2019 අය වැය : මිල්ටන් ෆ්‍රීඩ්මාන්ට සුබසාධනවාදී වෙස්මුහුණක් දැමීම




 [ අමාලි වෙදගෙදර 

2019 වර්ෂය සදහා රජය පසුගිය දා ඉදිරිපත් කල අය වැය මූල්‍ය සමාගමක් විසින් ප්‍රකාශයට පත් කරනු ලබන ණය පහසුකම් ලැයිස්තුවකට වෙනස් නැත. දරිද්‍රතාවය, විරැකියාව, කෘෂිකර්මය හෝ ධීවර කර්මාන්තය ආදී ක්ෂේත්‍රවල දක්නට ලැබෙන පරිහාණිය හෝ 2018 වර්ෂයේ දී දක්නට ලැබුණු රුපියල අවප්‍රමාණය වීම නිසා ඇති වූ සාර්ව ආර්ථික අස්ථායිතාවය ස්ථාවර කිරීම ආදී සමාජ ආර්ථික ප්‍රශ්න ආමන්ත්‍රණය කිරීම සදහා වගකීම්සහගත ආණ්ඩුවක් විසින් ඉදිරිපත් කරන අය වැය හා මූල්‍ය පිලිවෙත්වලින් යුක්ත වැඩපිලිවෙලක ස්වභාවය ඒ තුල දක්නට නැත. විසල් සුබසාධන වැඩපිලිවෙලක් ඉදිරිපත් කරන වේෂයෙන් ආණ්ඩුව ශ්‍රී ලංකාව තුල ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම සදහා යැයි කියමින් විවිධ ණය යෝජනා ක්‍රම පිලිබද යෝජනා සමුදායක් ඉදිරිපත් කොට තිබේ. ද්විත්ව ණය අර්බුදයකට මුහුණ දී සිටින රටක, එනම් ජාතික මට්ටමින් වගේම කුටුම්භ මට්ටමින් ද ණය ප්‍රශ්නය බරපතල ප්‍රශ්නයක් ලෙස පවතින රටක ණය ගැනීම් තවදුරටත් ප්‍රවර්ධනය කරන මෙබදු ‘ණය-සුබසාධන’ ප්‍රතිපත්තියක් ඛේදනීය ප්‍රතිඵල ඇති කිරීමෙහිලා සමත්ය.

මෙරට තුල 1977 සිට ක්‍රියාත්මක කල ආර්ථික ප්‍රතිපත්ති දෙස බලන විට අපට පෙනී යන කරුණ නම් ශ්‍රී ලංකාවේ ආණ්ඩු එහි සුබසාධන කාර්යයෙන් ඉවත් වෙමින් සිටින ආකාරයයි. වත්මන් ආණ්ඩුවේ අය වැය මගින් ප්‍රවර්ධනය කරන ‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ වැඩසටහන එක්තරා විධිහකට කෝකටත් තෛලයක් ලෙස ඉදිරිපත් වී තිබෙන්නකි. විරැකියාව, ග්‍රාමීය ආර්ථිකයේ කඩා වැටීම, නිවාස ප්‍රශ්නය, පෙර පාසල් මට්ටමේ සිට උසස් අධ්‍යාපන මට්ටම දක්වා වූ අධ්‍යාපන අර්බුදය හා පාරිසරික ගැටලු දක්වා වූ සියලු ප්‍රශ්න එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා තුලින් ආමන්ත්‍රණය කිරීමට උත්සාහ කොට ඇත. යුද්ධය අවසාන වීම විසින් ප්‍රාතිහාර්යයක් ඇති කෙරෙන බවට රාජපක්ෂ ආණ්ඩුව ප්‍රකාශ කලා හා සමාන ලෙසකට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා මගින් මහත් ප්‍රාතිහාර්යයක් වන බවට වත්මන් ආණ්ඩුව කල්පනා කරනවා සේය. මෙහිදී මතු කල යුතු මූලික ගැටලුව නම්, සංවර්ධනය යන්න ණය මගින් උද්දීපනය කිරීම මොන තරම් දුරට සාර්ථක උපාය මාර්ගයක් ද යන ගැටලුවයි.

මේ ප්‍රශ්නයට පිලිතුරු දීමට පෙර ණය යන්න යථාර්තය තුල ඇති කොට තිබෙන ඇතැම් ප්‍රතිවිපාක ගැන අප අවධානය යොමු කල යුතුය. ණය ගන්නා අයට ණය යන්න වගකීමකි. මුදල් නොමැති පුද්ගලයින්ට ණය යනු, රජයේ සහන සහිත ණය වූවත් නැතත් යලි ගෙවිය යුතු මූල්‍යමය වගකීමකි. පොදු අධ්‍යාපනය, සෞඛ්‍ය සේවාව සහ වෙනත් පොදු යටිතල පහසුකම් සදහා කරන ආයෝජන අඩු කිරීම හා මෙකී සේවාවන් පුද්ගලිකකරණය නිසා දැනටමත් විශාල වශයෙන් සමාජයීය ණය බරකින් පීඩා විදින ලංකාවේ සාමාන්‍ය ජනයාට එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා විසින් යෝජනා කොට තිබෙන්නේ තවදුරටත් ණය ගැනීම මගින් සිය ජීවිත දියුණු කරගැන්ම සදහා වූ උපාය මාර්ගයකි.

ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය පිලිබද ජාතික දර්ශකයන් විසින් පෙන්වා දෙන්නේ දරිද්‍රතාවයට අදාල තත්වයන් පසුගිය කාලය තුල ක්‍රමානුකූලව වර්ධනය වී තිබෙන බවයි. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් තක්සේරු කරන ඒක පුද්ගල දරිද්‍රතා දර්ශකය ප්‍රකාරව 1996 සිට ලංකාවේ දරිද්‍රතාවය ක්‍රමානුකූලව අඩු වී තිබේ. කෙසේ වූවද, පසුගිය කාලය තුල අපට දැකගන්නට ලැබුණේ නාගරික හා ග්‍රාමීය අංශවල ණයගැතිභාවය සහ බංකොලොත්වීම් ඉහල යන ආකාරයයි. මෙම තත්වය දරිද්‍රතා දර්ශකවල ප්‍රකාශිතයන් සමග ගලපන්නේ කෙසේද? වෙනත් වචනවලින් කියනවා නම්, දරිද්‍රතාවය අඩු වී තිබේ නම්, ස්වකීය ණය වාරික ගෙවා ගත නොහැකිව ගැහැණුන් සහ පිරිමින් සිය දිවි නසා ගැනීමට පවා පෙලඹෙන තත්වයක් ඇති වී තිබීම පැහැදිලි කල  හැක්කේ කෙසේද?

ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින් වගේම ආණ්ඩු ද වටහා ගැනීමට අසමත් වී තිබෙන කාරණාව වන්නේ ඉහල යන ජීවන වියදමට සාපේක්ෂව වැටුප් තල එක තැන පල්වීමට සමාන්තරව දරිද්‍රතාවය නමැති ප්‍රපංචය සංකීර්ණ ස්වරූපයක් ලබා ගෙන තිබෙන බවයි. සාමාන්‍ය ජනයා තම ආදායම් හා වියදම් අතර පරතරය ක්ෂුද්‍ර මූල්‍ය ණයවල සිට විධිමත් මූල්‍ය සමාගම් විසින් ලබාදෙන විවිධ ණය ක්‍රම ආදී ලෙස වෙලදපොලේ පවතින අනෙක විධ ණය ක්‍රමවේද හරහා පියවා ගැනීමට උත්සාහ කරමින් සිටිති. ණය මගින් අනුබල ලබන පරිභෝජනය දරිද්‍රතා දර්ශක කෘතිම ලෙස යහපත් ලෙස නිරූපණය වීම කෙරෙහි බලපා තිබේ. දරිද්‍රතාවයේ මෙම සංකීර්ණ ස්වරූපය, එනම් ණය උගුලක් තුල දිලිදු ජනයා සිර වී සිටින ආකාරය වටහා ගැන්මට අසමත් වීම එම ජනයා සම්බන්ධයෙන් තවදුරටත් අයහපත් ලෙස බලපෑමට නියමිතය.

‘එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා’ මගින් සිදු කරන තවත් කාර්යයක් වන්නේ ව්‍යවසායකත්වය පිලිබද මිථ්‍යාව එය විසින් ප්‍රවර්ධනය කිරීමයි. සාමාන්‍ය ජනයා තුල සැග වී තිබෙන ව්‍යවසායක හැකියාවන් ණය මගින් උද්දීපනය කල හැකි බවට වූ අදහස එමගින් ප්‍රවර්ධනය කෙරෙයි. ණයවලට සියලු දෙනා ව්‍යවසායකයින් කල හැකි නම්, මීට වසර තිහකට පමණ පෙර ක්ෂුද්‍ර මූල්‍ය ක්‍රම හදුන්වා දීමෙහිලා පුරෝගාමී වූ බංගලාදේශය බදු රටවල් තවමත් දුගී රටවල් ලෙස පවතින්නේ ඇයි? වැඩි වැඩියෙන් ණය දීම සාර්ථක ව්‍යාපාර ඇති වීමෙහිලා හේතුවනු ඇති බවට සිතීම වගකීම් විරහිත ආණ්ඩුවකට තරම් වුවද වෙනත් රටවල උදාහරණ මගින් ද පෙන්නුම් කෙරෙන්නේ වැඩි වැඩියෙන් ණය දීම බොහෝ දිලිදු ජනයාට අදාලව ඔවුන්ගේ ඉඩම්, නිවාස, ස්වර්ණාභරන ආදී වටිනා දෑ ඔවුන්ට අහිමි වීම කෙරෙහි, රැකියා සොයා වෙනත් පැතිවලට සංක්‍රමණය වීමට සිදුවීම කෙරෙහි හා සමහර විට ජීවිතය පවා අහිමි වීම කෙරෙහි බලපා තිබෙන බවයි. අනෙක් අතට, මෙබදු ණය ක්‍රම ණය දෙන අයවලුන්ට ඉතාමත් ප්‍රතිලාභසහගත වී ඇත. ලංකාවේ ප්‍රධානතම ක්ෂුද්‍ර මූල්‍ය සේවා සපයන ආයතනය වන එල්ඕඑල්සී සමාගම මෑතක දී ට්‍රිලියනපති සමාගමක් ලෙස අභිෂේක ලැබීය. මෙම සාර්ථකත්වය පසුපස තිබෙන රහස, දුගී ජනයාගේ වත්කම් ස්වසන්තක කරගැන්ම මිස අනෙකක් නොවේ.

