කෙටි විසඳුම් නැති ගෘහස්ථ ණය අර්බුදය



[අමාලි වෙදගෙදර

නාධිපතිවරණයට පින්සිඳු වන්නට ග්‍රාමීය ණය අර්බුදය පිලිබද ප්‍රශ්නය යලි කරලියට පැමිණ ඇත. සමහර අපේක්ෂකයින් ග්‍රාමීය ණය අහෝසි කරන බවට ප්‍රතිඥා දෙන විට අනෙකුත් අය ග්‍රාමීය ණයගැතිභාවයට සහ ග්‍රාමීය ආර්ථිකයේ ඇති අර්බුදයට පිළියම් සොයන බවට පොරොන්දු දෙති. රටේ පාලන තන්ත්‍රයේ ඉහලම පුටුවට යන්නට මහජන බලය බලාපොරොත්තු වන්නන්, මෙම ප්‍රශ්නයට එවැනි ඉහල අවධානයක් යොමු කිරීම හොද වර්ධනයක් වන නමුත් ඔවුන්ගේ පොරොන්දු අපි බාරගත යුතු වන්නේ පරිස්සමෙනි. ප්‍රශ්නයක් ඇති බව පිළිගැනීම විසඳුමක් සෙවීමේ පළමු පියවරයි. ණය ප්‍රශ්නයේ වැඩිහරියක් තවමත් විසඳීමට ඉතිරිව ඇත. දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග වලින් ඉගෙන ගත හැකි දෑ ඇත. මෙම ලිපියෙන් අදහස් කෙරෙන්නේ ග්‍රාමීයව සහ නාගරිකව පවතින ණය අර්බුදය තේරුම් ගැනීමටයි. මේ ණය අර්බුදය අවුරුදු 15කට වඩා වේගයෙන් රජය විසින් සිදු කරගෙන යන මුල්‍යකරණ ප්‍රතිපත්තියේ සෘජු ප්‍රතිපලයක් බවට මම කරුණු දක්වමි. 2018 වර්ෂයේදී රජය විසින් ඉදිරිපත් කල ණය සහන වැඩසටහනින් ණයබර අවම කිරීමට කල දායකත්වයද ගැටළුකාරිය. තමන්ගේ මුලික අවශ්‍යතාවයන් ඉටු කරගැනීමට මිනිසුන්ට නොහැකි වාතාවරනයක ණය අහෝසිකිරීමෙන් ප්‍රයෝජනයක් නැත. අඩමාන ජීවිත ගත කරන ග්‍රාමීය සහ නාගරික දුප්පතුන් දේශපාලන වාසිවලට භාවිතා විය යුතු නැත. ප්‍රතිපත්ති සම්පාදකයින් පොදු සේවා, නිවාස, ඉඩම්, ගෞරවයෙන් ජීවත් වීමට අවශ්‍යය වැටුප් සපයන රැකියා ඇති කිරීමට අවශ්‍ය ආර්ථිකයේ ඵලදායි නිෂ්පාදන හැකියාව ප්‍රාණවත් කිරීමට සම්බන්ධ සැබෑ සමාජ-ආර්ථික ගැටළුවලට අවධානය යොමු කල යුතුය.

මුල්‍යකරණය සහ දුප්පත්කම

මිලියන 21 තරම් වූ ජනගහණයකින් යුතු රටක් වන ශ්‍රී ලංකාවට ඉතා ගැඹුරින් ව්‍යාප්ත වූ විධිමත් සහ අවිධිමත් අංශයන්ගෙන් යුත් මුල්‍ය පද්ධතියක් ඇත. දකුණු ආසියාවේ විශාලම ඒක පුද්ගල මුල්‍ය ජාලය මෙය වන්නටද පුළුවන්. වසර 2005 සහ 2015 අතර කාලය තුල ලියාපදිංචි මුල්‍ය කොම්පැනි සංඛ්‍යාව 28 සිට 44දක්වා ඉහල ගොස් ඇත. මේ සංඛ්‍යාවට අතිරේකව තවත්  ලියාපදිංචි නැති ක්‍ෂුද්‍රමුල්‍ය කොම්පැනි මෙන්ම මුදල් පොලියට දෙන්නන් සහිත අවිධිමත් මුල්‍ය අංශයකුත් ඇත. මුල්‍ය ක්ෂේත්‍රයේ මෙවැනි වේගවත් ව්‍යාප්ත වීමකින් රටේ ආර්ථික සංවර්ධනයේ ඉහල යාමක් මෙන්ම වැසියන්ගේ ජීවන තත්වයේ දියුණු වීමක් වෙන්නට ඇති කියා කෙනෙකුට සිතිය හැක.

