නව ත්‍රස්ත විරෝධී පනත : රාජ්‍ය ආරක්ෂාවේ තර්කය විසින් ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිනිර්වචනය කිරීමක්?



‍‍| රමිදු පෙරේරා 


මෙතෙක් කල් භාවිතා වූ 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට නව ත්‍රස්ත විරෝධී පනතක් හදුන්වා දීමට රජය කටයුතු කරමින් සිටී. පසුගිය සතියේ එම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ වෙනත් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙත්සම් ගොනු කල අතර මෙකී පෙත්සම් ඉදිරිපත් වන තුරුම මෙම පනත් කෙටුම්පත ගැන බරපතල විවාදයක් සමාජය තුල ඇතිවනු දක්නට නොලැබිණ. මේ සම්බන්ධයෙන් කැපී පෙනෙන කරුණක් වන්නේ සාමාන්‍යයෙන් ප්‍රජාතාන්ත්‍රීය අයිතිවාසිකම් සීමා කරනු ලබන මෙබදු ක්‍රියාමාර්ග ගැන විවේචනාත්මක වන ලංකාවේ ස්ථාපිත මානව හිමිකම් සංවිධාන වෙතින් ද මෙම යෝජිත පනත ගැන ප්‍රමාණවත් සංවාදයක් මතු කරනු නොලැබීමයි. ‍

පැරණි ත්‍රස්ත මර්දන නීතිය

1979 ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත පසුගිය දශක කිහිපය තුල බරපතල ලෙස විවේචනයට ලක්වූවකි. මෙම පනත සම්මත කරන ලද්දේ ත්‍රස්තවාදී සැකකරුවන් ලෙස හදුන්වනු ලබන පුද්ගලයින් සාමාන්‍ය නීතියෙන් බාහිර පටිපාටියක් තුල විනිශ්චයට සහ දණ්ඩනයට ලක්කිරීමේ පරමාර්ථයෙනි. එම පනතෙහි නිල නාමය වන්නේ ත්‍රස්තවාදය වැලැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත යන්නයි. අදාල පනතෙහි අරමුණ පැහැදිලි කරන පනතේ පූර්විකාව පැහැදිලිව ප්‍රකාශ කරන්නේ විවිධ පුද්ගලයින් සහ සංවිධාන විසින් කරනු ලබන ත්‍රස්තවාදී ස්වභාවයේ ක්‍රියා වැලැක්වීමේ අරමුණ මත ‘තාවකාලික විධිවිධාන’ ඇති කිරීම සදහා අදාල පනත ඉදිරිපත් කරන බවයි.

තාවකාලික ප්‍රතිපාදනයක් ලෙස පැනවුවද ඉහත කී පනත මේ වනවිට දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ ක්‍රියාවේ යෙදවී තිබේ. එය සම්මත කල ආරම්භක කාලයේ සිටම එහි අඩංගුව බරපතල ලෙස ආන්දෝලනයට තුඩු දුන්නේය. එලෙස ආන්දෝලනයට ලක්වූ එක් ප්‍රකට ප්‍රතිපාදනයක් වූයේ සැකකරුවන් විසින් රැදවුම් භාරයේ සිටිය දී ලබාදෙන පාපොච්චාරණයන් නඩු විභාගයක දී සැකකරුට එරෙහි සාක්ෂියක් ලෙස යොදාගැනීමට අවසර ලබා දෙන ප්‍රතිපාදනයයි. සාමාන්‍ය නීතිය යටතේ පොලිස් භාරයේ සිටිය දී සැකකරුවෙක් ලබාදෙන පාපොච්චාරණයක් නඩු විභාගයක දී වලංගු සාක්ෂියක් ලෙස අනුමත නොකෙරේ. ඊට හේතුව පොලිස් භාරයේ දී කරනු ලබන පාපොච්චාරණයක් ස්වේච්ඡා පාපොච්චාරණයක් නොව වධහිංසාව යටතේ කෙරෙන ස්වේච්ඡා සහගත නොවන පාපොච්චාරණයක් බවට වන පූර්ව නිගමනයයි. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත විසින් සාමාන්‍ය නීතිය යටතේ සැකකරුවෙක්ට හිමි එම අයිතිය උදුරා ගනු ලැබිණ. තවත් විවාදාත්මක ප්‍රතිපාදනයක් වූයේ ත්‍රස්තවාදී සැකකරුවෙක් රැදවුම් භාරයේ තබන ලෙස නියෝග කරමින් රැදවුම් නියෝග නිකුත් කිරීමට අමාත්‍යවරයාට තිබුනු බලයයි. සාමාන්‍ය නීතිය යටතේ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් විට ඔහුව තවදුරටත් රැදවුම්භාරයේ තබනවාද නැද්ද යන්න ගැන තීන්දු කිරීමේ බලය තිබෙන්නේ මහේස්ත්‍රාත්වරයාටය. එනම් අධිකරණයටය. එහෙත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ එලෙස රැදවුම් නියෝග නිකුත් කිරීමේ බලය අමාත්‍යවරයාට පවරන ලද අතර එබදු නියෝගයක් බලරහිත කිරීමේ අභිමතය මහේස්ත්‍රාත්වරයාට නොවීය. ‍

