ජුලියන් අසාන්ජ් අපායේ දොරටුව පාමුල



[ ටරික් අලී

ඉක්වදෝරයේ තානාපති කාර්යාලයේ හෙතෙම ලැගුම් ගෙන සිටිය දී ජුලියන් අසාන්ජ්ව බැලීම පිණිස මා කිහිප වතාවක් ගොස් ඇත. ඒ රෆායල් කොරයා ඉක්වදෝර ජනාධිපති ලෙස සිටි කාලයේදීය. ඒ කාලයේ එම තානාපති පරිශ්‍රය තුල නිදහස්කාමී අවකාශයක හැගීම විය. මීට සති කිහිපයකට ප්‍රථම මම යලිත් ඔහුව හමුවීමි. ඒ වනවිට කොරයාගේ අනුප්‍රාප්තිකයා වූ ලෙනින් මෙරේනෝ සෑම තලයකදීම ඇමරිකානු අධිරාජ්‍යයට යටත් වී තිබුණි. තානාපති කාර්යාලය සිරගෙයක් බවට පත්වෙමින් තිබුණු අතර අසාන්ජ්ගේ සෞඛ්‍ය තත්වය පිරිහෙමින් පැවැතිණ. ඔහුව පිටුවහල් කරන බවට එක්සත් ජනපදය මොරේනෝගෙන් ඉල්ලා තිබෙන බව සහ ඒ අනුව ඔහුව  පිටුවහල් කෙරෙනු ඇති බවට ඒ වනවිට හෙතෙම දැන සිටියේය. ඔහුව උදර්පණය කරන ලෙස එක්සත් ජනපදය කරනු ලැබූ ඉල්ලීම තවදුරටත් රහසක් නොවීය. ඒ අනුව අද දින ඉක්වදෝර තානාපති කාර්යාලය අසාන්ජ්ව බ්‍රිතාන්‍ය පොලිසියට භාර දුන්නේය.

අප ජීවත් වන්නේ නීතිවලට ගරු කරන ලෝකයක නම්, ඇප රීතිවලට අවනත නොවීම සම්බන්ධයෙන් අසාන්ජ්ට එරෙහිව චෝදනා ගොනු කෙරෙනු ඇති අතර එක්කෝ ඔහුට දඩ ගසනු ඇත; නැතිනම් සති කිහිපයකට බන්ධනාගාරගත කෙරෙනු ඇත. එසේත් නැතිනම් ඔහුගේ උපන් රට වූ ඔස්ට්‍රේලියාව වෙත යැවෙනු ඇත. එහෙත් බ්‍රිතාන්‍යය සහ ඔස්ට්‍රේලියාව යනු එක්සත් ජනපදයේ ඉල්ලීම්වලට දණ නමන එක්සත් ජනපද අධිරාජ්‍යයේ පරිවාර ඒකකයන්ය. මේ රටවල් දෙකම එක්සත් ජනපද ස්වාමියා සමග ( හෝ ඊට යටත්ව) කටයුතු කරන බව ප්‍රසිද්ධ රහසකි. එක්සත් ජනපදයට අසාන්ජ්ව මෙතරම් අවශ්‍ය ඇයි? ඒ අනෙක් අයට පාඩමක් ඉගැන්වීම පිණිසය. විකිලීක්ස් ගිය පාරේ නොයන ලෙස වෙනත් අයට කරන අවවාදයක් ලෙස අසාන්ජ්ව සිරගත කෙරුමට හා ඔහුව ලෝකයෙන් හුදෙකලා කිරීමට එක්සත් ජනපදය අපේක්ෂා කරයි. අසාන්ජ්ට විරුද්ධව සාක්ෂි දීම ප්‍රතික්ෂේප කල නිසා චෙල්සි මැනිං මේ වනවිට යලිත් අත්අඩංගුවට ගෙන ඇත. එක්සත් ජනපදය ලෝකයේ විවිධ පැතිවල කරන්නට යන්නේ මොනවාද යන්න ගැන තොරතුරු රුසියානු සහ චීන ඔත්තු සේවා සතුව ඇත. මේ නිසා විකිලීක්ස් විසින් ඇති කල සැබෑ තර්ජනය නම් පරිගණයක් අත තිබෙන ලෝකයේ ඕනෑම පුරවැසියෙක් වෙත එක්සත් ජනපදය ‘රහස්’ ලෙස සැලකූ තොරතුරු ලබාගැනීම හැකියාව එමගින් විවෘත කිරීමයි. 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු එක්සත් ජනපදයේ සහ යුරෝපා සංගමයේ ප්‍රතිපත්තිය පදනම් වූයේ පට්ටපල් බොරු මතය. මේ මුසාවන් ගෝලීය රූපවාහිනී සහ මාධ්‍ය ජාලා විසින් පතුරුවා හරිනු ලැබූ අතර උතුරු ඇමරිකාවේ හා යුරෝපයේ බොහෝ ජනයා මේ අදහස් සත්‍යය ලෙස භාරගත්හ. විකිලීක්ස් මගින් අනාවරණය කල, මෙම මුසාවන් හා ප්‍රතිවිරෝධී  වූ තොරතුරු  වැදගත් වූයේ යුද්ධ දියත් කිරීම යුක්ති යුක්ත කිරීම සදහා බටහිර රටවල් විසින් පාවිච්චි කල - මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස ආදී තේමාවල ව්‍යාජය එමගින් හෙලිදරවු වූ බැවිනි.

