කම්කරුවන්ගේ වැටුප් ඉල්ලීමට එරෙහි වතු හාම්පුතුන්ගේ ප්‍රතිචාරවල වංචනිකත්වය



[ ධනූෂ පතිරණ

‘කිරිඇල්ලගේ ප්‍රකාශයට වැවිලිකරුවෝ පිලිතුරු දෙති’ යන හිසින් ලංකා වැවිලිකරුවන්ගේ සංගමය 2019 පෙබරවාරි මාසයේ ඩේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතේ ලිපියක් පල කල අතර වතුවල දෛනික මූලික වැටුප රුපියල් 500 සිට 1000 දක්වා වැඩි කිරීම යථාර්තවාදී ලෙස සිදුකල නොහැක්කේ ඇයිදැයි පැහැදිලි කිරීම එම ලිපියේ අරමුණ වී තිබුණි. එම සංගමයේ මෙම කියාපෑම වතු කම්කරුවන් විසින් වාර්ෂිකව නිෂ්පාදනය කරන අති මහත් අතිරික්තය සැගවීම සදහා සිතා මතා නිර්මාණය කරන ලද ව්‍යාජයක් වන්නේ කෙසේදැයි පැහැදිලි කිරීම මෙම සටහනේ අරමුණයි. ජීවත් වීමට සුදුසු වැටුපක් සදහා එම කම්කරුවන් නගන ඉල්ලීම යටපත් කිරීම සදහා මෙම ව්‍යාජ කියාපෑම යොදාගනු ලැබේ. ‘නූතන වැවිලිකරුවන්’ යන නොමග යවන සුලු වචනයෙන් හදුන්වනු ලබන, වාණිජ ධනපති කණ්ඩායමක් විසින්, වතු ක්ෂේත්‍රයේ උත්පාදනය වන සුවිසල් අතිරික්තය, සංසරණ ක්‍රියාවලිය තුල, වංචනික ලෙස ඩැහැ ගන්නා අතර, අතිරික්තය නිෂ්පාදන කිරීම සදහා 19 වන සියවසේ මුල් භාගයේ දක්නට ලැබුණු ආකාරයේ යල් පැන ගිය ආකෘතීන් යොදාගන්නා ආකාරය මෙම සටහන තුල පැහැදිලි කෙරෙනු ඇත.