නමුත් සංඛ්‍යාලේඛන වලින් කියවෙන්නේ වෙනස් කතාවකි. මෑතකදී ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව ඉහල මැදි ආදායම් රටක් ලෙස ඉහල දැමීමෙන්ද සිදුවන්නේ පිරිහෙමින් තිබෙන ආර්ථික අසමතුලිතතාවයට සුදුහුණු ගෑමක් ය.  1973දී 0.35ක්වූ අදායම් අසමතුලිතතාවය මනින ඒකකය වන ගිනි සංගුණකය 2016 වන විට 0.45ක් දක්වා ඉහල ගොස් ඇත. ධනවත්ම 20%කගේ මාසික ආදායම රුපියල් 158, 072 වන විට දුප්පත්ම 20%කට මසකට ලැබෙන්නේ රුපියල් 14, 843ක් පමණි. මෙවැනි විශමතාවක් නාගරික, ග්‍රාමීය සහ වතු යන අංශ අතර සංසන්දනයකදීද දක්නට ලැබේ. 2017 වනවිට තිබු රැකියා අවස්ථාවලින් අවිධිමත් ක්ෂේත්‍රයේ රැකියා 68%ක් විය. මෙම රැකියා තුලින් ජිවත් වීමට සරිලන වැටුපක් නොලැබේ. මෙවැනි අවිධිමත් අංශයේ රැකියා ව්‍යාප්තිය, පිරිහෙමින් තිබෙන ඇති-නැති පරතරය, මෙන්ම දැඩි මුල්‍යකරණය තුලින් තීරණය වන අස්ථිර සහ භයානක ජීවන තත්වයන්ගේ ස්වභාවය ක්‍ෂුද්‍රමුල්‍ය අර්බුදය තුලින් ඉතාම පැහැදිලි විය. මේ පිලිබඳ අප බොහෝ අදහස් දක්වා තිබෙනවා. කෙසේ නමුත් ක්‍ෂුද්‍රමුල්‍ය අර්බුදය සහ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති වලට සම්බන්ධ ආර්ථික ගැටළු පිලිබඳ පැහැදිලි අවබෝධයක් ඇති බව ආණ්ඩුව හැසිරෙන ආකාරයෙන් හෝ ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ ප්‍රතිචාර තුලින් නොපෙනේ.

ණය සහනය, මුල්‍ය කොම්පැනිවලට ලබා දුන් සහන පැකේජයක්

උතුරු ප්‍රදේශයේ ණයගැති කාන්තාවන් 2017 සහ 2018 වර්ෂවල සිදු කල උද්ගෝෂණ වලින් පසුව, නියගයෙන් පිඩා විදි දිස්ත්‍රික්ක 12කට ණය කපා හැරීමක් පිලිබඳ ආණ්ඩුව නිවේදනය කළේ ය. මේ අනුව සම්පුර්ණ ණය 45, 139ක ප්‍රමාණයක් කපා හැරීමක් සිදු වුනා. කොහොම නමුත් ඉතා පුළුල්ලෙස පැතිරුණු ගැටළුවකට මෙය ප්‍රමාණවත් විසඳුමක් නොවේ. 

