අය වැය සහ කම්කරු නීති ප්‍රතිසංස්කරණ : නියාමනය දුර්වල කිරීම සදහා වූ ට්‍රෝජන් අශ්වයෙක්




[ ලක්මාලි හේමචන්ද්‍ර

2015 වර්ෂයේ දී බලයට පත් වූ තැන් පටන් යහපාලන ආණ්ඩුව විසින් ඉදිරිපත් කල සෑම අයවැයක්ම මහත් අවධාරණයකින් යුක්තව කම්කරු නීති ප්‍රතිසංස්කරණය කිරීම සදහා වූ අවශ්‍යතාවය ප්‍රකාශ කලේය. 2019 අය වැය යෝජනා ශ්‍රම බලකාය තුල කාන්තා සහභාගීත්වය ඉහල නැංවීම සදහා වූ උපාය මාර්ගයක් ලෙස කම්කරු නීති ප්‍රතිසංස්කරණය හදුන්වා දී තිබේ. මුදල් අමාත්‍යවරයාට අනුව ‘අනම්‍ය කම්කරු නීති’ - වෙනත් කරුණු අතර - ‘කාන්තාවන් ශ්‍රම බලකාය අත් හැර යාමට හෝ ශ්‍රම බලකායට කිසිසේත්ම ඇතුලුත් නොවීමට බලපාන හේතුවක් ලෙස හදුනාගනු ලැබ ඇත1’. මේ පදනම මත කාන්තාවන්ව ශ්‍රම බලකායට ඇතුලත් කිරීම සදහා වූ ක්‍රියාමාර්ග ලෙස අර්ධකාලීන සේවය ප්‍රවර්ධනය කිරීම, නම්‍යශීලී වැඩ මුර හදුන්වාදීම හා නිවසේ සිට වැඩ කිරීම සදහා පහසුකම් සැපයීම ආදිය සිදුකෙරෙන ආකාරයට කම්කරු නීති ප්‍රතිසංස්කරණය කිරීම සදහා යෝජනා ඉදිරිපත් කොට තිබේ. සියලුම කම්කරු නීති එක් තනි නීති සංග්‍රහයක් තුලට සංයුක්ත කිරීම සදහා කම්කරු අමාත්‍යවරයා විසින් මේ වනවිට ගෙන යනු ලබන වැඩපිලිවෙල සමග මෙකී යෝජනා සහසම්බන්ධිතය. 

ලංකාවේ කම්කරු නීති ප්‍රතිසංස්කරණ සදහා වූ යෝජනාවල ඉතිහාසය 1980 තරම් ඈතට දිවයයි. විවෘත ආර්ථිකය  හදුන්වා දීමෙන් ඉක්බිති ජේ.ආර්.ජයවර්ධන විසින් නායකත්වය දුන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඒ වනවිට කම්කරු නීති පද්ධතිය තුල තිබුණු විවිධ කම්කරු හිතවාදී රැකවරණයන් සැලකිය යුතු ලෙසකින් කප්පාදු කිරීම අරමුණු කරගත් නව සේවා සම්බන්ධතා නීතියක් හදුන්වා දීමට උත්සාහ කලේය. ඊට එරෙහිව නැගුණු ප්‍රබල වෘත්තීය සමිති විරෝධය ඉදිරියේ ඔහුට එම නීතිය හකුලා ගැනීමට සිදුවූ අතර පවතින කම්කරු නීති රාමුව තුල තිබෙන බොහෝ ආරක්ෂණයන් මේ දක්වා අඩු වැඩි වශයෙන් භුක්ති විදීමට මෙරට වැඩ කරන ජනතාවට අවස්ථාව ලැබී තිබෙන්නේ මෙබදු පසුබැසීම් නිසාය. කෙසේ වූවද, විවෘත ආර්ථිකය යටතේ ගත වූ පසුගිය දශක හතරක කාලය තුල මෙම ආරක්ෂණවාදී කම්කරු නීතිවල පැවැත්ම විශාල වශයෙන් තර්ජනයට ලක්ව ඇත. මෙම නීති යල් පැන ගොස් තිබෙන බව, පෞරාණික බව හා සේව්‍ය-සේවක දෙපාර්ශවයේම දියුණුව වලක්වන බවට තර්ක කරනු ඒ අනුව අසන්නට ලැබේ.