වැටුප් වැඩි නොකිරීම සාධාරණීකරනය කිරීම සදහා වතු හිමියන් විසින් ඉදිරිපත් කරන ඊනියා තර්ක කිරීම් පදනම් වී තිබෙන්නේ ප්‍රධාන ප්‍රස්තුතයන් දෙකක් මතය.  පලමුව, තේ කිලෝවක් නිෂ්පාදනය කිරීම සදහා වැය වන පිරිවැය වෙන්දේසියේ දී තේ අලෙවි කොට ලැබෙන මිලට වඩා වැඩි බවත්, එම නිසා වතු සමාගම් පාඩු ලබන බවත් වතු හිමියන් පවසයි. එමෙන්ම ව්‍යාපාරය ලාභදායී තත්වයේ තිබිය දී වතු කම්කරුවන් සදහා රුපියල් 1000 ක දෛනික මූලික වැටුපක් ගෙවීමට නම් වෙන්දේසි මිල දල වශයෙන් රුපියල් 850 දක්වා ඉහල යා යුතු බවත් ඔවුන් අවධාරණය කරයි. දෙවනුව, ලංකාවේ කම්කරුවන්ගේ ඵලදායිතාවය තේ වගා කරන අනෙක් රටවලට සාපේක්ෂව නෛසර්ගිකවම අඩු බව ඔවුන් අතිශයෝක්තියෙන් පෙන්වාදෙයි. උදාහරණ ලෙස, කෙන්යාවේ කම්කරුවෙක් දවසකට තේ දලු කිලෝ ග්‍රෑම් 60 ක් නෙලන අතර ලංකාවේ එම අගය දවසකට කිලෝ ග්‍රෑම් 18 කි. වතු හිමියන්ට අනුව ලංකාවේ වතු කම්කරුවන් උපයන පහල මට්ටමේ ආදායමට ප්‍රධාන හේතුව ඔවුන්ගේ ඵලදායීතාවය අඩු වීමයි. මේ අනුව කම්කරුවන්ගේ ඛේදජනක ජීවන තත්වයට දොස් ලැබිය යුත්තේ කම්කරුවන්මය. මෙම තර්කය නගන විට, වතු හිමියන් සිතා මතාම වසන් කරන කරුණක් තිබේ. කෙන්යාවේ තේ වතු කම්කරුවන්ගේ ඉහල ඵලදායීතාවයට හේතුව තේ දලු නෙලීමේ ක්‍රියාවලිය යාන්ත්‍රිකකරණය වීමය. එසේ නොමැතිව, කෙන්යාවේ කම්කරුවන් කඹුරන ප්‍රමාණය ලංකාවේ කම්කරුවන්ට වඩා තුන් ගුණයක් වැඩි වීම නිසා නොවේ. කම්කරුවන්ගේ අඩු ඵලදායීතාවයට හේතු වී තිබෙන්නේ වතු හිමියන්ගේ පසුගාමීත්වය මිස වතු හිමියන්ගේ පසුගාමීකමට හේතුව කම්කරුවන් නොවේ. කම්කරුවන් විසින් නිෂ්පාදනය කරන අතිරික්තය / ලාභය තේ දලු නෙලීමේ ක්‍රියාවලිය යාන්ත්‍රිකකරණය කිරීම සදහා නවීන යන්ත්‍ර සූත්‍රාදිය මත ප්‍රති-ආයෝජනය කිරීමට වතු හිමියන් ක්‍රියා කොට නැත. ඒ වෙනුවට ඔවුන් සිදු කොට තිබෙන්නේ එම අතිරික්තය පරිභෝජනය කොට නාස්ති කොට දැමීමය. නැතිනම්, වෙනත් සමපේක්ෂණ ක්ෂේත්‍රවල ආයෝජනය කිරීමය. මෙය සිදුවන්නේ කම්කරුවන් අති මහත් දරිද්‍රතාවයක ගිලී සිටින පසුබිමකය.

වසර එකසිය හැටකට පෙර මාක්ස් සහ එංගල්ස් කොමියුනිස්ට් ප්‍රකාශනයේ මෙසේ ලියූහ. ‘නිෂ්පාදන උපකරණ  අඛණ්ඩව විප්ලවීයකරණයට භාජනය නොකොට ධනපති පංතියට පැවතිය නොහැක. ඒ සමග නිෂ්පාදන සම්බන්ධතා ද, ඒත් සමග සමාජයේ මුලුමහත් සම්බන්ධතා ද විප්ලවීයකරණයට භාජනය වේ.’ කෙසේ වූවද, එම ප්‍රස්තුතයට සපුරා පටහැනි ලෙස, ලංකාවේ වතු හිමියෝ ඉතාමත් ප්‍රශස්ත ලෙස ශත වර්ෂ දෙකකට අධික කාලයක් තිස්සේ නිෂ්පාදන බලවේග එක තැන පල් කර ඇති අතර ලංකාවේ කම්කරුවන් ඒ අනුව තවමත් තේ දලු නෙලන්නේ සිය අතැගිලි වලින්ය. කෙන්යාව වැනි රටවල තේ දලු නෙලීම සැහැල්ලු යන්ත්‍රෝපකරණවල සහය ලබන ක්‍රියාවක් බවට පත් කොට තිබෙන අතර ශ්‍රම ඵලදායීතාවය සහ එනයින් මූර්ත වැටුප් ඉහල යාම සදහා එය හේතු වී තිබේ. මේ සියල්ල සමග කෙන්යාවේ වතු ක්ෂේත්‍රයේ ලාභදායීතාවය ද ඉහල ගොස් ඇත. මේ අතර, නිෂ්පාදනය කෙසේ වූවද, සිය පරිභෝජන රටාව නම් විප්ලවීයකරණය කරගැන්මට ලංකාවේ වතු හිමියෝ කටයුතු කොට ඇත. ලෝකයේ තිබෙන මිලෙන් අධිකම සහ නවතම මාදිලියේ සුඛෝපභෝගයන් ආනයනය කොට වීරයන් සේ පරිභෝජනය කරනා ඔවුහු නිෂ්පාදනය සදහා යොදාගනිමින් සිටින්නේ  සියවස් දෙකකට ප්‍රථම, මාක්ස් ජීවත් වූ යුගයටත් පෙර පැවැති නිෂ්පාදන මාධ්‍යයන්ය.