මා කලින් කියූ පරිදි, මෙම ණය සහනය ක්‍රියාත්මක වුයේ නියඟයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්ක 12ක් තුල පමණි. තමන්ගේ ණය වලින් රුපියල් ලක්ෂයක් කපා හැරීමට සුදුසුකම් ලැබුවේ වාරික තුනක් ණය නොගෙවූ කාන්තාවන්ය. වාරික තුනකට වඩා ණය ආපසු නොගෙවූ කාන්තාවන් මෙන්ම බොහෝ දුක් විඳ ණය ක්‍රමක්‍රමයෙන් ගෙවමින් සිටි කාන්තාවන්ට මෙම සහනය ලැබුනේ නැත. ඒවගේම රටේ අනෙක් දිස්ත්‍රික්ක 13 පදිංචි ණයගැති කාන්තාවන්ද මෙම සහන පැකේජයෙන් බැහැර කෙරුණි. සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2016 වර්ෂයේ නිකුත් කල ගෘහස්ත අදායම් සහ වියදම් පිලිබඳ සමීක්ෂණයට අනුව කලුතර, මාතලේ, ගාල්ල, හම්බන්තොට, නුවර එළිය, මාතර සහ මහනුවර වැනි දිස්ත්‍රික්ක වලත් මුල්‍ය කොම්පැනිවලට අදාල ණය විශාල වශයෙන් පවතියි. ඊට අමතරව මේ ප්‍රදේශ වල ජනයා පොලී කාරයින් සහ කඩ ආදී අවිධිමත් අංශයෙන් ගන්නා ණය මතද සැලකියයුතු මට්ටමෙන් යැපෙන බව මෙම වාර්තාවෙන් පෙන්වයි.

මෙම ප්‍රතිලාභය ලැබුණු දිස්ත්‍රික්ක 12 තුළවත් ණයගැති කාන්තාවන්ට සහනයක් වීමට මේ ණය සහන වැඩසටහනට හැකියාව ලැබුණාද? මුල්‍ය කොම්පැනි හරහා ක්‍රියාත්මක වූ මෙම සහන වැඩසටහනින් පෙනෙන්නේ එය මුල්‍ය කොම්පැනිවලට ලැබුණු සහන පැකේජයක් බවයි. 2018 වර්ෂයට නිකුත් කල මුදල් අමාත්‍යංශයේ වාර්ෂික වාර්තාවට අනුව ලියාපදිංචි ක්‍ෂුද්‍රමුල්‍ය ආයතන 37ක් ණය සහන පැකේජයෙන් ප්‍රතිලාභ ලැබීය.කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගම ඉහලම ප්‍රතිලාභ ලැබූ අතර, බිම්පුත් මුල්‍ය ආයතනය, HNB ග්‍රාමීන් සහ LOLC  අනෙක් ඉහල ප්‍රතිලාභ ලැබූ කොම්පැනි අතර විය. 

ආණ්ඩුව ගත් අනිත් ක්‍රියාමාර්ගය වුයේ ක්‍ෂුද්‍රමුල්‍ය ණය සම්බන්ධයෙන් පොලි සීමාවක් පැනවීමයි. මූල්‍ය අංශය නියාමනය කිරීමේ බලයලත් ආයතනය වන මහ බැංකුව එම කාර්ය කිරීමට එතරම් කැමැත්තක් දක්වන්නේ නැත. ඔවුන් කියන්නේ මේ මුල්‍ය ආයතන ස්වයංපාලනයකින් පැවතිය යුතු බවයි. උතුරේ ණය අර්බුදය පිලිබඳ සමීක්ෂණ කල අය මෙන්ම සමාජ ක්‍රියාධරයින්ගේ මෙහෙයවීම්, බලපෑම් වලින් පසුව 30%ක පොලි සීමාවක් පැනවීමට යෝජනාවක් ඉදිරිපත් විය. නමුත් 2018 දෙසැම්බර් මස මේ යෝජනාව ක්‍රියාත්මක වන විට පොලිය 35%ක් දක්වා ඉහලට තල්ලු කර තිබුණි. ඉදිරියේදී ක්‍ෂුද්‍රමුල්‍ය ඇතුළු ණයදෙන ආයතන නියාමන අධිකාරියක් පිහිටුවීමට ආණ්ඩුව දැනට කටයුතු කරමින් සිටින බව කියවේ.

දරිද්‍රතා ප්‍රාග්ධනය

ණය සහන වැඩසටනකින්, පොලී සීමාවකින් මෙන්ම නියාමන යාන්ත්‍රනයකින් ණයගැතිභාවය පිලිබඳ ගැටලුව විසඳිය හැකිද? ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාරය අනුගමනය කරන කොල්ලකාරී පිළිවෙත් විසඳීම සඳහා මේවා ප්‍රමාණවත් වේද?