සාමාන්‍ය නීතිය යටතේ අපරාධ සැකකරුවන්ට හිමි අයිතිවාසිකම් ‘ත්‍රස්තවාදී සැකකරුවන්ට’ අහිමි කෙරෙන මෙබදු ප්‍රතිපාදන සහිත ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ඉතාම අපකීර්තිමත් ලෙස රජය විසින් පසුගිය දශක තුන තිස්සේ භාවිත කරන ලදී. ’80 දශකය අග භාගයේ දකුණේ පැවැති නොසන්සුන්කාරී වාතාවරණය තුල දකුණේ ඊනියා ත්‍රස්තවාදී සැකකරුවන්ට එරෙහිවත්, උතුරු නැගෙනහිර යුද ගැටුම් සන්දර්භය තුල දෙමල ජාතික සැකකරුවන්ට එරෙහිවත් මෙම පනත භාවිතා කරනු ලැබිණ. ත්‍රස්තවාදී සැකකරුවන් ලෙස සලකන පුද්ගලයින් නඩු විභාගයෙන් තොරව දිගින් දිගටම රදවා ගැනීමට විධායකයට අවසර ලබාදෙන අත්තනෝමතික ප්‍රතිපාදන නිසාවෙන් සහ වධහිංසන යටතේ එබදු සැකකරුවන්ගෙන් ලබාගන්නා පාපොච්චාරණ ඔවුන්ට එරෙහි නෛතික සාක්ෂි ලෙස යොදාගැනීමට අවසර ලබාදෙන වගන්ති නිසාවෙන් මෙම කුප්‍රකට පනත මානව හිමිකම් දෘෂ්ටිකෝණයෙන් බරපතල විවේචනයට පාත්‍ර විය. ‍‍

අලුත් ලේබල් - පැරණි වයින්

පැරණි ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට නව ත්‍රස්ත විරෝධී පනතක් හදුන්වා දීමට රජය කටයුතු කරන්නේ මෙම සන්දර්භය තුලය. පැරණි පනත හා සසදන කල්හි නව පනත ඉතාම විස්තීර්ණ ප්‍රතිපාදනවලින් යුක්ත බෙහෙවින් විස්තරාත්මක පනතකි.  බැලූ බැල්මට යෝජිත නව ත්‍රස්ත විරෝධී පනත තුල පැරණි පනතෙහි අන්තර්ගත ඇතැම් ආන්තික ප්‍රතිපාදන අන්තර්ගත වී නොමැත. පාපොච්චාරණ සාක්ෂි ලෙස යොදාගැනීම සම්බන්ධ ප්‍රතිපාදනය ඉවත් වීම ඒ අතරින් සුවිශේෂීය. මීට අමතරව, නව ත්‍රස්ත විරෝධී පනත ‘මානව හිමිකම් සම්මතයන්’ සම්බන්ධයෙන් යම් යම් සැදහුම් සිදු කොට ඇත. රැදවුම් නියෝග යටතේ ත්‍රස්තවාදී සැකකරුවෙක් රදවා ගනු ලබන්නේ නම් ඒ පිලිබදව මානව හිමිකම් කොමිසමට දැනුම් දීමට අදාල වගකීමක් රජය වෙත පැවරීම හා රැදවුම් ස්ථාන නිරීක්ෂණය කිරීමට මානව හිමිකම් කොමිසමට බලය පැවරීම ආදී ප්‍රතිපාදනයන් මේ සමබන්ධ උදාහරණයන්ය. මේ අනුව, මුල් බැල්මට, මෙම පනත පැරණි ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට වඩා ‘මානුෂීය’ එකක් ලෙස දිස්වීමට ඉඩ තිබෙන අතර ඇතැම් විට පනත සම්බන්ධයෙන් ස්ථාපිත මානව හිමිකම් සංවිධානවල නිෂ්ක්‍රීය ස්ථාවරයට හේතුව මානව අයිතිවාසිකම් ගැන කෙරෙන මෙබදු සැදහුම් යැයි අනුමාන කල හැකිය. ‍

