විජේවීරවාදී මත්පැන් තහනම සහ ලාල් කාන්තගේ 'ක්‍රියාව'



2004 මහ මැතිවරණය සදහා ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයේ පලමු වතාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව සන්ධානගතව තරග කල අතර එම මැතිවරණය සදහා එම පක්ෂය එක්තරා පුවත්පත් දැන්වීමක් පල කලේය. එය ඒ ඒ දිස්ත්‍රික්කවලින් ජවිපෙන් ඡන්දය ඉල්ලන අපේක්ෂකයින් සියලු දෙනාගේ කුඩා මුහුණත ඡායාරූප සහිත පිටුවක් පුරා විහිදෙන විශාල දැන්වීමක් විය. එහි මුදුනේ වූ හැදින්වීමෙහි ඔවුන්ව හදුන්වා දී තිබුණේ, වෙනත් කරුණු අතර, චාම් පැවැත්මක් සහිත මතින් හා දුම්පානයෙන් වැලැකුණු අල්පෙච්ඡ පිරිසක් ලෙසය. එම මැතිවරණය සදහා විජිත හේරත් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ලාල් කාන්ත අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ද තරග කලේය.

පසුගිය දිනෙක ලාල් කාන්ත සහෝදරයා මත්පැන් පානය කොට රිය පදවමින් සිටිය දී කල රිය අනතුරක් නිසා රක්ෂිත බන්ධනාගාරගත වීමත් සමග සමාජයේ විවිධ පිරිස් ඒ ගැන ජනතා විමුක්ති පෙරමුණින් ප්‍රශ්න කරන්නේ තම සාමාජිකත්වය මත් පැන් පානයෙන් වැලැකුණු පිරිසක් බවට ජවිපෙ විසින්ම කාලයක් තිස්සේ ගොඩනගා තිබෙන මතවාදය නිසාවෙනි. මෙම මත්පැන් විරෝධය ජනතා විමුක්ති පෙරමුණු සම්ප්‍රදායට සුවිශේෂී වූ සංස්කෘතිකාංගයකි. ( ජනතා විමුක්ති පෙරමුණු සම්ප්‍රදාය යන්නට ඉන්න බිදී ගිය පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද අයත්ය) ලංකාවේ වාමාංශික පක්ෂවල ඉතිහාසය 1935 වර්ෂය දක්වා දිව යන අතර එදා මෙදා තුර වාමාංශික පක්ෂ ගණනාවක් බිහි වී තිබේ. මුල් යුගයේ සමසමාජ සහ කොමියුනිස්ට් පක්ෂ ඉතාම විරාජමාන පක්ෂය ලෙස වැජඹුනු අතර මත්පැන් බීමට එරෙහි සම්ප්‍රදායක් එම පක්ෂවල තිබුණේ නැත. එම පක්ෂවල නායකයින් ද සාමාජිකයින් ද තම කැමැත්ත පරිදි මත්පැන් බීම හෝ නොබීම සිදුකලහ. තමුන් මත්පැන් නොබොන පිරිසක් ලෙස සමාජගත වීමේ උවමනාවක් ඔවුන්ගේ පැත්තෙන් නොතිබුණි. එම පක්ෂවලින් පැවතී එන, තවමත් ශේෂ වී තිබෙන ඇතැම් පක්ෂ; නව සමසමාජය හෝ එක්සත් සමාජවාදී පක්ෂය ආදී පක්ෂවල සංස්කෘතිය විමසා බැලුව ද මෙබදු තහනමක් ඒවා තුල දක්නට නොලැබේ.

ජවිපෙ සම්ප්‍රදායට සුවිශේෂී වූ මෙම මත්පැන් තහනමේ පසුබිම කුමක්ද? මේ ගැන ජවිපෙ සම්ප්‍රදාය තුල තිබෙන නිල පැහැදිලි කිරීම වන්නේ මෙම තහනම ආර්ථික හේතු නිසා ඇති වූ බවකි. පක්ෂයේ පූර්ණකාලීන සාමාජිකයින් අනෙක් සාමාජිකයින් විසින් ලබාදෙන ආධාර මත නඩත්තු වන නිසා සහ පක්ෂයට මූල්‍ය දුෂ්කරතා තිබෙන නිසා මත් පැන් බීම, සිගරට් බීම වැනි ‘අනවශ්‍ය’ වියදම්වලින් පූර්ණකාලීනයන් වැලැකී සිටිය යුතු බවට වූ අදහස මත මෙම තහංචිය ඇති වූ බව ඒ අනුව කියැවේ.