කම්කරු නීතිය කා සදහාද?

ආණ්ඩුව විසින් කම්කරු නීති ප්‍රතිසංස්කරණය සදහා න්‍යාය පත්‍රය සකස් කරන්නේ පෞද්ගලික අංශයේ ප්‍රතිලාභය සදහා ශ්‍රම වෙලදපොල නියාමනහරණයට ලක්කිරීමේ අරමුණිනි. උදාහරණයක් ලෙස, වත්මන් ආණ්ඩුවේ නිල ආර්ථික ප්‍රතිපත්තිය ප්‍රකාශ කරන ‘විෂන් 2025’ නම් ලියැවිල්ල කම්කරු නීති විස්තර කිරීම සදහා යොදාගන්නේ වෙලදපොල නැඹුරුතාවයෙන් යුක්ත වාග් මාලාවකි. මෙම ලියැවිල්ල කම්කරු නීතිවල තිබෙන අනම්‍යතාවය ඵලදායීත්වය වර්ධනය සහ ලංකාවේ ජාත්‍යන්තර තරගකාරීත්වය දුර්වල කරන්නක් ලෙස විස්තර කරයි2. මෙහි ‘කම්කරු නීතිවල අනම්‍යතාවය’ ලෙස අදහස් කරන්නේ කුමක්ද? සේවකයින්ව තම අභිමතය පරිදි සේවයට බදවා ගැනීමට හා පලවා හැරීමට හාම්පුතුන්ට තිබෙන නිදහස සීමා කරන නීති, එමෙන්ම අවම වැටුප් සහ අවම සේවා කොන්දේසි, සාමූහික කේවල් කිරීමේ අයිතිය හා සංවිධානය වීමේ අයිතිය ආදී වෘත්තීය සමිති අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සදහා රජය විසින් පැනවූ නීති මින් අදහස් වේ.  මෙම අයිතිවාසිකම් ආර්ථිකය ප්‍රජාතාන්ත්‍රීකරණය සදහා අත්‍යවශ්‍ය මෙවලම් ලෙස සහ දේපල (ප්‍රාග්ධන) හිමිකරුවන් සහ ශ්‍රමික ජනතාව අතර බලය තුලනය කරන උපාංගයන් ලෙස දකිනු වෙනුවට වෙලදපොල හිතවාදී දෘෂ්ටිවාදී කණ්ණාඩියක් තුලින් මේවා දෙස බැලීමට ආණ්ඩුව යොමු වී තිබේ. කම්කරු නීති පෞද්ගලික ආයෝජන ආකර්ෂණය කරගැන්ම සහ පෞද්ගලික අංශයේ ලාභ උපරිම කිරීම වලක්වන බාධකයක් ලෙස ආණ්ඩුවට පෙනී යන්නේ ඒ අනුවය.

කම්කරු නීති බදු ප්‍රජාතාන්ත්‍රීය නීති පද්ධතීන් ක්‍රියාත්මක වන්නේ නිදහස් වෙලදපොල තර්කනයට පිටතිනි. 1970 දශකය අග භාගයේ සිට මෙරට තුල බලවත් වූ වෙලදපොල මූලධර්මවාදය මෙබදු ප්‍රජාතාන්ත්‍රීය නීති පද්ධතීන් විශාල වශයෙන් තර්ජනයට ලක්කොට ඇත. කම්කරු නීති අකාර්යක්ෂම සහ ඵලදායීතාවය හීන කරවන බාධකයක් ලෙස දකින මෙම වෙලදපොල මූලධර්මවාදී ලෝක දැක්ම මංගල සමරවීර සහ ආණ්ඩුව විශ්වීය වශයෙන් පිලිගනු ලැබූ සත්‍යයක් ලෙස ගෙන තිබෙන බව පෙනී යයි. වර්තමානය වනවිට නිදහස් වෙලදපොල මූලධර්මවාදය ගැන අන්තර්ජාතික වශයෙන් තිබුණු සම්මුතිය බිද වැටෙමින් තිබෙන අතර එහි ඉතාම අනම්‍ය ප්‍රවර්ධකයින් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බදු ආයතන තුල පවා ඊට එරෙහි මත පලවෙමින් තිබේ. ආණ්ඩුව තවමත් මෙම මූලධර්මවාදී අදහස විශ්ව සත්‍යයක් ලෙස සලකමින් ක්‍රියා කරමින් සිටින්නේ එබදු පසුබිමක් තුලය.