කෙසේ වූවද මෙබදු තනුක කිරීම් මදකට පසෙකට කොට සමස්තයක් ලෙස සලකා බලන විට නව ත්‍රස්ත විරෝධී පනත ප්‍රජාතාන්ත්‍රීය අයිතිවාසිකම් සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්න ඇති කරන්නක් බව වටහා ගැනීම අපහසු නොවේ. සම්පූර්ණ පනත් කෙටුම්පත ගැන විභාගයකට මෙම ලිපිය තුල ඉඩ නැති හෙයින් ප්‍රකටව පෙනෙන එබදු කරුනු දෙකක් වෙත අප අවධානය යොමු කරමු.

පලමුවැන්න, ‘ත්‍රස්තවාදී ක්‍රියා’ සම්බන්ධව පනත් කෙටුම්පත ලබා දී තිබෙන අතිශය පුලුල් නිර්වචනයයි. පනත් කෙටුම්පත අනුව, වෙනත් කරුනු අතර, ‘යම් ක්‍රියාවක් කිරීමට රජයට බල කිරීමේ අරමුණින් යුතුව’ සිදුකරන පහත ක්‍රියා එනම්, අ) රාජ්‍ය දේපල, රජයේ හෝ පුද්ගලික ප්‍රවාහන පද්ධතියකට, යටිතල පහසුකමකට බරපතල හානි කිරීම, ආ) අත්‍යවශ්‍ය සේවාවලට බරපතල බාධා සිදුකිරීම, ඇ) අත්‍යවශ්‍ය සේවාවලට අදාල යටිතල පහසුකම්වලට බාධා පැමිණවීම ආදිය ත්‍රස්තවාදී ක්‍රියා ලෙස නිර්වචනය කොට ඇත. ත්‍රස්තවාදී ක්‍රියා ගැන දී තිබෙන මෙම පුලුල් නිර්වචනය බරපතල ප්‍රශ්න මතුකරයි.

සාමාන්‍ය ව්‍යවහාරය තුල අප ත්‍රස්තවාදී ක්‍රියා ලෙස හදුනාගන්නේ අවිගත් කණ්ඩායම් විසින් සිදු කරනු ලබන විරෝධය පෑමේ ක්‍රියාවන්ය. එහෙත් වැඩවර්ජනයක් හෝ සිවිල් නීති කැඩීමේ සාමකාමී විරෝධතාවයක්, හර්තාලයක් වැනි අවස්ථාවක අත්‍යවශ්‍ය සේවාවලට බාධා වීම වැනි තත්වයන් හට ගත හැකිය. ත්‍රස්තවාදී ක්‍රියා යන්නට අතිශය පුලුල් නිර්වචනයක් ලබාදීම මගින් මෙබදු සිවිල් විරෝධතා ‘ත්‍රස්තවාදී ක්‍රියා’ ලෙස හංවඩු කොට එබදු ක්‍රියාකාරකම්වලට හවුල් වන පිරිස් ත්‍රස්තවාදීන් ලෙස සලකා විනිශ්චයට ලක්කිරීමේ ඉඩ නව පනත් කෙටුම්පත විසින් ලබා දී ඇත. මෙය හුදෙක් වීදුරු පීරිසියේ කිඹුලන් දැකීමක් නොවේ. අදාල පනත් කෙටුම්පත ‌ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරියේ විභාගයට ගත් විට, වැඩවර්ජන වැනි ක්‍රියාමාර්ග මෙමගින් ආවරණය වේද යන කරුණ පෙත්සම්කරුවන් විසින් මතු කල විට, නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා ප්‍රකාශ කලේ අත්‍යවශ්‍ය සේවා බාධාවට ලක්වේ නම් එබදු ක්‍රියා නිසැකයෙන්ම ත්‍රස්ත ක්‍රියා ගණයට ඇතුලත් වන බවයි. වඩාත්ම නරක කරුණ නම්, අත්‍යවශ්‍ය සේවා ගැන මෙම විධිවිධානය අපකීර්තිමත් පැරණි ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත තුල පවා අන්තර්ගත වූවක් නොවීමයි.