මත්පැන් තහනම ගැන මෙම ‘ආර්ථික පැහැදිලි කිරීම’ කෙසේ වූවද බෙහෙවින් ප්‍රශ්නසහගත පැහැදිලි කිරීමකි. ඇත්ත වශයෙන්ම මෙය පසුපස තිබෙන තාර්කිකය ආර්ථික එකක් නොව සංස්කෘතික එකකි. මෙම තහංචිය ජවිපෙ සම්ප්‍රදායේ අභ්‍යන්තර සංස්කෘතියේ ගති ස්වභාවයන් සිංහල බෞද්ධ ග්‍රාමීය සදාචාරවාදී නිර්ණායකවලට අනුව නිර්වචනය වී තිබීම පිලිබද හොද උදාහරණයකි. සිංහල බෞද්ධ ග්‍රාමීය සදාචාරවාදය අනුව මත්පැන් බීම හා දුම් පානය ආදී දේවල් හැගවුම්කරණය වී තිබෙන්නේ බටහිරින් පැමිණි සංකර දේවල් ලෙසය. මෙම සංකර දේවලින් වැලැකී සිටීම එම මිනුම් දඩු අනුව සදාචාරවත් ජීවිතයක ලක්ෂණයකි. ගම්බද සුලු ධනේශ්වර ස්ථර අතර බෙහෙවින් බලවත් මෙම අධිපති සංස්කෘතික තර්කනය අනුව බීම නරක දෙයකි. කලත් කරන්නේ හොරාටය. සැගවීය. එය පවා අනුමත පිරිමින්ට පමණි. කලින් කල බලයට එන ආණ්ඩු මතට තිත ආදී ව්‍යාපෘති මගින් සන්තර්පණය කොට ආමන්ත්‍රණය කරන්නට උත්සාහ කරන්නේ මෙන්න මේ සංස්කෘතික මනෝභාවයයි.

ජවිපෙ සම්ප්‍රදායට අයත් පූර්ණකාලීනයින් තම දෛනික ජීවිතය තුල එදිනෙදා අත්‍යවශ්‍ය දේවලට අමතරව අනෙක් විවිධ දෑවලට විය පැහැදම් කරති. එලෙස වියදම් කල හැකි වෙනත් දෑ ගැන පොදුවේ සීමා කිරීම් දක්නට නොලැබේ. අත යම් මුදලක් තිබෙන විටෙක සාමාන්‍යයෙන් එදිනෙදා නොකන ෆ්‍රයිඩ් රයිස්, අයිස් ක්‍රීම්  වැනි විශේෂ දෙයක් කෑම, චිත්‍රපටියක් බලන්නට යාම වගේ ජීවිතයේ ‘මූලික අවශ්‍යතාවලට’ බැහැර වෙනත් වියදම් සිදු කිරීමේ නිදහස ඔවුන් සතුය. මෙම සම්ප්‍රදායට අයත් දේශපාලන ක්‍රියාකාරීන් අතර තවත් ප්‍රචලිත එදිනෙදා කාර්යයක් වන්නේ බුලත් විට කෑමය. බුලත් විට කෑම ද අත්‍යවශ්‍ය කටයුත්තක් නොවේ. ඒ සදහා ද යම් වියදමක් යන අතර ඉන් සිදුවන සෞඛ්‍ය අනතුරු දුම්බීම විසින් ඇති කරන අනතුරට වඩා වෙනස් නැත. මත්පැන් බීම හෝ දුම්බීම ‘අනවශ්‍ය වියදමක්’, ‘සාමාජිකයින්ගේ මුදල් නාස්තියක්’ ලෙස දකින නමුදු බුලත් විට සදහා වියදම් කිරීම එබදු නාස්තියක් ලෙස දකින්නේ නැත.

අත්‍යවශ්‍ය නොවන වියදම් අතුරින් මෙලෙස මත්පැන් සහ දුම්බීම පමණක් විශේෂ කොට සලකා තහනම් ප්‍රවර්ගයට වැටීමේ හේතුව කුමක්ද? ඊට හේතුව එය ‘නරක’ දෙයක් බවට වූ ආකල්පයයි. එම ආකල්පය ගලා එන්නේ හොද සහ නරක නිර්වචනය කිරීමේ ඉහත කී සිංහල බෞද්ධ ග්‍රාමීය සදාචාරවාදී ලෝක දැක්ම තුලිනි. ග්‍රාමීය ප්‍රදේශවල අතරමැදි ස්ථර අතරින් බිහි වූ රැඩිකල් ව්‍යාපාරයක් ලෙස ඓතිහාසිකව වර්ධනය වූ ජනතා විමුක්ති පෙරමුණු ශ්‍රේණීන් තුල එම ස්ථර අතර බලවත් සංස්කෘතික ඇගයුම් පරාවර්තනය වීම අහම්බයක් නොවේ. ඊනියා ආර්ථික පැහැදිලි කිරීමකින් වසන්නට හැදුවද මෙම අරුචිය පසුපස තිබෙන සැබෑ හේතුව මෙන්න මේ සදාචාරවාදී සංස්කෘතික තර්කනයේ බලපෑමය.

