සිරා මරා නැත - මරා සිරා නැත : ජනාධිපති වියරුවට එරෙහි 'ජන අණසක' විරෝධතාවය හෙට කොළඹ දී




ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන විසින් පසුගිය ඔක්තෝබර් 26 වන දා මහින්ද රාජපක්ෂ අගමැතිධූරයට පත්කිරීමට ගත් තීන්දුව සමග ඇති වී තිබෙන අත්තනෝමතික දේශපාලන වාතාවරණය සදහා විරෝධය පල කරනු උදෙසා 'ජන අණසක' සංවිධානය විසින් කැදවා තිබෙන උද්ඝෝෂණයක් හෙට දින (දෙසැම්බර් 05)  පස්වරු 4.00 ට කොලඹ කොටුව දුම්රියපොල ඉදිරියේ දී පැවැත්වේ. පස්වරු 3.30 ට මරදාන ටෙක්නිකල් හන්දියෙන් පා ගමන ආරම්භ වන අතර එය කොටුව දුම්රියපොල දක්වා ගමන් කිරීමට නියමිතය. එම සංවිධානය විසින් නිකුත් කල අත් පත්‍රිකාවේ සටහන අප පහත පල කරමු. 






අලුත් ජනරජයක් සඳහා පෙළ ගැසෙමු!

2018 ඔක්තෝබර් 26 වන දින සිට අප රට තුල දිගහැරෙන ක්‍රියාදාමය තුල අපි දකින්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ව්‍යවස්ථානුකූල නොවන ආකාරයකින් අත්තනෝමතික ලෙස බලය යොදාගනිමින් රාජ්‍යය පාලනය කරන ආකාරයයි. අගමැතිවරයා ඉවත් කිරීම, පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැති මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පත්කිරීම සහ ඉන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීන්දුව මේ අත්තනෝමතිකභාවයේ සලකුණුය.

ජනාධිපතිගේ මේ අත්තනෝමතික හැසිරීමට අප බරපතල විරෝධය පල කල යුතුය. එහෙත් අනෙක් අතට ජනාධිපති විසින් බලයෙන් පහ කල රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූල ලෙස කටයුතු කල බවක් ඉන් අදහස් වන්නේ නැත. 2015 දී ඔවුනට ලැබුණු ජනවරම උල්ලංඝනය කරමින්, සමාජයේ බහුතරයක් ජනයාට හිතකර නොවන ජනතා විරෝධී ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට නංවමින් අත්තනෝමතික ලෙස හැසිරුණු හෙතෙම අනෙක් අතට ජාතික ප්‍රශ්නය විසදීම සම්බන්ධයෙන් ද ප්‍රගතිශීලී ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් විය. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ ජනතා විරෝධී ක්‍රියාමාර්ග නිසා 2015 දී බලයෙන් පහ වූ මහින්ද රාජපක්ෂ කණ්ඩායමට යලිත් සමාජයේ සැලකිය යුතු බලයක් ගොඩනගා ගැනීමට හැකි වී තිබෙන අයුරු පෙනී යයි. පසුගිය මාර්තු මාසයේ පැවැත්වූ පලාත් පාලන මැතිවරණයේ දී දක්ෂිණාංශික පොදු ජන පෙරමුණ සියයට 40 ක් ඡන්ද ලබාගැනීම මෙයට සාක්ෂි සපයයි.

මේ අනුව ප්‍රජාතන්ත්‍රවාදයට තිබෙන එකම අනතුර රාජපක්ෂ කණ්ඩායම හා ජනාධිපතිගේ අත්තනෝමතිකත්වය පමණක් නොවේ. අප එම අත්තනෝමතිකත්වයට වගේම පසුගිය අවුරුදු හතලිහක කාලය තුල විවිධ ආණ්ඩු යටතේ අඩු වැඩි වශයෙන් ක්‍රියාත්මක වූ, රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ඉතාම නිර්දය ලෙස ක්‍රියාවට නැංවූ ජනතා විරෝධී නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තීන්වලට ද විරෝධය පල කල යුතුය.

ඔක්තෝබර් 26 විධායක වියරුවට මග පෑදු 78 ව්‍යවස්ථාව කුජීතයි!  