දෙවනුව, එලෙස ‘ත්‍රස්ත ක්‍රියාවකට’ සැක පිට අත්අඩංගුවට ගන්නා අයෙක්ට අදාලව ‘රැදවුම් නියෝග’ ලබාදීමේ බලය නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්ට තිබේ. එලෙස රැදවුම් නියෝගයක් ලබා දී තිබෙන විටෙක අදාල සැකකරු මහේස්ත්‍රාත්වරයා ඉදිරියට පැමිණවූ විට ඔහුව නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයාට අවසර නැත. ඔහුට කල හැකි එකම දෙය ‘එම නියමය බලාත්මක කිරීම සදහා වූ ආඥාවක් නිකුත් කිරීමය’. එනම් සාමාන්‍ය නීතිය තුල මෙන් නොව ත්‍රස්ත විරෝධී නීතිය යටතේ අත්අඩංගුවට ගැනෙන අයෙක් තවදුරටත් රදවා ගන්නවාද යන තීන්දුව ගන්නේ අධිකරණය නොව අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාව සිදුකරන පොලිසියමය. එනම් විධායකයමය. අධිකරණය හුදෙක් රබර් මුද්‍රාවක් තබන සංස්ථාවක් බවට පිරිහෙලා ඇත.

ඉහත දක්වන ලද්දේ ඊනියා ත්‍රස්ත සැකකරුවන්ට සාමාන්‍ය නීතිය යටතේ අත්අඩංගුවට ගැනෙන පුද්ගලයෙක්ට හිමි නීතියේ රැකවරණය අහිමි කරන අවස්ථා ගණනාවක් අතරින් එකක් පමණි. ත්‍රස්ත ක්‍රියා සම්බන්ධ සැක පවතින අවස්ථාවක මහජන රැලියක් හෝ පෙලපාලියක් පැවැත්වීම තහනම් කිරීමේ නියෝග නිකුත් කිරීමේ බලය පොලිසියට පැවරීම මෙන්ම එබදු ක්‍රියාවක් ගැන සැකකරන අවස්ථාවල වරෙන්තු රහිතව කවර හෝ පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශවලට බලය දීම ආදී රාජ්‍යයේ මර්දනීය ශක්‍යතාවය තියුනු කෙරෙන වෙනත් ප්‍රතිපාදන මේ තුල අන්තර්ගතය. ‍මේ පිලිබද වැඩිදූර විශ්ලේෂණයන් මේ වනවිට නව පනතට විරෝධය පල කරන සමාජ ක්‍රියාකාරීන් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත.

