බලමණ්ඩලය අද වන විට සමස්ත ඉන්දියාවේම රාජ්‍ය විශ්වවිද්‍යාල තුල ඉගෙනුම ලබන මිලියන 4ට අධික ශිෂ්‍ය ප්‍රජාව වෙත සිය නායකත්වය ලබාදෙනු ලබයි. 

මෙම ලිපිය අන්තෝනියෝ ග්‍රම්ස්චි නම් ඉතාලි ජාතික කොමියුනිස්ට්වාදියා විසින්  බුද්ධිමතුන්ගේ කාර්යය පිලිබද ඉදිරිපත් කළ අදහස් ආශ්‍රයෙන් සැකසූ සංක්ෂිප්ත සටහනකි.  1926 දී ෆැසිස්ට්වාදී පාලනතන්ත්‍රය විසින් සිරගත කළ පසු බන්ධනාගාරගතව සිටියදී ග්‍රම්ස්චි විසින් මාක්ස්වාදී න්‍යායාත්මක රචනා ගණනාවක් සිදුකරන ලදී. ඔහු  1937  දී සිරගතව සිටියදී මිය ගියේය. 

සටහන - විජෙයි ප්‍රසාද්

පර්වර්තනය - කුසල් කාවින්ද අමරසිංහ

***

ෆොයාබාහ් ගැන ස්වකීය නිබන්ධනයේ දී මාක්ස් විසින් සඳහන් කරන ලද්දේ, “ලොව මෙතෙක් පහළ වූ දාර්ශනිකයන් ලෝකය අර්ථනිරූපණය කළා පමණි, නමුත් වැදගත් වන්නේ එය වෙනස් කළ යුත්තේ කෙසේද? යන්න පිලිබඳ සාකච්ඡාවයි. මාක්ස් ගේ අදහසෙහි අනුභූතික සරල අර්ථය වන්නේ, ඔහු ජීවත් වූ කාලවකවානුව තුල කටයුතු කළ බුද්ධිමතුන් මානව සමාජය අර්ථනිරූපණයෙහි ලා වෙහෙස වූවද, ධනේශ්වරය විසින් නිර්මාණය කරන ලද අසමානතාවය, තමන් උගත් දේ තුලින් වෙනස් කිරීමට ආශාවක් ඔවුන් සතුව නොවීමයි. මාක්ස්ගෙන් පසු යුගය තුල, විවිධ සමාජ පසුබිම් තුලින් බිහි වූ සහ විවිධ ජාතික අනන්‍යතාවයන්ගෙන් යුතු වූ විද්වතුන් තමන් ජීවත් වන සමාජය දෙස නැවත හැරී බැලූ අතර එකී සමාජය පිලිබඳ අධ්‍යයනය කිරීමට සහ එය වෙනස් කිරීම පිලිබඳ සාකච්ඡා කරන ලදී. මෙකී ප්‍රවණතාවය උන්නතිකාමි බුද්ධිමතුන්ගේ ආගමනයක් ලෙස හැඳින්විය හැක.

නමුත්, විද්වතුන් සහ කලාකරුවන් යනු සුළුතරය යැයි සිතූ බුද්ධිමතුන්ගෙන් බහුතරය සමාජ විමුක්ති ව්‍යාපාර වෙත ලබාදිය හැකි තම දායකත්වය ලබාදෙනු නොලැබීය. ඔවුන් හට පෞරාණික සමාජීය බලපෑම් තුලින් උද්ගත වූ සමාජ ධූරාවලිය, මුල්‍යය සහ දේවත්වය පිලිබඳ විශ්වාසය පහසුවෙන් විතැන් කිරීමට නොහැකි විය. මාක්ස්ගේ විවේචනය එල්ල වූයේ ලෝකයේ පවතින ගැටුම්කාරී ස්වභාවය තමන්ට අදාල නොවන බව විශ්වාස කළ, ආයතනික ආයෝජනයන්ගෙන් ස්වාධීන ලෙස පෙනී සිටින බුද්ධිමතුන් වෙතය. ඔවුන් ලෝකය ගැන ලියා ඇති නමුත්, විශ්වාස කරනු ලැබුවේ ලෝකයේ පවතින ගැටුම්කාරී ස්වභාවයට ඉහලින් තමන් සිටින බවයි. එවන් ස්ථාවරයක සිටීම හුදෙකලාව සිදුකළ නොහැකි ය. ඔවුන්ගේම පංති පුරුදු සහ ඔවුන්ගේම පංති අභිප්‍රේරණයන් ඊට හේතු වූ බව සැලකිය හැක.