2019 අය වැය මගින් ප්‍රවර්ධිත එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා බදු වැඩපිලිවෙලක් මගින් ඇති කල හැකි අනෙක් අයහපත් බලපෑම නම් සාවද්‍ය කියාපෑම් සාධාරණීකරනය කිරීමට එමගින් කෙරෙන දායකත්වයයි. උදාහරණයක් ලෙස ණය දීම මගින් මහජනයා පෞද්ගලික සේවාවන් වෙත යොමු කොට පොදු සේවාවන්වල වැදගත්කම අවප්‍රමාණය කිරීම දැක්විය හැක. පොදු සේවාවන් මගින් අවශ්‍යතා සැපිරීමට වඩා ණය මගින් පුද්ගලියින් පෞද්ගලික අංශයේ සේවාවන් වෙත යොමු කිරීම වඩා යහපත්ද? ණය මගින් ධාවනය වන සෞඛ්‍ය සේවාවක්, අධ්‍යාපන ක්‍රමයක්, නිවාස පද්ධතියක් සහිත ඇමරිකා එක්සත් ජනපදනය වැනි රටක් තුල මේ වනවිට දක්නට ලැබෙන තත්වය වන්නේ මුලුමහත් ජනගහණයක් ණයකරුවන් බවට පත් වී සිටින ආකාරයයි. අධ්‍යාපනය, සුව සේවාව, නිවාස ආදියේ මිල ඉහල යාම සමග එන්න එන්න වැඩි වන ණය බරක් තුල සිර වී සිටින සාමාන්‍ය ඇමරිකානු ජනයා මේ ණය බරට කර ගැසීමට උත්සාහ කරන්නේ එක්වර රැකියා කිහිපයක නියුක්ත වීමෙනි. ණය ගෙවා ගැන්මට නොහැකි වූ බොහෝ අඩු ආදායම්ලාභී ඇමරිකානුවෝ ඇතැම් විට බන්ධනාගාරයට පවා නියම වෙති. නිදහස් අධ්‍යාපනය සහ සුවසේවාව ආදී පොදු සේවාවන්වල වැදගත්කම වටහා ගෙන ඒවා ප්‍රවර්ධනය කරනු වෙනුවට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ණය ක්‍රම ප්‍රසාරණය කොට පුද්ගලික අංශය ප්‍රවර්ධනය කිරීම මගින් සිදු කරන්නේ ලෝකයේ දැනටමත් අසාර්ථක වී තිබෙන මොඩලයක් ලංකාව තුල පැල කිරීමට උත්සාහ කිරීමය.

ණය ක්‍රම සදහා වෙන් කොට තිබෙන සියලු වියදම් පෙන්වා 2019 අය වැය එක්තරා විධිහක කේන්සියානු මැදිහත්වීමකට උදාහරණයක් යැයි අවශ්‍ය නම් ආණ්ඩුවේ ක්ෂමාලාපකයින්ට කිව හැකිය. කෙසේ වූවද, මෙම සුබසාධනවාදී වෙස් මුහුණ පසුපස තිබෙන නව ලිබරල් දේහය සහ තර්කනය සිහි බුද්ධිය මෙහෙයවා කල්පනා කරන ඕනෑම කෙනෙක්ට පහසුවෙන් ග්‍රහණය වනු ඇත.








Comments

Popular posts from this blog

සිංහල ජාත්‍යානුරාගයේ ප්‍රතිරූප දෙකක් : ඉරාජ් වීරරත්න සහ එදිරිවීර සරච්චන්ද්‍ර

පුත්තලම රංගෙ බණ්ඩාර සහ වරකාපොල නාමල් කුමාර