රාජ්‍ය ආරක්ෂාවේ හෙජමොනිය

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික ශික්ෂාවක් වන්නේ එබදු සමාජයක පුරවැසියන් වීමේ හේතුව නිසා - එම නිසාවෙන්ම සියලු දෙනාට හිමි යම් යම් මූලික අයිතිවාසිකම් හා රැකවරණයන් ප්‍රමාණයක් පවතින බවයි. ත්‍රස්ත විරෝධී නීති මගින් සිදුකරන්නේ එම රැකවරණයන් අහිමි නව විෂයක්, එනම් ‘ත්‍රස්තවාදී සැකකරුවන්’ නම් විශේෂ පුද්ගල විශේෂයක් නිර්මාණය කොට සාමාන්‍ය තත්වයන් තුල අදාල නීතිවලට වඩා වෙනස් නීති විශේෂයක් මගින් එම පුද්ගලයින් විනිශ්චයට ලක්කිරීමයි. නීතිය යනු හුදෙක් ‘හොද’ හා ‘නරක’ ගැන සමාජයේ තිබෙන අදහස් පිලිබිඹු කරන යාන්ත්‍රණයක් පමණක් නොවේ. ‘හොද’ හා ‘නරක’ එනම් ‘හරි දෙය’ හා ‘වැරදි දෙය’ යනු කුමක්දැයි නිර්වචනය කොට එය සමාජ පිලිගැනීමක් බවට පත්කිරීමේ හැකියාව නීතිය සතුව ඇත. ත්‍රස්ත විරෝධී නීති විසින් ත්‍රස්ත සැකකරුවන් ලෙස විෂයක් ගොඩනංවනු ලැබේ. එලෙස නාමකරණය කල විට, සමාජයට එම සැකකරුවන් පෙනී යන්නේ, අසාමාන්‍ය වරදකට සැකකරනු ලබන, එම නිසාම සාමාන්‍ය ශිෂ්ට සමාජයේ මනුෂ්‍යයින්ට හිමි සැලකීම අහිමි කිරීම වුව යුක්ති යුක්ත වන දුෂ්ටයින් හා පාපතරයින් පිරිසක් ලෙසටය. මෙම නාමකරණය අහිංසක එකක් නොව අතිශය දේශපාලනික වූවකි. මන්ද එබදු නාමකරණයකින් පසු, අදාල සැකකරුවන්ට කැමති ලෙසකට සැලකීමට අදාල සමාජ අනුමැතිය රාජ්‍යයට ලබාගත හැකි නිසාය.

‍ප්‍රජාතාන්ත්‍රීය හා මානව අයිතිවාසිකම්වල දෘෂ්ටිකෝණයෙන් බලන විට කවර හෝ ත්‍රස්ත විරෝධී නීතියක් ප්‍රශ්නකාරී වන්නේ ත්‍රස්ත සැකකරුවන් නම් වූ විශේෂිත නෛතික විෂයක් - මිනිස් අයිතිවාසිකම් අහිමි කල හෝ කප්පාදු කල අර්ධ-මනුෂ්‍යයින් පිරිසක් - නිර්මාණය කිරීමට කවර හෝ ත්‍රස්ත විරෝධී නීතියක් මගින් ඉඩ සලසන නිසාවෙනි. වෙනත් ඔ්නෑම අපරාධයකට චෝදනා ලබන පුද්ගලයෙක් හා සමාන ලෙසට, සාමාන්‍ය නීතිය යටතේ සුරක්ෂිත මිනිස් අයිතිවාසිකම්වල සමාන රැකවරණය ලැබීමට ඊනියා ත්‍රස්ත චෝදනා ලබන පුද්ගලයින්ට ද අයිතිය ඇත. එම නිසා මිනිස් අයිතිවාසිකම්වල දෘෂ්ටි කෝණයෙන් බලන්නේ නම් ත්‍රස්ත විරෝධී නීති යනුවෙන් විශේෂ මර්ධනකාරී තන්ත්‍රයක් පැවතීමම අනුමත කල නොහැක්කකි. මන්ද රාජ්‍ය ආරක්ෂාව පිලිබද තර්කයෙන් නිර්වචනය වූ ත්‍රස්ත විරෝධී නීති තන්ත්‍රයන් යනු එනයින්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී වූවක් වන බැවිනි. ‍

නව ත්‍රස්ත විරෝධී පනතට මානව හිමිකම් ගැන ප්‍රතිපාදන ඇතුලත් කොට මර්දනීය නීතියකට මානව හිමිකම් තීන්ත ගෑම මගින් රජය සිදු කොට තිබෙන්නේ රාජ්‍ය ආරක්ෂාවේ කතිකාවත තුලට මානව අයිතිවාසිකම් කතිකාව විසින් මතු කරනු ලැබූ ඇතැම් විරෝධතා අවශෝෂණය කොට ගෙන, ත්‍රස්ත විරෝධී නීති සම්බන්ධයෙන් මානව අයිතිවාසිකම් කතිකාව විසින් කාලයක් තිස්සේ නගනු ලැබූ විරෝධය නිෂ්ක්‍රීය කිරීමට උත්සාහ කිරීමය. නව ත්‍රස්ත විරෝධී පනත විසින් මානව හිමිකම් අරභයා ලබා දී තිබෙන තොල් සාත්තුව ඉදිරියේ මෝහනයට පත්ව ඒ අභිමුව නිශ්ශබ්ද වීමට ලංකාවේ මානව අයිතිවාසිකම් සංස්ථාපිතය තීන්දු කිරීම සැලකිය යුත්තේ රාජ්‍ය ආරක්ෂක නීතිය ඉදිරියේ මානව හිමිකම් සාර්ථක වීමක් ලෙස නොව රාජ්‍ය ආරක්ෂක තන්ත්‍රය ඉදිරියේ මිනිස් අයිතිවාසිකම් වටිනාකම් සම්මුතිගත කිරීමක් ලෙසය.