මෙම බුද්ධිමතුන්ගෙන් ඉතා අතලොස්සකට තමන් වටා වූ ලෝකය අවබෝධ කරගැනීමට  සඳහා ඓතිහාසික හෝ අන්තර්-ඓතිහාසික පැහැදිලි කිරීම් සිදු කිරීමට අවශ්‍ය විය. එහෙත් මාක්ස් ජීවත් වූ යුගයේ මෙන්ම අප ජීවත් වන යුගයේ ද බහුතරයක් විද්වතුන් විසින් ඔවුන් නිරීක්ෂණය කළ දේ වෙනස් කිරීමේ ආකාරය පිළිබඳ මනා දැනීමක් නොමැතිව ලෝකය පිලිබඳ ස්වකීය අධ්‍යයනය සිදුකර ඇති බව පැහැදිලිය. ගැටලුවක් ඇති බවට දැනීමක් ඇති සහ ඒ දේ වෙනස් කිරීමට අවශ්‍ය බව අවබෝධ වූ අය පවා යථාර්තයක් ලෙස යථාර්තය අධ්‍යයනය කර නැත. මෙම ස්ථාවරය පිලිබඳ මාක්ස් විසින් මුලික වාක්‍යංශයේදී යෝජනා කර ඇති ආකාරයට අනාගත විමුක්තිය උදෙසා වර්තමානය වෙනස් කළ හැකි බවට මූලිකවම විශ්වාස කළ යුතු ය.

ස්ථිරසාර වෑයමක් දරන්නා

අඩසියවසකට පසු ඉතාලි ජාතික කොමියුනිස්ට්වාදියකු වූ අන්තෝනියෝ ග්‍රම්ස්චි(1891-1937) විමුක්තිකාමී බුද්ධිවාදි තේමාව වෙත නැවත යොමු විය. බුද්ධිමතුන් සියල්ලන්ම එක සමාන නොවන බව ග්‍රම්ස්ච් හට පැහැදිලි විය. සමාජවාදය කෙරෙහි වන ලෙන්ගතුකමට අනිවාර්යයෙන්ම නායකත්වය දෙන බුද්ධිමය ක්‍රියාවලියක් නිශ්චිව අනුමාන කළ නොහැක. ග්‍රම්ස්චි අවබෝධකරගත් පරිදි, බොහෝ බුද්ධිමතුන් වෙනසක් අදහස් නොකළ ගතානුගතික වූවන් හෝ විමුක්තිකාමී වූව ද විධිමාත්‍රික චින්තකයන් විය. මෙහිදී ග්‍රම්ස්චි විසින් ඓන්ද්‍රීය බුද්ධිමතුන්, සාම්ප්‍රදායික බුද්ධිමතුන් සහ නවීන බුද්ධිමතුන් වශයෙන් බුද්ධිමතුන් වෙන්කොට හඳුනාගත හැකි නිර්ණායක කට්ටලයක් ඉදිරිපත් කරයි.

බුද්ධිමතුන් යනු අනන්‍ය සමාජ පංතියක් නොවේ. ඔවුන් තමන් නිර්මාණය වූ සමාජ පංතිය වෙත මූලාරෝපිත වී ඇත.  බුද්ධිමතුන් තමන් බිහි වූ සමාජ පංතිය හෝ වෙනත් නව සමාජ පංතියක් වෙනුවෙන් ස්වකීය බුද්ධිමය දායකත්වය ලබාදෙනු ලබයි. ග්‍රම්ස්චි දක්වන ආකාරයට, 'සෑම සමාජ කණ්ඩායමක් වෙතම ලෝක ආර්ථික නිෂ්පාදනයේ අත්‍යවශ්‍ය කාර්යභාරයක් පැවරී ඇත. මුලිකව බුද්ධිමතුන් විසින් ආර්ථිකය වෙත පමණක් නොව සමාජ සහ දේශපාලනික ක්ෂේත්‍රයන් වෙත තම දායකත්වය ලබා දේ. ධනේෂ්වර ව්‍යවසායකත්වය තමා විසින්ම කාර්මික තාක්ෂණිකභාවය, දේශපාලන අර්ථිකය පිලිබඳ විශේෂඥභාවයක්, නව සංස්කෘතියක් සහ නව නීති පද්ධතියක් නිර්මාණය කරගනු ලබයි. '