වෙන්දේසි සහ අපනයනවල දල ආදායම් අතර වෙනස - මූලාශ්‍ර ශ්‍රී ලංකා මහ බැංකු දත්ත

වංචාසහගත ව්‍යාජෝක්තීන් යොදාගෙන කම්කරුවන්ට එරෙහි ස්වකීය අභිලාෂයන් සාධාරණීකරනයට වතු හිමියන්ගේ සංගමය කටයුතු කරන්නේ කෙසේද යන්න තවදුරටත් පැහැදිලි කරගැනීම සදහා අප ඉහත දැක්වූ ඔවුන්ගේ පලමු ප්‍රස්තුතය තවදුරටත් විදාරණය කරගනිමු.  අමාත්‍ය කිරිඇල්ලට පිලිතුරු දෙමින් වැවිලිකරුවන්ගේ සංගමය කියන්නේ තේ කිලෝවක නිෂ්පාදන පිරිවැය රුපියල් 558 ක් වන බවයි. එහෙත් ශ්‍රී ලංකා මහ බැංකුවේ 2017 වර්ෂය සදහා වූ වාර්ෂික වාර්තාවේ සංඛ්‍යාලේඛන ඇමිනුමේ 14 වන සංඛ්‍යා වගුවට අනුව තේ කිලෝවක නිෂ්පාදන පිරිවැය රුපියල් 466.98 ක් පමණි. නිෂ්පාදන පිරිවැය සම්බන්ධයෙන් වතු හිමියන්ගේ කියාපෑම ඒ අනුව සපුරා අසත්‍යයකි. ඉහත කී වගුව තවදුරටත් දක්වන ආකාරයට 2017 තේවල වෙන්දේසි මිල රුපියල් 620. 44 ක් වූ අතර අපනයන මිල රුපියල් 807.44 ක් විය. මෙය 2017 තේ කිලෝවක නිෂ්පාදන පිරිවැයට වඩා සියයට 72.9 ක ඉහල අගයකි. 2018 වර්ෂය සදහා වූ පිරිවැය සම්බන්ධයෙන් විශ්වසනීය දත්ත දැනට සොයාගත නොහැක. කම්කරුවන් දරුණු ලෙස සූරාකෑම මහජනයාගෙන් වසන් කිරීම සදහා වතු හිමියන්ගේ සංගමය වැරදි දත්ත ඉදිරිපත් කරනවා පමණක් නොවේ. නිෂ්පාදනය වෙන්දේසියේ සිට අපයනකරුවන් වෙත හුවමාරු වන විට අපනයනකරුවන් ඒ සදහා නියම කරන ඉහල මිල ද ඔවුහු සිතා මතා මහජනයාගෙන් වසන් කරති. මෙම අපනයන වෙලදාම අයිති වන්නේ ද ප්‍රාදේශීය තේ වතු සමාගම් 21 පාලනය කරන සමාගම් වලටමය. ලංකාවේ තේ නිෂ්පාදනයේ සියයට හතලිහක පමණ අයිතිය ඇත්තේ මෙම සමාගම් අතලොස්සටය.