1979 ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සම්මත කරන විට ඒ සදහා ඉදිරිපත් කල තාර්කිකය වූයේ ඒ වනවිට ,විශේෂයෙන්, උතුරු නැගෙනහිර පලාත්වල පැන නැගී තිබුනු කලබලකාරී වාතාවරණය ආමන්ත්‍රණය කිරීම සදහා එම පනත ‘තාවකාලික’ ක්‍රියාමාර්ගයක් ලෙස පනවනු ලබන බවය. ඒ අනුව සීමිත නීතිමය අර්ථයකින් බැලුවත් එය සැලකිය යුත්තේ විශේෂ තත්වයක් ආමන්ත්‍රණය සදහා ගත් විශේෂිත හා තාවකාලික ක්‍රියාමාර්ගයක් ලෙසටය. මේ වනවිට ලංකාවේ යුද්ධය අවසාන වී දශකයකට ආසන්න කාලයක් ගෙවී ඇත. ඊනියා ත්‍රස්ත ක්‍රියා සම්බන්ධ කිසිදු සංසිද්ධියක් මේ කාලය තුල උද්ගත වී නොමැත. දකුණේ මෙන්ම උතුරේද, ආණ්ඩුවේ ක්‍රියාමාර්ගවලට එරෙහි විරෝධතා මතු වන්නේ ප්‍රජාතාන්ත්‍රීය සිවිල් විරෝධතා හා උද්ඝෝෂණවල ස්වරූපයෙනි.

ඊනියා ත්‍රස්තවාදයක් නොපවතින තත්වයක් තුල සිවිල් විරෝධතා පවා ත්‍රස්ත ක්‍රියා ලෙස නාමකරණය කිරීමට රාජ්‍යයට බලය දෙන නව ත්‍රස්ත විරෝධී නීතියක් සම්මත කිරීමේ පරමාර්ථය කිම? මෙමගින් සිදුකරන්නේ විශේෂ තත්වයක් ආමන්ත්‍රණය කිරීම සදහා යැයි කියමින් තාවකාලිකව පැනැවූ තාවකාලික නීති තත්වයක් ස්ථිර තත්වයට පත්කරමින් ස්ථිර හදිසි නීති තත්වයක් ( a permanent state of emergency) රට තුල නීත්‍යනුකූලවම ඇති කිරීම සහ පවත්වා ගෙන යාම සදහා ප්‍රතිපාදන යෙදීමය. ප්‍රජාතාන්ත්‍රීය හා මිනිස් අයිතිවාසිකම්වල පර්යාවලෝකනයෙන් බලන විට, ඊනියා නව ත්‍රස්ත විරෝධී පනතට අදාල බරපතල විරෝධයක් සමාජය තුල ගොඩනැගීම අත්‍යවශ්‍ය කටයුත්තක් වන්නේ එම නිසාය. අපකීර්තිමත් පැරණි ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීමට බල කරන ගමන් මානව හිමිකම් තීන්ත තැවරූ, ඊටත් වඩා බරපතල ප්‍රතිපාදන සහිත නව ත්‍රස්ත විරෝධී තන්ත්‍රයක් ඇති කිරීමට තරයේ විරුද්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු සමාජ කොටස්වල මග හල නොහැකි වගකීමක් බවට ඒ අනුව පත්ව ඇත.

Comments

Popular posts from this blog

සිංහල ජාත්‍යානුරාගයේ ප්‍රතිරූප දෙකක් : ඉරාජ් වීරරත්න සහ එදිරිවීර සරච්චන්ද්‍ර

කෙටි විසඳුම් නැති ගෘහස්ථ ණය අර්බුදය

පුත්තලම රංගෙ බණ්ඩාර සහ වරකාපොල නාමල් කුමාර