එබැවින් සෑම සමාජ පංතියක් විසින්ම තමන් වෙත අනන්‍ය වූ බුද්ධිමතුන් බිහිකරගනු ලැබේ. ධනේශ්වර පන්තිය සඳහා නව-ලිබරල් අර්ථශාස්ත්‍රඥයන් ('දේශපාලන ආර්ථික විශේෂඥයන්') සහ ප්‍රචාරකයන් ('නව සංස්කෘතියක් පිළිබඳ සංවිධායකයන්') අවශ්‍ය වේ. සැමවිටම ඔවුන් පාලනය කරනු ලබන්නේ ධනේෂ්වර පංතියේ පංති අවශ්‍යතාවයන් වෙනුවෙන් සකස් වූ පංති ආස්ථනිකයන් විසිනි. නිදසුනක් ලෙස, ලෝකයේ බහුතර ජනයා කුසගින්නේ සිටිනුයේ ආහාර හිඟයේ ප්‍රතිඵලයක් ලෙස යැයි අවධාරණය කරන ධනේශ්වර අර්ථශාස්ත්‍රඥයකු; ලෝක ආර්ථිකය තුල ආහාර නිෂ්පාදනය, අවශ්‍යතාවයට සාපේක්ෂව 150% ක් බව පිළිගැනීමට සූදානම් වන්නේ නැත. ගොවි ජනතාව අතර ද භෝග වලට වැළඳෙන රෝග, කාලගුණය සහා වරිමාර්ග පිලිබඳ නිසි අවබෝධයක් ඇති බුද්ධිමතුන් සිටී. ඔවුහු එකී පංතියේ බුද්ධිමතුන් වෙති. සෑම බුද්ධිමතෙකුම ඔහුගේ හෝ ඇයගේ පන්තියට ඓන්ද්‍රීය වේ. එබැවින් ඔවුන් ඓන්ද්‍රීය බුද්ධිමතුන් යැයි හැඳින්විය හැක. ග්‍රම්ස්චි හඳුනාගත් පරිදි මෙකී බුද්ධිමතුන් ස්වකීය පංතිය වෙනුවෙන් ස්වාධීනව හා එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව මනා දැනුමක් සහිත වූවෝ වෙති. 

කෙසේ වෙතත්,  සමාජ ජීවිතය පිලිබඳ තම පෞද්ගලික දෘෂ්ඨිය, විශ්වීය දෘෂ්ඨියක් ලෙස ස්ථාපනය කිරීමට සමත් වන්නෝ අධිපති පංතියේ බුද්ධිමතුන්ය. ඔවුහු සිය පංතිය වෙත පවතින පක්ෂපාතීත්වය සමාජ විද්‍යාත්මක මවාපෑම් තුලින් සැඟවීමට සමත් වෙති. පාලක පංතීන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් වඩා නිර්මල සංකල්ප ස්ථාපිත කිරීමට ඔවුන්ට හැකිය. නිදසුනක් ලෙස ආරථිිකයේ මූලික ගාමක බලවේගයක් ලෙස ‘හිඟය’ නිරූපණය කරනු ලබයි.  හිඟය මූලික සංකල්පයක් වන විට, ඊළඟ ගැටලුව වන්නේ මෙකී හිඟ සම්පත් බෙදාහරින්නේ කෙසේද? යන්නයි. පිළිතුර වන්නේ ‍ ‘වෙළඳපොල’ යන්නයි. නමුත් වෙළඳපොල යන්න ස්වභාවික යෙදුමක් නොවේ. එය වෙළඳපොළ නිර්වචනය කිරීමට ප්‍රමාණවත් බලයක් ඇත්තවුන් විසින් නිර්මාණය කරන ලද්දකි.  සමාජ ව්‍යුහය විසින් වෙළඳපොළ හැඩගැන්වෙන බව ඔවුහු සඟවනු ලබයි. ‘වෙළඳපල තේරීම’ යන්නෙහි සරල අදහස වන්නේ, කුසගින්නේ සිටින්නකු වූවද මුදල් නොමැති නම් ආහාර ගැනීමට අවසරයක් නොමැති බවයි. ධනේෂ්වර අර්ථශාස්ත්‍රඥයින් පවසන පරිදි, මිල ක්‍රමය යනු සීමිත සම්පත් වෙන් කිරීම සඳහා වන හොඳම ක්‍රමවේදයයි.මෙය මධ්‍යස්ත ප්‍රස්තුතයක් ලෙස සලකනු ලැබූවද, සත්‍ය ලෙසම එය පාලක පංතියට ඓන්ද්‍රීය වූ බුද්ධිමතුන්ගේ අදහසකි. 