නුතන ලෝකයේ රටවල ආණ්ඩුකරණය සඳහා බලය හිමිවන්නේ ජනතාව විසින්  ඡන්දය දී පත් කර ගත් ආණ්ඩු හරහාය. පැරණි රාජාණ්ඩු මෙන් නොව නුතන ආණ්ඩු වල බලය පදනම් වී ඇත්තේ ජනතා පරමාධිපත්‍යය මත යැයි පැවසෙන්නේ ඒ නිසාය. ලංකාවේ පාර්ලිමේන්තුව, විධායකය  හා අධිකරණය  තුල ඇති පොදු ජන නියෝජිතත්වය සීමා සහිත වුවද එම ආයතන වල බලයෙහි සීමාව ලෙස ජනතාවගේ පරමාධිපත්‍ය බලය පිළිගන්නා අතර මේ ආයතනවල බලය නීතිය මගින් නිර්වචනය කොට තිබේ. ස්වාධිපත්‍යය බලය මෙලෙස මහජනයාගේ පාලනයට යටත් විය යුතු බවට වූ අදහස ඓතිහාසික වශයෙන් අත්පත් කරගත් සමාජ ජයග්‍රහණයකි.

මෛත්‍රිපාල සිරිසේන විසින් උල්ලංඝණය කර ඇත්තේ මෙම සමාජීය ජයග්‍රහණයයි.  එය යහපාලන සම්මුතිය උල්ලඝනය කිරීමට වඩා ගැඹුරු අපරාධයකි. මෙම ක්‍රියාවලිය ඉතාම භයානක වන්නේ පිලිගත් සම්මුතීන් අනුව නොව හොද හා නරක ගැන තමන්ගේ පුද්ගලික තක්සේරු කිරීම මත ක්‍රියාකිරීමට ජනාධිපති යොමු වී තිබෙන නිසා සහ මෙම ක්‍රියාවලිය මෙලෙස පැවතීමට ඉඩ දුන්නොත් එය සමාජයේ පිලිගත් ධර්මතාවයක් බවට පත්විය හැකි නිසාය.

මෙහිදී වාමාංශය මෙන්ම සියලු ප්‍රගතිශීලී කොටස් මිනිස් ශිෂ්ටාචාරයේ ජයග්‍රාහී උරුමයක් වන ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳව  වූ මුලධර්මය වෙනුවෙන් පෙනී සිටිය යුතු බව අපගේ අදහසයි. අද දිනයේදී පාර්ලිමේන්තුවට අරක් ගෙන ඇති අත්තනොමතිකත්වය හෙට දිනයේදී අපගේ දේශපාලන නිදහසටද අත පොවනු ඇත. එය වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ හා බහුජන සංවිධානවල දේශපාලන අයිතිවාසිකම්වලටද කඩා වදිනු ඇත. ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පිළිබඳ අදහස වෙනුවට අත්තනෝමතික බලයක් පැමිණීම පීඩිත ජනතාවට සහ  වාමාංශික බලවේගයන්ට විශේෂයෙන්ම අවාසිසහගත වන බව දහ හත් වසරක එක්සත් ජාතික පක්ෂයේ දුර්දාන්ත පාලනය මෙන්ම යුද්ධය අවසාන වීමෙන් පසුව මහින්ද රාජපක්ෂ රජය විසින් ගෙන යන ලද පාලනය විසින් ද අපට ඇති තරම් පෙන්වා දී තිබේ. මෙබදු අත්තනෝමතිකත්වයන්ට පාර කපන්නේ විධායක බලය තනි පුද්ගලයෙක් අත රදවන 1978 අපකීර්තිමත් ව්‍යවස්ථාව මගින් ඇති කල විධායක ජනාධිපති ක්‍රමය බව පැහැදිලිය. 

අලුත් ජනරජයක් සඳහා පෙළ ගැසෙමු!

අවුරුදු 443 ක් විවිධ යටත් විජිත බලවේගවලට යටත්ව තිබු ලංකාව 1948 දී නිදහස ලබන්නේ බ්‍රිතාන්‍යය විසින් සකස් කර දෙන ලද ව්‍යවස්ථාවක් සමගිනි. 1972 දී බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයෙන් සම්පුර්ණයෙන්ම වෙන් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සමගි පෙරමුණ විසින් පළමුවන ජනරජ ව්‍යවස්ථාව පිහිටුවන්නේ සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් ලෙසිනි. එසේ වුවද නව ජනරජය වාර්ගික, ආර්ථික හා සමාජීය සමානාත්මතාවය මත පිහිටුවීමට එම ව්‍යවස්ථාව අසමත් වන අතර විශේෂයෙන්ම ඒකීය රාජ්‍යය හා බුද්ධාගමට ප්‍රමුඛස්තානය දීම නිසාවෙන්  පළමු ජනරජය වාර්ගික අසමානාත්මතාවය ව්‍යවස්ථාගත කලේය. 1978 දී බලයට පැමිණෙන එක්සත් ජාතික පක්ෂය දෙවන ජනරජ ව්‍යවස්ථාව මගින් පැවති සම්මුතිය තවදුරටත් ප්‍රතිගාමී ලෙස ප්‍රතිසංස්කරණය කරමින් විධායක ජානාධිපති ධුරය පිහිටුවන්නේ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියට සහාය දෙමිනි. ඒ අනුව දෙවන ජනරජයේ පදනම වූයේ තීව්‍ර කරන ලද වාර්ගික හා ආර්ථික අසමානාත්මතාවයයි.