ආණ්ඩුවේ වෙලදපොල හිතවාදී දැක්මට පටහැණිව නූතන කම්කරු නීතිය පදනම් වී තිබෙන්නේ සේව්‍යයා සහ සේවකයා අතර තිබෙන සම්බන්ධතාවය යටහත්පහත්භාවයේ සම්බන්ධයක් බවත්, මේ ආධිපත්‍යය තුල ගිවිසුම් ඇති කරගැනීමේ නිදහස සහ එබදු වෙනත් වෙලදපොල නැඹුරුතාවය සහිත තර්කනයන් සේව්‍ය-සේවක සම්බන්ධතා ක්ෂේත්‍රය තුලට ආදේශ කල නොහැකි බවටත් වූ මූලික හදුනාගැනීම මතය. සේව්‍යයා සහ සේවකයා අතර තිබෙන අසමාන කේවල් කිරීමේ බලය සමනය කිරීමේ අරමුණ මත නීති සම්පාදනය කොට යටහත්පහත්භාවයෙන් සේවකයා මුදවා ගත යුතු බව සහ සේවකයා වෙලද භාණ්ඩයක් ලෙස නොව මනුෂ්‍යයෙක් ලෙස ඒ තුල නැවත සංකල්පගත කල යුතු බව නූතන කම්කරු නීති පසුපස තිබෙන තර්කනය යෝජනා කරයි3. 

සාම්ප්‍රදායික නොවන රැකියාවල අභියෝගය

පසුගිය දශක කිහිපය තුල සම්මත රැකියා සම්බන්ධතාවල ස්වරූපය වෙනස් වී තිබේ. ස්ථිර කාලීන සේවා ගිවිසුම්, අර්ධකාලීන රැකියා, මෑන්පවර් රැකියා සහ නිදහස් පදනම මත කෙරෙන රැකියා ආදී ලෙස නව රැකියා ප්‍රභේද මතු වී තිබෙන අතර විශ්‍රාම යන තුරු, එක් සේව්‍යයෙක් යටතේ,පූර්ණකාලීනව නිශ්චිත පැය ගණනක් දවසට වැඩ කරන ස්ථිර රැකියාවල මොඩලය මත ගොඩනැගී තිබෙන පවතින කම්කරු නීති පද්ධතිය තුලට මෙම නව ප්‍රභේද අන්තර්ග්‍රහණය කරගැනීම අපහසුය. ඇතැම් අවස්ථාවල ස්ථිර කාලීන සේවා ගිවිසුම් යොදාගැනීම සහ ශ්‍රමය බාහිරකරණය (outsource) ආදිය යොදාගැනීම සාධාරණ ලෙස අවශ්‍ය විය හැකිය. එසේ වුවද සැලකිල්ලෙන් බලන විට පෙනී යන්නේ බොහෝ විට හාම්පුතුන් මෙබදු සාම්ප්‍රදායික නොවන රැකියා ප්‍රභේද යොදාගන්නේ පවතින කම්කරු නීති රාමුව විසින් නියම කරනු ලබන වගකීම්වලින් පැන යාම සදහා බවයි.