ක්‍ෂුද්‍රමුල්‍ය යනු ශ්‍රී ලංකාවේ ඉක්මනින් පැතිරුණු ව්‍යාපාරයකි. ශ්‍රී ලංකාවේ සිදුකල අධ්‍යනයන්ට අනුව ස්වභාවික විපත් මෙන්ම මිනිසා විසින් ඇති කල ව්‍යසනයන්ගෙන් පසු ක්‍ෂුද්‍රමුල්‍ය ආයතන සීග්‍රයෙන් වැඩි වී ඇත. එවැනි එක් අවස්තාවක් වන්නේ 2004 වර්ෂයේ සුනාමිය නිසා ඇති වූ විපත්තියයි. අනෙක් අවස්තාව 2009 යුද්ධය අවසානයයි. මුල්‍ය ආධාර වැඩි වීමේ ප්‍රතිපලයක් ලෙස 2002දී 83ක්ව පැවති ක්‍ෂුද්‍රමුල්‍ය ආයතන ශාඛා ප්‍රමාණය 2015 වන විට 14, 000ක් දක්වා ඉහල ගොස් තිබිණි. 1990 ගණන් වල මුල සිට සහනශීලි ණය ආධාර ලබා දීම ආණ්ඩුවෙන් වෙළෙඳපල පාදක කොට ගත් පෞද්ගලික අංශයට විතැන් වීමත් සමඟ ක්ෂුද්‍රමුල්‍ය අංශයට වැඩි වැඩියෙන් ගලා ආ මුල්‍ය ආධාර මෙම කර්මාන්තයට ගුණාත්මක බලපෑමක් කර තිබේ. ක්‍ෂුද්‍රමුල්‍ය තුලින් දුප්පත්කම නැති කිරීමට කරන්නේ කුමන බලපෑමක්ද යන්න තීරණය කිරීමටත් මේ මුල්‍ය ආධාර බල පා තිබේ.

විධිමත් බැංකු පද්ධතිය රට පුරා කොතරම් ව්‍යාප්තව තිබුනත් ඒවායෙන් තමන්ගේ මුල්‍ය අවශ්‍යතා සපුරා ගැනීමට දුප්පත් ජනතාවට නොහැකිය. ඒ නිසා ඔවුන් තමන්ගේ මුල්‍ය අවශ්‍යතා පිරිමහ ගැනීමට යොමුවන්නේ අවිධිමත් මුල්‍ය ක්ෂේත්‍රයටයි. ජාතික සංඛ්‍යාලේඛණ කුමක් කීවත් ශ්‍රී ලංකාවේ ජන ගහනයෙන් 40%ක් පමණ වන දුප්පත් ජනයා ගොදුරු කරගැනීමට මේ ලෙසින් ක්‍ෂුද්‍රමුල්‍ය ආයතන වලට හැකි වී තිබේ. 'මුල්‍යමය වශයෙන් අවදානම් කොටසක්' වශයෙන් සැලකෙන දුප්පත් ජනයාට ණය දීමට විධිමත් බැංකු කිසිම උත්සහයක් ගෙන නැතත්, වර්ධනය වන ක්‍ෂුද්‍රමුල්‍ය කොම්පැනි තුලින් ඔවුන්ට වඩා වාසිදායක වෙළෙඳ ණය ලබා දිය හැකි ලාභදායි ව්‍යාපාරයක් ලැබී තිබේ. බැංකු මෙසේ දුප්පතුන් මඟ හැර යද්දී, ක්‍ෂුද්‍රමුල්‍ය ආයතන මෙම බැංකු පහසුකම් නැති, මුල්‍යමය වශයෙන් අවතක්සේරු වී ඇති දුප්පත් ජනයාට වැඩි වැඩියෙන් ණය දීමට අලුත් අලුත් ක්‍රම සොයමින් සිටි. ජාත්‍යන්තර මුල්‍ය ප්‍රතිපාදන සපයන්නන් මෙන්ම ශ්‍රී ලංකාවේ බැංකු මඟින් ලබා දෙන මුල්‍ය ප්‍රතිපාදන නිසා ඉහල ප්‍රාග්ධනයක් සතු මේ ක්‍ෂුද්‍ර මුල්‍ය ආයතන වලට මෙසේ තම ව්‍යාපාරය නව්‍යකරණය කරමින් මෙන්ම රට තුල ව්‍යාප්ත කරමින් විවිධ මුල්‍ය සේවාවන් සඳහා දිළිඳු ජනයාගෙන් ඇති ඉල්ලුම සැපිරීම පහසු කාර්යයකි. ජංගම දුරකතන හරහා ලබා දෙන මුල්‍ය මෙවැනි නව්‍ය  ඩිජිටල් මුල්‍ය සේවාවන් වලට උදාහරණයකි. ලංකාවේ එවැනි සේවාවන්ගේ පළමුවැන්න LOLC කොම්පැනිය 2018 දී ශ්‍රී ලංකා මොබිටෙල් සමඟ ඒකාබද්ධ වී ආරම්භ කර ඇත. මෙලෙස මුල්‍ය කොම්පැනිවලට දුප්පත්කම ලාභදායි ව්‍යාපාරයක් වී ඇත.

