ප්‍රජාතන්ත්‍රවාදය යනු රනිල්ද?



| ඉෂාන් චාමර විසිනි

මේ දිනවල දේශපාලන සංවාද භූමියේ නිතර මතුරන සටන් පාඨය බවට පත් වී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයයි. රාජපක්ෂවාදයේ තර්ජනයෙන් එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව බේරා ගැනීම සදහා කොල්ලුපිටියට කැදවූ රැලිය වෙනුවෙන් පෙනී සිටි සිවිල් සමාජ බුද්ධිමතුන් යෝජනා කලේ 'මේ අරගලය රනිල් වෙනුවෙන් නොව ප්‍රජාතන්ත්‍රවාදය' සදහා බවටයි. කෙසේ වුවද, ප්‍රජාතන්ත්‍රවාදය සදහා වූ රැලියේ වේදිකාව මත සිටියේ රනිල් සහ එක්සත් ජාතික පක්ෂ නායකයින්ය.

ඒ අනුව සිවිල් සමාජ බුද්ධිමතුන් අපට යෝජනා කරන්නේ කුමක්ද? එක්සත් ජාතික පක්ෂය සහ ප්‍රජාතන්ත්‍රවාදය යනු සමාන වචන බවද? ප්‍රජාතන්ත්‍රවාදය සදහා අරගලය එක්සත් ජාතික පක්ෂයේ බලය සදහා වූ අරගලය සමග ද. එක්සත් ජාතික පක්ෂයේ බලය සදහා වූ අරගලය ප්‍රජාතන්ත්‍රවාදය සදහා අරගලය සමග ද බැදී තිබෙන බවද? ඒ අනුව යමෙක් ප්‍රජාතන්ත්‍රවාදයට සහය දෙන්නේ නම් රනිල් සමග සිටගනු හැර ඔහුට හෝ ඇයට විකල්පයක් නොමැති බවද? 

දේශපාලන ප්‍රභු තන්ත්‍රය තුල ඇති වී තිබෙන බල අරගලය හේතුවෙන් 'ප්‍රජාතන්ත්‍රවාදය' දේශපාලන සංවාදයේ මුදුනට පැමිණීම එක් අතකින් උත්ප්‍රාසජනකය. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම සදහා ජනතාවට වීදියට එන ලෙස ආරාධනා කරන එක්සත් ජාතික පක්ෂයට අමතක වී තිබෙන දෙය නම් ජනතාව පසුගිය කාලය පුරාවට ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා අරගල කල බවය. එකම වෙනස එම අරගල ප්‍රජාතාන්ත්‍රීය අරගල ලෙස දේශපාලන ප්‍රභූ තන්ත්‍රයට නොපෙනීමය. පාලක ප්‍රභූන්ට සෑම විටම ප්‍රජාතන්ත්‍රවාදය මතකයට එන්නේ තම බලය ගිලිහුණ විටදීය. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදය යනු ගිලිහුණු බලය ලබා ගැනීමට භාවිතා කළ හැකි දෙයකි. හොද්ද රස කිරීමට යොදන රම්පේ කරපිංචා අවසානයේ හප කර පිගන් ගැට්ටේ තබනවා මෙන් පාලකයින්ද බලය පහිටුවීමෙන් අනතුරුව ප්‍රජාතන්ත්‍රවාදය හප කර පසෙකින් තබයි. 