තමන්ට ලැබෙන වෙන්දේසි මිල සාපේක්ෂව අඩු බවත් එම නිසා පාඩු ලැබීමකින් තොරව වැටුප් වැඩි කල නොහැකි බවත් වැවිලිකරුවන්ගේ සංගමය පුන පුනා කියයි. මෙම තර්කය සදහා ඔවුන් සුජාතභාවය ලබාගන්නේ ඔවුන්ගේ ආදායම තීන්දු වන්නේ වෙන්දේසි අවස්ථාවේ තේ සදහා නියම වන මිල මගින් බව ප්‍රකාශ කිරීම තුලිනි. තේ වතු සමාගම් සහ අපනයන සමාගම් වෙන් වෙන්ව ගිනුම් පවත්වාගෙන යන, වෙන් වෙන් සමාගම් බව සත්‍යය වුව ද මේවාවල අයිතිය තිබෙන්නේ තේ කර්මාන්තය තුල සහ ඉන් පිටත ක්‍රියාත්මක එකම සමාගම් ගොන්නකටය. මේ අනුව සිදුවන්නේ, තේ වෙලදාමේ අතිරික්තය ප්‍රධාන වශයෙන් බලපත්‍රලාභී අපනයන සමාගම් අත සංකේන්ද්‍රණය වීම සහ තේ වතු සමාගම් සමස්ත කර්මාන්තය තුල තිබෙන සම්පූර්ණ ලාභයට සාපේක්ෂව මධ්‍යස්ථ ලාභයක් හෝ පාඩුවක් ලබන සමාගම් ලෙස නිරූපණය වීමය. තේ කර්මාන්තය පාඩු ලබන බව හෝ අඩු ලාභ ලබන බවත්, එම නිසා වැටුප් වැඩි කල නොහැකි බවත් කියමින් කම්කරුවන්, රජය සහ මහජනයා මුලා කිරීමට වතු සමාගම් පාවිච්චි කරන්නේ මෙන්න මේ තත්වයයි.

නමුත් කිසිවෙකුත් කථා නොකරන කරුණ වන්නේ ලාභයේ අති විශාල පංගුව අපනයන සමාගම් අත රැදෙන බවත් මේ අපනයන සමාගම්වල අයිතිය තිබෙන්නේ වතු සමාගම්වල අයිතිය තිබෙන අය අතම බවත්ය. උදාහරණ ලෙස, එට්කන් ස්පෙන්ස් ප්ලාන්ටේෂන් හෝල්ඩිංස් නම් වතු සමාගම සහ ස්ටැසන් එක්ස්පෝර්ට්ස් නම් බලපත්‍රලාභී අපනයන සමාගම සහසම්බන්ධක සමාගම් වන අතර එකම හිමිකරුවන් යටතේ ක්‍රියාත්මක වන්නේය. එට්කන් ස්පේන්ස් වතු සමාගමේ බහුතර කොටස් ප්‍රමාණය ස්ටැසන් එක්ස්පෝර්ට්ස් සමාගම සහ මෙරිල් ජේ ප්‍රනාන්දුට අයත් එම්ජේඑෆ් හෝල්ඩිංග්ස් සමාගම සතුය. එම්ජේඑෆ් හෝල්ඩිංග්ස් යනු එම්ජේඑෆ් ටී ප්‍රයිවට් ලිමිටඩ් (ඩිල්මා) නම් ආයතනය හරහා අපනයන වෙලදාමේ යෙදෙන සමාගමකි. මේ හා සමානව පහත දැක්වෙන සමාගම්, එනම් සිලොන් ටී සර්විසස් (ඩිල්මා), එම්ජේඑෆ් එක්ස්පෝර්ට්ස් (ඩිල්මා), ස්ටැසන් එක්පෝට්ස් පුද්ගලික සමාගම, ස්ටැසන් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම, ස්ටැසන් නැචුරල් ෆුඩ්ස්, මිල්ෆෝඩ් එක්ස්පෝට්ස් සිලොන් ලිමිටඩ් ( ස්ටැසන් සමූහය), බීපීඑල් ටීස් (බොගවන්තලාව), රේනුකා ටීස් සිලොන්, ජෝර්ජ් ස්ටුවට් ටීස් ප්‍රයිවට් ලිමිටඩ්, ෆින්ලේස් කලම්බෝ, මදුල්සිම, මල්වත්ත වැලී ප්ලාන්ටේෂන්, වටවල ප්ලාන්ටේෂන්, වටවල මාකටිං ලිමිටඩ්, වටවල ටී සිලොන් ලිමිටඩ්, මස්කෙලිය ටී ගාර්ඩ්න්ස් සිලොන්, මස්කෙලිය ටී එක්ස්පෝට්ස් ප්‍රයවිට් ලිමිටඩ්, සන්ෂයින්ට ටී ප්‍රයිවට් ලිමිටඩ් සහ සන්ෂයින් පැකේජිං ලිමිටඩ් යන සමාගම් බලපත්‍රලාභී තේ අපනයනකරුවන් වන අතර මේ සියල්ල ඊට අනුයාත තේ වතු සමාගම් සමග හිමිකාරීත්වය හරහා එකිනෙකට අනුබද්ධව ක්‍රියාත්මක වෙයි. අනෙක් අතට, ලංකාවේ සතිපතා සිදුකරන තේ වෙන්දේසි පවත්වාගෙන යන තැරැව්කාර සමාගම් අට අයිති වන්නේ ද මේ ආයතනවලටය. කොලඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ප්‍රාදේශීය වතු සමාගම් 20 හි හිමිකාරීත්ව ව්‍යුහයන් අධ්‍යයනය කිරීමෙන් මෙම තොරතුරු සනාථ කරගත හැක.