වර්තමාන ආර්ථික සංවර්ධන උපාය මාර්ගය තුල කිදා බැස ඇති  සාමාන්‍ය ජනයාට ඔවුන්ගේ සම්පත් සහ හිමිකම් අහිමි කිරීමේ ක්‍රියාවලිය සහ සංවර්ධන ක්‍රියාවලියෙන් ඔවුන් බරපතල ලෙස බැහැර කිරීම පිළිගැනීමට දේශපාලනඥයින් මෙන්ම ප්‍රතිපත්ති සම්පාදකයින්ගේද ප්‍රතික්ෂේප කිරීම තුලින් මූල්‍ය කර්මාන්තය ලාභ ලබමින් සිටියි. දරිද්‍රතාවය පිලිබඳ තොරතුරු ලබා දෙන ජාතික සංඛ්‍යාලේඛන වලට අනුව ශ්‍රී ලංකාවේ දුප්පත්කම ක්‍රමක්‍රමයෙන් අඩු වී ඇත. සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දරිද්‍රතා ශීර්ෂ දර්ශකයට අනුව 1996 සිට ශ්‍රී ලංකාව පුරා දරිද්‍රතාවයේ තත්ත්වය ක්‍රමයෙන් පහත වැටීමක් පෙන්නුම් කරයි. දරිද්‍රතා ශීර්ෂ දර්ශකය ගණනයේදී සැලකෙන්නේ පාරිභෝගිකයින් ලෙස වෙළඳපල කටයුතුවලට සහභාගී වීමෙන් බැහැර වූ හෝ පසුබසින පුද්ගලයින් සංඛ්‍යාවයි. 

ග්‍රාමීය හා නාගරික අංශවල ණයගැතිභාවයේ හා ණය ගෙවාගත නොහැකි තත්වයේ ඉහළ යෑමක් පවතින තත්වයක් තුල මෙලෙස දරිද්‍රතාවය අඛණ්ඩව පහල යෑමක් පැහැදිලි කළ හැක්කේ කෙසේද? සමස්ත දුප්පත්කම අඩු වී ඇත්නම්, සතිපතා ණය වාරික ගෙවීමට නොහැකි කාන්තාවන් සහ පිරිමින් සියදිවි නසා ගන්නේ ඇයි? අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, ප්‍රවාහන, නිවාස හා ආහාර සඳහා වන පිරිවැය වැඩිවීම හමුවේ ජීවන තත්ත්වය පිරිහෙන තත්වයක් තුල පරිභෝජන කටයුතු සඳහා ණය ගැනීමට ජනතාවට සිදුවී තිබේ. ණය මත පදනම් වී පරිභෝජන ක්‍රියාවලියේ නියැලීමට ඇති හැකියාව නිසා දරිද්‍රතා සංඛ්‍යාලේඛන තුල දුප්පත්කම අඩුවීම කෘතිමව මතු වී තිබේ. දුප්පතුන් ණය ජාලයක සිරවී සිටින විට දුප්පත්කමේ ඇති වී ඇති මෙම සංකීර්ණ ස්වභාවය හඳුනා ගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසැකවම තව තවත් දුප්පත් කාන්තාවන්ගේ හා පිරිමින්ගේ ජීවිත අහිමිවීමට හේතු වනු ඇත. මේ වසරේදී ඉදිරිපත කල 'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා' ණය ක්‍රමය එවැනි ප්‍රතික්ෂේපයක ඉහළම ප්‍රකාශනයයි. දුප්පත් ණය ගැනුම්කරුවන්ට ණය තමන්ගේ ඉඩම්, නිවාස, කණකර අහිමි වීම මෙන්ම සමහර විට ජීවත් වූ ප්‍රදේශ අතහැර වෙන පළාත් වලට සංක්‍රමණය වීමටත්, තවත් වෙලාවක ජීවිත අහිමි වීමටද හේතු වෙන දෙයකි. දුප්පතුන්ට මෙන් නොව, ණය දෙන්නන්ට ණය අතිශයින්ම ලාභදායී ක්‍රියාවක් වී තිබේ. ශ්‍රී ලංකාවේ විශාලතම ක්ෂුද්‍ර මූල්‍ය සමාගම වන LOLC මෑතකදී රුපියල් ට්‍රිලියනයක සමාගමක් ලෙස උසස් කීර්තියක් ලබා ගත්තේය.