හැත්තෑ වසරක් පුරාවටමත්,‍ 2015 ජනවාරි 8 න් පසුවත්, අප දුටුවේ එයයි. රනිල්-මෛත්‍රී හවුල් ආණ්ඩුව බලයට ආවේ - වෙනත් කරුණු අතර, විවිධ සමාජ ව්‍යාපාර විසින් මතු කල විවිධ ඉල්ලීම්වලට සාධාරණය ඉටු කරන බවට වූ පොරොන්දුව සමගය. වරාය නගර ව්‍යාපෘතිය නතර කරන බවට, විනාශකාරී උමා ඔය ව්‍යාපෘතිය නවත්වන බවට, ටෙලිකොම් මෑන්පවර් සේවකයින්ගේ රැකියා සුරක්ෂිතතාවය තහවුරු කරන බවට ආදී වශයෙන් විවිධ සමාජ කොටස්වලට ලබා දුන් ප්‍රතිඥා ඒ අතර විය.  ජනතාවට දුන් මේ පොරොන්දු නොසලකා හැරීමේදි රනිල් වික්‍රමසිංහට ප්‍රජාතන්ත්‍රවාදය මතක් නොවීය. සිංගප්පූරු නිදහස් වෙලද ගිවිසුම අත්සන් කළේ පාර්ලිමේන්තුවටත් කොළේ හංගලාය. අයිතීන් ඉල්ලා අරගල කළ කම්කරුවන් ශිෂ්‍යයින් මත රාජ්‍ය මර්දනය මුදා හරිද්දීද රනිල් වික්‍රමසිංහට ප්‍රජාතන්ත්‍රවාදය මතකයට ආවේ නැත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතීන් කප්පාදු කරන ප්‍රති-ත්‍රස්ත පනත් කෙටුම්පත ගෙන එද්දි රනිල් වික්‍රමසිංහට ප්‍රජාතන්ත්‍රවාදය අදාල නොවීය. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට සින්න වී සිටි සිවිල් සමාජ බුද්ධිමතුන්ට ද ප්‍රජාතන්ත්‍රවාදය ගැන වගේ වගක් නොවීය. 

අවුරුදු තුන හමාරක් අමතකව තිබු ප්‍රජාතන්ත්‍රවාදය රනිල් වික්‍රමසිංහට යළි මතක් වී තිබෙන්නේ තමන්ගේ බලය ගිලිහීම නිසා හැර අන් කවරක් නිසාද? ප්‍රජාතන්ත්‍රවාදය මතක් වී නින්දෙන් ඇහැරුණු රනිල් වික්‍රමසිංහ ජනතාවට ප්‍රජාතන්‍ත්‍රවාදය ආරක්ෂා කිරීමට මහපාරට එන ලෙසට ආරාධනා කරන්නේ තමන්ගේ දෛනික වැටුප රු1000ක් කරන ලෙස ඉල්ලා කොළඹට විරෝධතා දැක්වූ වතු කම්කරුවන්ට ජලප්‍රහාර කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කර සතියක් ගතවීමටත් පෙරය. අවම වැටුප් ඉල්ලූ තමන්ට, එලව එලවා පහර දුන් ආණ්ඩුවේ ආරක්ෂාව වෙනුවෙන් එලෙස පහර කෑමට ලක්ව සතියක් යාමටත් මත්තෙනන් වතු කම්කරු ජනයා ඉදිරිපත් විය යුතු යැයි ආණ්ඩුව අපේක්ෂා කරන්නේද? එය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවක් නොව සාමාන්‍ය ජනයා යනු කිසිදු නියෝජ්‍යත්වයක් නොමැති, ප්‍රභූන් විසින් සේවයට කැදවූ විට වහ වහා ඒ සදහා ඉදිරියට ඒමට බැදී සිටින දාසයින් පිරිසක් ලෙස සලකන උද්දච්ච රදල අපේක්ෂාවකි. අධ්‍යාපන අයිතිය වෙනුවෙන් සටන් කරන විට ආණ්ඩුවේ අනේක විධි ගර්හාවන්ට සහ මර්දනයන්ට මුහුණ පෑ, ‘මෝඩ චූන් අරගලකරුවන්’ ලෙස ඇතැම් සිවිල් සමාජ බුද්ධිමතුන් අතින් අපහාසයට ලක්වූ විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් තමා එලෙස මර්දනය කල ආණ්ඩුවක් රැක ගැනීම වෙනුවෙන් ඉදිරියට එනු ඇද්ද?  වරාය නගර ව්‍යාපෘතිය නිසා අගතියට පත් ධීවර ජනයා ගැන කිව හැක්කේ කුමක්ද? මෙගාපොලිස් ව්‍යාපෘතිය නිසා ජීවිකාව හා වාසස්ථාන අහිමි වීමේ අවදානමට පත් ජනයා ගැන කිව හැක්කේ කුමක්ද? 