ගොවි ජනතාව වැනි අවශේෂ පංති වල මුල් බැසගත් බුද්ධිමතුන් මෙසේ අසනු ඇත. ‘ආහාර නිෂ්පාදනය කරන්නා වූ ගොවීන් කුසගින්නේ සිටින්නේ කෙසේද?’ ‘ලෝක ආහාර නිෂ්පාදනය සාගින්න පිටුදැකීමට ප්‍රමාණවත් වන විට ඉතිරි ආහාර වලට සිදුවන්නේ කුමක්ද?’  ‘කුසගින්නේ සිටිනවුන් පෝෂණය කිරීමට පෙර පාලකයින් ඒවා විනාශ කරන්නේ ඇයි?’ ප්‍රභූ ස්ථරයේ පාංතික ඉදිරි දර්ශනය සම්මත කරගත් විද්වතුන් විසින් නිර්මාණය කරන ලද බුද්ධිමය ලෝකයේ ම්ලේච්ඡත්වයන් මෙලෙස ප්‍රශ්නගත කළ හැක.

කෙසේ නමුත්, නිර්ධන පංතියේ බුද්ධිමතුන් ධනපති පංතියේ බුද්ධිමතුන් තරම් වැදගත් ලෙස සලකනු නොලබයි. සෑම සමාජ ආස්ථිත්වයක් තුලම  සත්‍ය වන්නේ, තාර්කික වන්නේ කුමක්ද? යන්න අධිපති පංතිය විසින් තීරණය කරනු ලබයි. එබැවින්, අධිපති පංතියේ බුද්ධිමතුන් සම්ප්‍රදායික බුද්ධිමතුන් ලෙස සැලකේ.  

ග්‍රම්ස්චිට අනුව ඓන්ද්‍රීය හෝ සාම්ප්‍රදායික විද්වතුන් ස්වභාවයෙන්ම ගතානුගතික හෝ රැඩිකල් නොවේ. සාමාන්‍යයෙන් සම්ප්‍රදායික බුද්ධිමතුන් - එකී පංති සමාජ පර්යාය දිරාපත් කෙරෙන පද්ධතිමය වෙනස්කම්වලට එරෙහිව සම්ප්‍රදායිකව ඔවුන්ගේ පංතියේ මුල්බැස සිටිති.  විවිධ පංතිවල ඓන්ද්‍රීය බුද්ධිමතුන් සම්ප්‍රදායික බුද්ධිමතුන් විසින් නිපදවන චින්තනයේ ක්‍රමවේදය පාලනය කරනු ලබන අතර, ඔවුන් ද බොහෝ විට ගතානුගතික වන බැවින් වෙනස්කම් පිළිබඳව උද්‍යෝගිමත් නොවේ. මෙම අදහස මාක්ස් සහ එංගලස් විසින් ඉදිරිපත් කළ ‘පාලනයේ අදහස වන්නේ පාලක පංතියේ අදහසයි' යන්න තහවුරු කරයි.

කෙසේ වෙතත්, ස්වකීය පංතියේ සැබෑ තත්ත්වය අවබෝධ කරගත් කම්කරු පංතියේ ඇතැම් ඓන්ද්‍රිය බුද්ධිමතුන්, ලෝකය පිළිබඳ රැඩිකල් අවබෝධයක් ඇතිව පාලක පංතියේ අදහස් වෙත ඔවුන් එකඟ නොවන බව ප්‍රකාශ කරයි. ඔවුන්ගේ අදහස් සමාජ දේශපාලන ව්‍යාපාරයක් සමඟ මුල්බැස නොගන්නේ නම් හෝ පක්ෂය නායකත්වය නොමැති වන්නේ නම් මිස විනාශ වී යා හැක. නිර්මාණකරුවෙකු, සංවිධායකයෙකු, ස්ථිරසාර වෑයමක්දරන්නෙකු ලෙස ප්‍රායෝගිකව ස්වකීය ක්‍රියාකාරී දායකත්වය ලබාදෙන මෙකී බුද්ධිමතුන් නවීන බුද්ධිමතුන්  ‍ලෙස ග්‍රම්ස්චි විසින් හඳුන්වනු ලබයි. 

මෙම නවීන බුද්ධිමතුන් අනිවාර්යයෙන්ම මාක්ස්වාදීහු නොවෙති. එහෙත් ඔවුන් සැබවින්ම ජනතාවගේ මූලික පන්ති අරගලයන්ට දායක වී ඇති අතර පශ්චාත් ධනවාදී සමාජයක් ගොඩ නැගීමට සටන් කිරීමේ අවශ්‍යතාවය පිලිබඳ නිසැක අවබෝධයකින් සිටී.


Comments

Popular posts from this blog

සිංහල ජාත්‍යානුරාගයේ ප්‍රතිරූප දෙකක් : ඉරාජ් වීරරත්න සහ එදිරිවීර සරච්චන්ද්‍ර

කෙටි විසඳුම් නැති ගෘහස්ථ ණය අර්බුදය

පුත්තලම රංගෙ බණ්ඩාර සහ වරකාපොල නාමල් කුමාර