මේ අනුව ප්‍රාදේශීය වතු සමාගම් ලංකාවේ තේ වෙලදාමේ සියයට හතලිහක පංගුවකට හිමිකම් කීවද වතු සමාගම්වල ගිණුම්වල පිලිබිඹු වන්නේ කර්මාන්තය තුල නිෂ්පාදිත සමස්ත ලාභයේ ඉතාමත් සුලු කොටසක් පමණි. මෙයට හේතුව එම සමාගම්වල ලාභය වෙන්දේසි මිල අනුව තීන්දු වීමත්, වෙන්දේසි මිල තේ අපනයන සමාගම් විසින් ලබන අපනයන මිලට වඩා සැලකිය යුතු ලෙසකට අඩු වීමත් නිසාය. කෙසේ වූවද, හිමිකාරීත්වය හරහා මෙම සමාගම් දෙවර්ගය එකකට එකක් බැදී පවතී . මේ අනුව සමුච්චනය වූ  ලාභයේ බහුතර පංගුව අපනයන සමාගම් අත පවතින අතර ප්‍රාදේශීය වතු සමාගම් අඩු  ලාභයක් ලබන හෝ පාඩු ලබන ආයතන ලෙස ඔවුන්ගේ ගිනුම්වල සටහන් වේ. මේ නිසා, ඒ ඒ සමාගම්වල සහ සමස්ත කර්මාන්තයේ ලාභදායීතාවය හුදෙක් වතු සමාගම්වල ආදායම් ප්‍රකාශන ආශ්‍රයෙන් තක්සේරු කිරීමට යාම සාවද්‍ය ප්‍රවේශයකි.