මේ සියල්ල හෙලි කිරීම සදහා විකිලීකිස් රහසිගත ලෙස ලේබල් කල ලේඛන ප්‍රසිද්ධියට පත්කලේය. මෙකී යුද්ධ පසුපස තිබෙන සැබෑ හේතු මේ හෙලිදරවු කිරීම් හරහා එලියට ආවේය. විකිලීක්ස් විසින් කල හෙලිකිරීම් ප්‍රමාණය අතිමහත්ය. මේ දක්වා විකිලීක්ස් මිලියන තුනකට ආසන්න රාජ්‍ය තාන්ත්‍රික කේබල් පණිවුඩ හා වෙනත් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තා ප්‍රකාශයට පත්කොට ඇත. මේ සියල්ල වචන බිලියන දෙක ඉක්මවයි. මුද්‍රණය කලහොත් වෙලුම් 30,000 ක් පමණ විය හැකි රාජ්‍යයේ අභ්‍යන්තර තොරතුරුවලට අදාල මෙම සමස්ත සාහිත්‍යය ලෝකයට අලුත් අත්දැකීමකි. මේ පවතින ක්‍රමය විසින් පතුරුවනු ලබන ප්‍රචාරක ජාලාවලට අභියෝග කරන පෙරලිකාරී බලවේගයක් ලෙස අන්තර්ජාලය මතු වූ අවස්ථාවකි. ස්වකීය මූලික ඉලක්කය ඇමරිකානු අධිරාජ්‍යය සහ එහි ගෝලීය වැඩපිලිවෙල බවට අසාන්ජ් සහ ඔහුගේ සගයින් කිසි විටෙක සැගවූයේ නැත. එක්සත් ජනපදයේ ආයතන මීට ප්‍රතිචාර දැක්වූ ආකාරය  හිස්ටරිකය. විසුලුසහගතය. ඇමරිකාවේ කොංග්‍රස් සභාවේ පුස්තකාලය විකිලීක්ස් වෙත වූ අන්තර්ජාල ප්‍රවේශය අත්හිටුවීය. එක්සත් ජනපද ජාතික ලේඛනාගාරය ‘විකිලීක්ස්’ යනුවෙන් එහි දත්ත ගබඩාවේ කල සොයාබැලීම් පවා මකා දැම්මේය. ජුලියන් අසාන්ජ් පවසන පරිදි ‘2012 මාර්තු වනවිට, පෙන්ටගනය කෙතරම් දුර ගොස් තිබුණේද යත්, ‘විකිලීක්ස්’ යන වචනය සහිත ඕනෑම ඊමේල් පණිවුඩයක් අවහිර කිරීම සදහා ස්වයංක්‍රීය මෘදුකාංගයක් එය විසින් නිර්මාණය කරන ලදී. පෙන්ටගනය වෙත ලැබෙන ඊමේල් පණිවුඩ ද මෙලෙස පෙරහන්කරණයට ලක්විය’. මෙහි ප්‍රතිඵල කෙතරම් හාස්‍යජනක වීද යත්, විකිලීක්ස් වෙත තොරතුරු සැපයූ බවට චෝදනා ලැබ අත්අඩංගුවට ගැනුණු එක්සත් ජනපදයේ හිටපු බුද්ධි අංශ තොරතුරු විශලේෂක චෙල්සි මැනිංට එරෙහිව පෙන්ටගනයේ නීතිඥයින් නඩුවට ලෑස්ති වනවිට ඔවුන්ට පෙනී ගියේ අධිකරණය වෙතින් හා විත්තිය වෙතින් එන ඇතැම් වැදගත් ඊමේල් පණිවුඩ ඔවුන්ට නොලැබෙන බවයි. එම පණිවුඩවල ‘විකිලීක්ස්’ යන පදය තිබුණු නිසා ඒවා ස්වයංක්‍රීයව අවහිර වී තිබුණි.