ප්‍රජාතන්ත්‍රවාදය යනු ස්ථිතික තේරුමක් තිබෙන වචනයක් නොවේ. එහි තේරුම තීරණය වන්නේ යම් මොහොතක සමාජයේ තිබෙන දේශපාලන බලතුලනය විසින් ඊට ලබා දෙන අර්ථය සමගය. ලංකාවේ දේශපාලන සංවාදය තුල ප්‍රජාතන්ත්‍රවාදය යන්නට දැනට ලැබී තිබෙන්නේ දේශපාලන ප්‍රභූ තන්ත්‍රය විසින් ලබා දුන් ඉතාම සීමිත අර්ථයකි. ඒ සීමිත අර්ථය තුල මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුව කල් තැබීම ප්‍රජාතන්ත්‍රවාදය පිලිබද ප්‍රශ්නයක් ලෙස හදුනා ගත්තත් සමාජයේ නිර්ප්‍රභූ ජනයාගේ අභිලාෂයන් දේශපාලන තීන්දු තීරණ ගැනීම තුල නියෝජනය නොවීම හා එම ජනයා බැහැර කොට දැමීම ප්‍රජාතන්ත්‍රවාදය ගැන ප්‍රශ්නයක් ලෙස හදුනා ගැනෙන්නේ නැත. ප්‍රජාතන්ත්‍රවාදයට ලැබී තිබෙන මේ සීමාසහිත ප්‍රභූ අර්ථයට අපි අභියෝග කල යුතුය. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම මහජනයාගේ අභිලාෂයන් සමග සුසම්බන්ධ කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදය ගැන අලුත් සහ පුලුල් සංකල්පයක් අපට අවශ්‍යයය.  

ජනාධිපතිවරයා විසින් ඔක්තෝබර් 26 වෙනිදා මහින්ද රාජපක්ෂ අගමැති ලෙස නම් කරමින් පාර්ලිමේන්තුව නොවැමබර් 16 වෙනිදා තෙක් විසුරුවා හරින්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම පිළිබද අබ මල් රේණුවක තරම්වත් තැකීමක් සිදු නොකරමින්ය. රාජපක්ෂට අවශ්‍ය පරිදි බහුතරය සකසා ගැනීම සදහා අවකාශය සැලසීම එහි අරමුණයි. බහුතරය නිර්මාණය වන තුරු පාර්ලිමේන්තුව නැවත නොකැඳවන අතර එතෙක් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ඉහළ මිළ ගනන් වලට වෙන්දේසි වීම සිදු වෙනු ඇත. එහෙන් මෙහෙට පනින 'ජනතා නියෝජිතයින්ට' වරදාන සමග අමාත්‍යධූර හිමි වේ. ජනාධිපතිවරයා විසින් නොවැම්බර් 7 වෙනිදා පාර්ලිමේන්තුව නැවත කැදවීමට තීරණය කර ඇති බව තමනට දැන් වූ බව කථානායකවරයා පක්ෂ නායකයින් සහ පර්ලමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීන් එක්ව ගත් සාකච්ඡාවකදි පවසා ඇත. පාර්ලිමේන්තු වෙන්දේසියේ අවසන් දින කිහිපය ගත වෙමින් පවතින බවත් රාජපක්ෂ කඳවුර පාර්ලිමේන්තුව තුළ බහුතරය පෙන්විමට සමත් වනු ඇති බවත් ඉන් ඉඟි කෙරේ. 