නම්‍යශීලී රැකියා ගැන කථා කරන විට අමාත්‍ය සමරවීර නම්‍යශීලී රැකියා ප්‍රභේදවල මෙම ඇත්ත භාවිතය එක්කෝ සිතාමතා මග හරී; එසේත් නැතිනම් එය නොදුටුවා සේ සිටියි. මෙම රැකියා ප්‍රභේද මේ වනවිට වැඩ කරන මවුවරුන් සහ කාන්තාවන් අධික සූරාකෑමේ තත්වයන් යටතේ සේවයට යොදාගැනීම සදහා භාවිතා වෙමින් තිබේ. මෙබදු බොහෝ ගිවිසුම් ප්‍රභේද තුල වර්තමානයේ සම්මත කම්කරු නීතිය තුල සුරක්ෂිත ආරක්ෂණයන් වන ඊපීඑෆ්-ඊටීඑෆ් ප්‍රතිලාභ ගෙවීම, අතිකාල ගෙවීම, ප්‍රසූත නිවාඩු සහ සේවය අවසන් කිරීමේ දී වන්දි ගෙවීම ආදිය අන්තර්ගත වන්නේ නැත.

කම්කරු නීති ක්ෂේත්‍රය තුල තිබෙන සමකාලීන සංවාදයන් තුල මෙබදු නම්‍යශීලී ශ්‍රම ගිවිසුම් යටතේ සේවය කරන කම්කරුවන් සාම්ප්‍රදායික සේවා ප්‍රභේදවලට අයත් කම්කරුවන්ට වඩා වැඩි වශයෙන් සූරාකෑමට ලක්වන බව හදුනාගෙන ඇත. වෘත්තීය සමිති තුල සංවිධානය වීමේ හැකියාව තිබෙන, එම නිසා සාමූහික කේවල් කිරීමේ බලය සහිත සාම්ප්‍රදායික කම්කරු පංතියට වෙනස්ව මෙබදු නව ප්‍රභේදවල රැකියාවල නියුක්ත කම්කරුවන් බොහෝ විට අසංවිධානාත්මක වන අතර එම නිසා හාම්පුතුන්ගේ අභිමතය ඉදිරියේ ප්‍රතිවිරෝධය පෑමේ හැකියාවෙන් තොරය.4

අපට අවශ්‍ය කම්කරු ප්‍රතිසංස්කරණ මොනවාද?

මංගල සමරවීර වැනි වගකීම් විරහිත ඇමතිවරුන් සහ හාම්පුතුන්ගේ නියෝජිත සංවිධාන වන ලංකා සේව්‍ය සම්මේලනය ආදී පාර්ශව විසින් ප්‍රවර්ධනය කරන කම්කරු නීති ප්‍රතිසංස්කරණය පිලිබද අධිපති කතිකාව සාම්ප්‍රදායික නොවන රැකියා ප්‍රභේද උත්කර්ෂයට නංවන්නේ එමගින් රැකියා විරහිතයින්ට සහ කාන්තාවන්ට වැඩි අවස්ථා ලැබෙන බව කියාපාමිනි. එහෙත් යථාර්තනය නම්, ස්ථිර කාලීන සේවා ගිවිසුම්, මෑන්පවර් ශ්‍රමය ආදිය වැඩි වැඩියෙන් යොදාගැනීම රැකියා සම්බන්ධතාවය දුර්වල කිරීමට සහ පවතින කම්කරු නීති මග හැර යාමට උපකාරී වී තිබෙන බවය. මෙහි ප්‍රතිඵල ලෙස, අති විශාල කම්කරු ජනතාවකට නීතිය මගින් නියම කොට තිබෙන අයිතිවාසිකම් භුක්ති විදීමට අවස්ථාව ලැබෙන්නේ නැත.