තමුන් නීතිය ක්‍රියාත්මක කරන බවට මේ වනවිට බ්‍රිතාන්‍ය රජය ප්‍රකාශ කොට ඇත. කුමක් සිදුවනු ඇද්දැයි ඉදිරියට අපට බලාගැනීමට පුලුවන. එක්සත් ජනපදයට පිටුවහල් කලහොත් වසර පහක් දක්වා අසාන්ජ්ව සිරගත කල හැකි බවට දැනට එක්සත් ජනපදය ප්‍රකාශ කොට ඇත. අද දින පාර්ලිමේන්තුව ඇමතූ විපක්ෂ නායක ජෙරමි කෝබින්ගේ ඡායා කැබිනෙට්ටුවේ ඉදිරි පෙල සාමාජිකාවක වන ඩයන් ඇබට් පහත ප්‍රකාශය සිදුකලාය.

‘බ්‍රිතාන්‍යය තුල ජුලියන් අසාන්ජ්ට ඉදිරිපත් කල හැකි එකම චෝදනාව ඇප සම්බන්ධ වූ කරුණක් පමණක් වුවත් මේ සන්ධ්‍යාවේ ජුලියන් අසාන්ජ් ගැන අප විවාද කරන හේතුව මුලුමනින්ම ඔහු විසින් කල රහස් තොරතුරු අනාවරණය හා විකිලීක්ස් සමග සම්බන්ධ බවට අප පාර්ලිමේන්තුවේ විරුද්ධ පස සිටිමින් පෙන්වා දීමට කැමැත්තෙමු. නීති විරෝධී යුද්ධ, ජනසංහාර, සිවිල් වැසියන් ඝාතනය කිරීම හා මහා පරිමාණ දූෂණ ගැන කරනු ලැබූ මෙම රහස් තොරතුරු අනාවරණයන් නිසාය ජුලියන් අසාන්ජ් එක්සත් ජනපද පාලනයේ උදහසට පාත්‍ර වී සිටින්නේ. යලිත් වතාවක් ඔහුව උදර්පණය කිරීම සදහා වරෙන්තුවක් නිකුත් කොට තිබෙන්නේ මේ නිසාය. ජුලියන් අසාන්ජ්ට දඩුවම් කිරීම හා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාව අතර සම්බන්ධයක් නොමැත. ඔහු පසුපස හඹා එන්නේ හෙතෙම එක්සත් ජනපද ආණ්ඩු සහ එහි හමුදා විසින් කල වැරදි හෙලිදරවු කල නිසාය’

එලැඹෙන දින සහ සති කිහිපය තුල බොහෝ දෑ සිදුවනු ඇත. මේ අතරවාරයේ, පුරවැසියන් ලදරුවන් ලෙස නොසැලකිය යුතු බව සහ එක්සත් ජනපදයේ හා යුරෝපා සංගමයේ බොහෝ දේශපාලනඥයින් විශ්වාස කල නොහැකි බවත්, ඔවුන්ගේ බේගල් හා දූෂණ ක්‍රියා ලෝකයා ඉදිරියේ හෙලිදරවු විය යුතු බවටත් විශ්වාස කරන  අප සියලු දෙනාගේ සහයෝගය විකිලීක්ස් වෙත හා එහි නිර්මාතෘ වෙත ලැබිය යුතුය.

බ්‍රිතාන්‍ය ජාතික දේශපාලන ක්‍රියාකාරිකයෙක් වන ටරික් අලී විසින් රචිත සටහනක සිංහල අනුවාදයයි.  මුල් ලිපිය  Verso වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී  - සංස්කාරක 



Comments

Popular posts from this blog

සිංහල ජාත්‍යානුරාගයේ ප්‍රතිරූප දෙකක් : ඉරාජ් වීරරත්න සහ එදිරිවීර සරච්චන්ද්‍ර

පුත්තලම රංගෙ බණ්ඩාර සහ වරකාපොල නාමල් කුමාර

2019 අය වැය : මිල්ටන් ෆ්‍රීඩ්මාන්ට සුබසාධනවාදී වෙස්මුහුණක් දැමීම