මෙලෙස බිහි වීමට යන නව ආණ්ඩුවේ ගමන් මග කුමක්ද? පසුගිය දින කිහිපය තුළ නව කැබිනට් අමාත්‍යවරු පිරිසක් දිවුරුම් දුන්හ. අධ්‍යාපනය වෙළදපොලකරණය වෙනුවෙන් පෙනි සිටි අගමැති වික්‍රමසිංහගේ කැබිනෙට්ටුවේ උසස් අධ්‍යාපන ඇමති විජයදාස රාජපක්ෂ නව අගමැති රාජපක්ෂගේ කැබිනෙට්ටුවේද උසස් අධ්‍යාපන ඇමති ලෙස පත් විය. වතු කම්කරු ජනතාවගේ ඡන්දයෙන් තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් උදෑසන රාජපක්ෂට සළු පොරවා දහවලේදි වික්‍රමසිංහ හමුවී සන්ධ්‍යාවේදි වතුකම්කරු ඇමති ලෙස පත් විය. දෛනික වැටුප රු.1000 ක් කරන්නැයි වතුකම්කරුවන් කළ ඉල්ලීමට නව වතු කම්කරු ඇමති ප්‍රතිචාර දැක්වූයේ දැනට රු. 520 ක් වන වැටුප රු. 600 ක් දක්වා පමණක් ඉහළ දැමිය හැකි බවට පවසමිනි. නව අගමැති රාජපක්ෂගේ කැබිනෙට්ටුවද පොදු අයිතීන් වෙළදපොලකරණය ගැන, කම්කරු අයිතිවාසිකම් ගැන දක්වන ආකල්පය කුමක්ද යන්න දැන ගැනීමට මේ සූළු උදාහරණ පමණක් ප්‍රමාණවත්ය. ඉදිරියේදිද කැබිනට් අමාත්‍යවරුන් දිවුරුම් දීමට නියමිත නිසා එළිවෙන ජාමෙට හොද හොද සෙල්ලම් බලාගත හැකිය. තමන්ගේ ප්‍රජාතාන්ත්‍රීය අයිතිවාසිකම් වෙනුවෙන් මහපාරට පැමිණීමට ජනතාවට ඊයේ සහ අද මෙන්ම හෙටත් සිදු වෙනු ඇත.

ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් පවතින ප්‍රභූතන්ත්‍රය වෙනුවට පහළ මාලයේ ජනයාට අර්ථයක් තිබෙන 'අපගේ ප්‍රජාතන්ත්‍රවාදයක්' ඉල්ලා සිටීමට සහ ඒ වෙනුවෙන් අරගල කිරීමට ප්‍රගතිශිලි සහ වාමාංශික බලවේග වලට අන් කවරදාකටත් වඩා පුළුල් අවකාශයක් දැන් නිරාවරණය වෙමින් පවති. හැට දෙලක්ෂයක අභිලාෂ සහ පනස් අට ලක්ෂයක අභිලාෂ අතර ධ්‍රැවීයකරණය වූ දේශපාලන කතිකාව මිලියන විසි තුනක අභිලාෂයන් නියෝජනය කිරීම සදහා සමාජය තුළ ප්‍රජාතන්ත්‍රවාදය සදහා අරගලය නැවත වර නැගීමට සිදු වෙනු ඇත. අදහස් ප්‍රකාශ කිරීමට දේශපාලනය කිරීමට ඇති අයිතිය ඉදරියේදි දෙගුණ තෙගුණ වූ වේගයකින් මර්දනය කෙරෙනු ඇත. අධ්‍යාපනය සෞඛ්‍ය වැනි පොදු අයිතීන් සිල්ලර ගණනට වෙළපොලේ විකිණෙනු ඇත. ලාභ රේට්ටු ඉහළ දමා ගැනීමට ශ්‍රමිකයන්ගේ සේවා කොන්දේසි සහ වැඩ තත්වයන් පරදුවට තැබෙනු ඇත. වික්‍රමසිංහ ගෙනා ප්‍රති-ත්‍රස්ත පනත රාජපක්ෂ විසින් අපූරුවට පාවිච්චි කරනු ඇත. අපගේ අරගලය සැබැවින්ම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම නම් 'උන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය' වෙනුවට 'අපගේ ප්‍රජාතන්ත්‍රවාදය' ගැන නව සංකල්පනයක් ශක්තිමත් කළ යුතුව තිබේ.

Comments

Post a Comment

Popular posts from this blog

සිංහල ජාත්‍යානුරාගයේ ප්‍රතිරූප දෙකක් : ඉරාජ් වීරරත්න සහ එදිරිවීර සරච්චන්ද්‍ර

කෙටි විසඳුම් නැති ගෘහස්ථ ණය අර්බුදය

පුත්තලම රංගෙ බණ්ඩාර සහ වරකාපොල නාමල් කුමාර