හාම්පුතුන් වංචනික ලෙස කම්කරු නීතිවලින් බේරී යාම සදහා යොදන මෙබදු උපමාරු නතර කිරීමට මැදිහත් වන ලෙස වෘත්තීය සමිති, විශේෂයෙන්ම මෑන්පවර් ශ්‍රමිකයින් නියෝජනය කරන වෘත්තීය සමිති ආණ්ඩුවලින් දිගින් දිගටම ඉල්ලා තිබේ. 2016 වර්ෂයේ දී ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ දෙදහසක් පමණ වන මෑන්පවර් සේවක පිරිසක් මාස තුනක වැඩවර්ජනයක් සිදුකල අතර මෑන්පවර් සේවකයින්ට සිදුවන අසමාන සැලකීම සහ ස්ථිර සේවකයින්ට සාපේක්ෂව එකම වැඩ සිදුකල ද ඔවුන්ට සිදුකරන ගෙවීම්වල විෂමතාවය මෙම වැඩවර්ජනය තුල දී අවධාරණයට ලක්විය. මෙම මෑන්පවර් සේවකයින් සමග තමුන්ට සේව්‍ය-සේවක සම්බන්ධයක් තිබෙන බව තවමත් ටෙලිකොම් ආයතනය පිලි නොගනී. ඔවුන්ට අසමාන ලෙස සැලකීම මේ වනවිටත් සිදු වෙමින් තිබේ.

මංගල සමරවීරගේ  ඊනියා විසදුම් වැඩ කරන පාන්තික ජනයාට, විශේෂයෙන් කාන්තාවන්ට තවදුරටත් ප්‍රශ්න ඇති කිරීමට හේතු වන සුලු බව පැහැදිලිය. අපට මේ මොහොතේ අවශ්‍ය කරන්නේ තවදුරටත් ස්ථිර කාලීන සේවා ගිවිසුම් හෝ නම්‍යශීලී වැඩ මුර ආදිය උත්කර්ෂයට නංවමින් සාම්ප්‍රදායික නොවන රැකියා ප්‍රභේද ප්‍රවර්ධනය කරන ප්‍රතිපත්තියක් නොව මෙබදු නව රැකියා ප්‍රභේදවල තිබෙන අසමාන බල සම්බන්ධය සීමා කොට සියලු ශ්‍රමිකයින්ට - ඔවුන් පුරුෂයන් හෝ ස්ත්‍රීන් හෝ වේවා, සාම්ප්‍රදායික රැකියාවල නියුක්ත අය හෝ සාම්ප්‍රදායික නොවන රැකියා ප්‍රභේදවල නියුක්ත අය හෝ වේවා - මේ සියලු දෙනාහට සමාන අයිතිවාසිකම් තහවුරු කරන ආකාරයේ කම්කරු නීති ප්‍රතිසංස්කරණයකි. ලංකාවේ ශ්‍රමිකයින්ට යහපත සැලසීමට නම් සැබැවින්ම බලාත්මක කල යුත්තේ කොන්ත්‍රාත් සේවකයින්, තාවකාලික සේවකයින් හෝ මෑන්පවර් සේවකයින් යන සියලු වර්ගවල ශ්‍රමිකයින් කම්කරු නීතිවල ආරක්ෂාවෙන් පිටමං නොවන බවට සහතික කෙරෙන හා ඔවුන් සියලු දෙනාට වෙනත් ශ්‍රමිකයින්ට ලැබෙන අයිතිවාසිකම් ලැබෙන බවට තහවුරු කෙරෙන ප්‍රගතිශීලී කම්කරු නීති ප්‍රතිසංස්කරණයකි.





[1] 2019 අය වැය කථාව, පි. 11
[2] විෂන් 2025, පි.26
[3] රූත් ඩියුක්ස්, හියුගෝ සෙන්සයිමර් සහ කම්කරු නීතියේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාමය කාර්යභාරය (2011)
[4] ගයි ඩැවිඩොව්, කම්කරු නීතිවල පරාසය නිර්ණය කිරීම - විශ්වීයත්වය සහ නිශ්චිතත්වය අතර (2013)

Comments

Popular posts from this blog

සිංහල ජාත්‍යානුරාගයේ ප්‍රතිරූප දෙකක් : ඉරාජ් වීරරත්න සහ එදිරිවීර සරච්චන්ද්‍ර

පුත්තලම රංගෙ බණ්ඩාර සහ වරකාපොල නාමල් කුමාර

2019 අය වැය : මිල්ටන් ෆ්‍රීඩ්මාන්ට සුබසාධනවාදී වෙස්මුහුණක් දැමීම