මෙම පසුබිම මතකයේ තබාගෙන කර්මාන්තයේ සමහාර වියදම සහ ආදායම විශ්ලේෂණය කිරීම තුලින් අපට තේ වෙලදාම පාලනය කරන කතිපයාධිකාරී සමාගම් අතලොස්සක් විසින් වතු කම්කරුවන් සූරාකනු ලබන ප්‍රමාණය පිලිබද වඩා තියුණු අවබෝධයක් ලබාගත හැක. 2018 වර්ෂය සදහා තේ අපනයන මගින් ලංකාව ඉපයූ ආදායම (මුල් මාස 11 දත්ත වලට සාපේක්ෂව) ඇමරිකන් ඩොලර් මිලියන 1,430 කි. (ශ්‍රී ලංකා මහ බැංකුව, 2018  නොවැම්බර් මාසයේ දී විදේශීය අංශයේ ක්රියාකාරිත්වය) එනම් රුපියල් බිලියන 232.1 කි. තවද, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ දත්ත වලට අනුව 2018 දී රුපියල් බිලියන 11 ක් ප්‍රති-අපනයන මගින් උපයාගෙන ඇත. එම අගය අඩු කල විට, 2018 දී  දේශීය තේ නිෂ්පාදනය අපනයන කිරීම මගින් උපයා ගත් ආදායම රුපියල් බිලියන 221.1 කි. 

තවදුරටත්, 2018 වර්ෂයේ සාමාන්‍ය අපනයන මිල ශ්‍රී ලංකා තේ මණ්ඩලයට අනුව රුපියල් 821.49 කි. ඒ අනුව 2018 වර්ෂයේ ලංකාව තේ කිලෝ මිලියන 282.4 ක් අපනයනය කොට ඇති අතර එම වර්ෂයේ සමහාර තේ නිෂ්පාදනය කිලෝ මිලියන 303.84 කි. එනම්, තේ කිලෝ මිලියන 21.44 ක් දේශීයව අලෙවි කොට තිබේ. දේශීය වෙලදපොල තුල මිල කිලෝවක් රුපියල් 900 ක් පමණ වන ඉහල මිලක් වන අතර ඒ අනුව දේශීය වෙලදාම මගින් අතිරේක රුපියල් බිලියන 19.2 ක ආදායමක් ද එනයින් රුපියල් බිලියන 6 ක පමණ ලාභයක් ද ජනනය වී තිබේ. ඒ අනුව, දේශීය වෙලදාම සහ අපනයනය මගින් උපයා ගත් සමස්ත ආදායම 2018 වර්ෂය සදහා රුපියල් බිලියන 240.3 කි.


තේ කර්මාන්තයේ සමහාර ලාභදායීත්ව දර්ශකයන් - මූලාශ්‍ර - ශ්‍රී ලංකා මහ බැංකු දත්ත

තේ කර්මාන්තය තුල කම්කරුවන් ආසන්න වශයෙන් 350,000 ක් සේවයේ නියුක්ත වී සිටින අතර 2017 වර්ෂයේ  පිරිමි සහ ගැහැණු කම්කරුවන් සදහා වූ සාමාන්‍ය දෛනික වැටුප රුපියල් 910කි. ඒ අනුව, වර්ෂයකට දවස් 300 ක් වැඩ කරන බවට උපකල්පනය කලේ නම්, වැටුප් සදහා යන සමස්ත වියදම රුපියල් බිලියන 95.6 කට ආසන්නය. වතු හිමියන්ට අනුව සම්පූර්ණ නිෂ්පාදන පිරිවැයේ සියයට 70 ක් කම්කරු වියදම්ය. ඒ අනුව බලන විට, 2018 වර්ෂය සදහා වූ කර්මාන්තයේ සමහාර නිෂ්පාදන පිරිවැය රුපියල් බිලියන 136.5 කි. මේ අනුව, එම වසර තුල දල ලාභ ප්‍රතිශතය සියයට 39 ක් වන අතර කර්මාන්තය සදහා 2018 වර්ෂයේ සහභාග ලාභ ප්‍රතිශතය 68.6 ක් තරම් ඉහල අගයකි.