කෙසේ වූවද, ලාල් කාන්තගේ සිදුවීම සහ ඊට පෙර සිදු වූ විජිත හේරත්ගේ සිදුවීම ආදිය මගින් එන්න එන්නම ප්‍රකාශයට පත්වන්නේ ඉහත කී සදාචාරවාදී තහනම සහ ව්‍යවහාරික යථාර්තය අතර පවතින ආතතියේ ප්‍රමාණයයි. අධිපති සංස්කෘතික තර්කනය මගින් කොතරම් බැහැර කිරීමට උත්සාහ කල ද මත්වීම යනු පොදුජනයා අතර තිබෙන වින්දන මාදිලියකි. මේ සදහා මිනිසුන් පෙලඹීම තුල අමුතු නරකක් නොමැත. ලංකාවේ ප්‍රශ්නය මත්වීම නොව ඒ හා සම්බන්ධ දියුණු සංස්කෘතියක් ප්‍රචලිත වී නොතිබීමය. පමණ ඉක්මවා මත් වී ගෝරි දා ගැනීමේ සිට මත් වී රිය පැදවීම දක්වා සියලු දුර්ගති සම්බන්ධ වෙන්නේ එබදු දියුනු භාවිතාවක් නොමැති වීම සමගය. තම දෛනික ජීවිතය තුල මත්පැන් පානය සදහා පෙලඹවීමක් තිබීම ලාල් කාන්තට, විජිත හේරත්ට වගේම ඕනෑම ජවිපෙ / පෙසප සාමාජිකයෙක්ට ද පොදු විය හැකි තත්වයකි. වසර පහකින් බලය ගැනීමේ ඉලක්කය සහිතව සන්නද්ධ දේශපාලනයේ යෙදෙන යුගයක මෙබදු පෙලඹවීම් මැඩගෙන සිටීම සමහර විට අපේක්ෂා කල හැකි වුවද සමහර විට දශක ගණනාවකින් බලය ලැබේදැයි විශ්වාසයක් හෝ නැති තත්වයක් තුල කරන දිගුකාලීන දේශපාලනයක් තුල එබදු මැඩගැනීම් සිදුකරගනු ඇතැයි අපේක්ෂා කිරීම ප්‍රායෝගික නැත. වරින් වර සිදුවන ලාල් කාන්ත වර්ගයේ සිදුවීම්වලින් පෙන්නුම් කරන්නේ මේ ආතතියයි.

සංවිධිත දේශපාලන ව්‍යාපාරයක් වන ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර විනය රීති සාදාගැනීම එම ව්‍යාපාරයට අයත් කටයුත්තකි. සාමාජිකයින්ගේ මූල්‍ය විනය ආදී කරුණු සම්බන්ධයෙන් වන එහි ඇතැම් රීති පොදුජනයාගේ ප්‍රසාදයට එම ව්‍යාපාරය ලක්වීමට හේතු වී තිබේ. කෙසේ වූවද ලාල් කාන්ත සිදුවීමෙන් එම පක්ෂයට ගත හැකි පාඩමක් විය හැක්කේ එහි විනය පද්ධතිය තුල තිබෙන ඇතැම් නීති රීති වල තිබෙන කෘතිම බව හා යල් පැන ගිය බව අවබෝධ කරගැනීමය. පක්ෂ ක්‍රියාකාරීන් යනු ඔබ සහ මම වැනි සාමාන්‍ය මිනිසුන් නොව, දෘඩ ලෙස වතාවත් රක්නා තාපස පිරිසක් බදු යැයි කෘතිම ලෙස ප්‍රක්ෂේපණය කිරීමට යාම පොදු ජනයාගේ දේශපාලන පක්ෂයක් ලෙස එම පක්ෂය වර්ධනය වීමට බාධා කරන සාධකයක් ලෙස‍ ක්‍රියා කරන බව වටහා ගැනීම වැදගත්ය.

ලාල් කාන්තගේ ‘ක්‍රියාව’ එනයින් විනය පිලිබද පටු ප්‍රශ්නයක් නොව එක්තරා විධිහක ඇස් ඇරවන්නක් විය හැකිය.

Comments

Popular posts from this blog

සිංහල ජාත්‍යානුරාගයේ ප්‍රතිරූප දෙකක් : ඉරාජ් වීරරත්න සහ එදිරිවීර සරච්චන්ද්‍ර

කෙටි විසඳුම් නැති ගෘහස්ථ ණය අර්බුදය

පුත්තලම රංගෙ බණ්ඩාර සහ වරකාපොල නාමල් කුමාර