එම ව්‍යවස්ථාව මගින් ඇති කල දේශපාලන ක්‍රමය මේ වනවිට කුණු වී ගරා හැලෙමින් තිබේ. විධායක ජනාධිපතිගේ වල් බූරු හැසිරීම වගේම, ජනතාවට කිසිදු වගවීමක් නොමැතිව එහා මෙහා පනිමින් හැසිරෙන මහජන නියෝජිතයින්ගේ චර්යාව, මුදල් හා ධන බලය විසින් මහජන නියෝජිතයින් මෙහෙයවීම හා හැසිරවීම, මහජන නියෝජිතයන්ට බලපෑම් කිරීමට මහජනයාට තිබෙන අවස්ථා සීමාසහිත වීම ආදිය මෙම කුණු වූ ක්‍රමයේ අංග ලක්ෂණ වෙති. මහජනයාට ඡන්දය තිබුණත් ඔවුන්ට තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුල ‘හඩක්’ නැත. මේ නිසා දේශපාලන තන්ත්‍රය ගැන විශාල කලකිරීමක් හා අප්‍රසන්න හැගීමක් මහජනයා අතර වර්ධනය වී තිබෙනු දැකගැනීමට පුලුවන.

නිදහසෙන් ඉක්බිති අප ඇති කරගත යුතුව තිබුණු, එහෙත් ඇති කරගැනීමට අසමත් වූ ප්‍රජාතන්ත්‍රවාදය සහ සියලු දෙනාට සමානාත්මතාවය යන මූලධර්ම මත පදනම් වූ ජනරජයක් ඇති කරගැනීම අන් කවරදාටත් වඩා අවශ්‍ය වී තිබෙන්නේ මේ නිසාය. මෙතෙක් පැවැති ජනරජ ආණ්ඩු ක්‍රම මගින් සිදු කරන ලද්දේ සමාජ අසමානතාවය, අත්තනෝමතිකභාවය හා ජාතිවාදය විවිධ ආකාරවලින් පෝෂණය කිරීමයි. අර්ථාන්විත ප්‍රජාතන්ත්‍රවාදය යනු මේ සියල්ලට එරෙහි නව වටිනාකම් පද්ධතියක් මත ආණ්ඩුකරනය ගැන පරිකල්පනය කිරීමයි.

අපට අවශ්‍ය විවිධ ජනවර්ග, ආගමික ප්‍රජාවන්, ලිංගික අනන්‍යතාවයන්, ස්ත්‍රී පුරුෂ සමාජභාවයන්, කුලය හෝ පංතිය ආදී සාධක මත කිසිවෙක් බැහැර කරනු නොලබන සමානාත්මතාවය මත පදනම් වූ නව ජනරජයකි. නව දේශපාලන ක්‍රමයකි. ආර්ථික අසමානතාවය වර්ධනය කෙරෙන නව ලිබරල්වාදයට වගේම ගෝලීය හා දේශීය ආර්ථික-දේශපාලන ප්‍රභූ බලවේගවල පාලනයෙන් නිදහස් ජනතා පරමාධිපත්‍යය අර්ථාන්විතව නියෝජනය වන නව ආණ්ඩු ක්‍රමයකි. නව දේශපාලන ප්‍රජාවකි. මෙම වටිනාකම් මත පදනම් වූ ‘තුන්වන ජනරජයක්’ වෙනුවෙන් කැදවුම් කිරීමට සියලු පුරවැසි බලවේග මෙම අර්බුදකාරී මොහොත අවස්ථාවක් කොට ගත යුතු යැයි අපි සිතමු.


Comments

Popular posts from this blog

සිංහල ජාත්‍යානුරාගයේ ප්‍රතිරූප දෙකක් : ඉරාජ් වීරරත්න සහ එදිරිවීර සරච්චන්ද්‍ර

කෙටි විසඳුම් නැති ගෘහස්ථ ණය අර්බුදය

පුත්තලම රංගෙ බණ්ඩාර සහ වරකාපොල නාමල් කුමාර