මේ පසුබිම තුල, වතු සමාගම් දෛනික වැටුප රුපියල් 700 සිට 1400 දක්වා 2018 වර්ෂයේ ඉහල නැංවූවා යැයි උපකල්පනය කලහොත් වැටුප් සදහා වූ වියදම රුපියල් බිලියන 58.8 දක්වා ඉහල යනු ඇති අතර සමස්ත වියදම රුපියල් බිලියන 84 ක් වනු ඇත. ඒ සමහාර ආදායම වන රුපියල් බිලියන 96.1 ට සාපේක්ෂවය 40% ක් සිදුකිරීම මත අගයන් නැවත ගණනය කල විට) (නිෂ්පාදනයෙන් 40% ක් සිදුකිරීම මත අගයන් නැවත ගණනය කල විට). ඒ අනුව, වැටුප දෙගුණ කල තත්වයක් යටතේ වුවද, වතුවල සහභාග ලාභ ප්‍රතිශතය සහ දල ලාභ ප්‍රතිශතය සියයට 14.4 සහ 12.6 යන අගයන්වල පවතිනු ඇත. 

මේ අනුව, වතු සමාගම්වල ගිනුම්වලින් ඉවත් කොට තිබෙන කර්මාන්තයේ සමස්ත ලාභය සලකා බලා, මේ අයිතමයන් දෙක එකට එකතු කලහොත් කර්මාන්තය ලාභදායී ලෙස පවතින විටදීම කම්කරු වැටුප් ඉතාම පහසුවෙන් දෙගුණ කල හැකි බව පැහැදිලි වනු ඇත. මීට පටහැනිව, වැවිලිකරුවන්ගේ සංගමය අනුව යමින්, 2018 වර්ෂයේ තේ කිලෝවක සාමාන්‍ය වෙන්දේසි මිල වූ රුපියල් 582.59, ආදායම නිර්ණය කෙරෙන මිල ලෙස සැලකුවහොත්, කර්මාන්තයේ සමහාර ආදායම රුපියල් බිලියන 177 ක් පමණක් වනු ඇති අතර එය 2018 වසර සදහා සමස්ත අපනයන හා දේශීය විකිණුම් ආදායම වන රුපියල් බිලියන 240.3 ට වඩා රුපියල් බිලියන 63.3 ක (-35.8% ක) අඩුවකි. මෙයට හේතුව, වෙන්දේසි මිල මහජනයා සහ ආණ්ඩුව නොමග යැවීම සදහා ප්‍රචාරකවාදී ලෙස වැවිලිකරුවන් විසින් යොදාගැනීමයි. එය අපනයන මිලට වඩා සාමාන්‍ය වශයෙන් සියයට 33 ක් අඩුවෙන් පවත්වාගැනීමට පසුගිය වසර දහය තුල කටයුතු කොට ඇත. මෙම කරුණ මතු කරගතහොත්, කර්මාන්තයේ ලාභදායීතාවය අඩු නිසා සහ වතු සමාගම් වත්මන් මිල ගණන් යටතේ පාඩු ලබන නිසා කම්කරු වැටුප් සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි කල නොහැක යන තර්කය පැහැදිලිවම නිශේධනය වේ.

පරිවර්තනය - රමිදු පෙරේරා 



Comments

  1. බූරුවෙක් නේ මේක ලියලා තියෙන්නේ, යාන්ත්‍රිකව දලු කැඩුවොත් දවසට කිලෝ 250 - 300ක් කඩන්න පුලුවන් එකෙනයි ඕන. අතින් කැඩුවොත් එක්කෙනා කිලෝ අඩුම 25ක් 30ක් කැඩුවත් 10 දෙනෙක් ඕන. එක්කෙනෙක්ට 1000 ගානේ දුන්නොත් 10,000ක්, මැශින් එකෙන් කඩන එක්කෙනාට 1500ක් දෙනවා. 8500ක් ඉතුරුයි.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සිංහල ජාත්‍යානුරාගයේ ප්‍රතිරූප දෙකක් : ඉරාජ් වීරරත්න සහ එදිරිවීර සරච්චන්ද්‍ර

කෙටි විසඳුම් නැති ගෘහස්ථ ණය අර්බුදය

පුත්තලම රංගෙ බණ්ඩාර සහ වරකාපොල නාමල් කුමාර