කල යුත්තේ කුමක්ද?

මෙම ණය උවදුර මැඩලීම සඳහා යෝජනා ලෙස ඉදිරිපත් කර ඇත්තේ ණය අවලංගු කර දුප්පතුන්ට මුදල් ලබා දීමයි. ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් අනාගත රජයක් සඳහා ප්‍රතිපත්ති සම්පාදනය කරන බුද්ධිමය හා වෘත්තීය ලොබිය වන වියත්මග ඉදිරිපත් කර ඇති යෝජනාවක් වන්නේ සමෘද්ධි ශේෂයන්ගෙන් 25% ක් සියළුම ගිණුම් හිමියන්ට මුදා හැරීමෙන්  ඔවුන්ගේ මිලදී ගැනීමේ ශක්තිය වැඩි දියුණු කිරීමයි. එසේම, ලබා ගත් ණය වල ප්‍රාග්ධන කොටස ආපසු ගෙවීමට සහන කාලයක් පැනවීමටත් ඔවුහු යෝජනා කරති. ආර්ථිකයට මුදල් පොම්ප කිරීම තුලින් පරිභෝජනයට පහසුකම් සැලසීමෙන් ගැටළුව තාවකාලිකව සමනය කර ආර්ථිකය ඉදිරියට ගෙන යනු ඇත. කෙසේ වෙතත්, එය තාවකාලික පිළියමක් පමණි. ණය අවලංගු කිරීම පිළිබඳ මේ වන විට සිදුවන කතාබහ, වැඩිවන ණයගැතිබව සහ මූල්‍යකරණය පිලිබඳ රාජ්‍ය ප්‍රතිපත්තිය අතර ඇති සමීප සම්බන්ධතාවයට අවධානය යොමු නොකරයි. මෙම යෝජනා පරෙස්සමින් අධීක්ෂණය නොකළහොත් වෙන්නේ සමාජයේ ප්‍රභූ ස්ථරයට ප්‍රතිලාභ ලැබිය හැකි අවස්ථා නිර්මාණය කිරීම පමණි.

මූල්‍ය අංශය යනු මූල්‍යකරුවන්ට සහ ධනවතුන්ට පමණක් ප්‍රතිලාභ ලබා දෙන රන් කිකිළියක් වේ. මුදල් ආයෝජකයින්ට අවශ්‍යය වන්නේ ලාභ ලබන ක්‍ෂේතරයන් තුල තමන්ගේ මුදල් ආයෝජනයටයි. මුල්‍ය වෙළෙඳපල කෙටි කාලයක් තුල ඉහල ලාභයක් දෙන නිසා ප්‍රාග්ධනය වැඩි වැඩි වශයෙන් තම අංශයට ආකර්ෂණය කරගැනීමට හැකියාවක් තිබේ. මේ නිසා සීමිත ප්‍රමාණයකට රන් බිජු දමන මුල්‍ය ක්‍රියාවලිය විසින් බහුතර ජනයාගේ සුභසෙත සඳහා ජීවත් වීමට සරිලන වැටුප් ලබා දෙන යහපත් රැකියා උත්පාදනයට, මහජන සේවාවන් සහ පොදු යටිතල පහසුකම් ඇති කිරීමට ඇති අරමුදල් තම ව්‍යාපාරයට උරා ගනී. මෙයට කදිම නිදසුනක් නම් ශ්‍රී ලංකාවේ දේපල වෙළඳාම් අංශයයි. කොළඹ නගරය තුල ඉතා වේගයෙන් පැතිරෙමින් තිබෙන ඉහළ මට්ටමේ නිවාස සංකීර්ණයන් ධනවතුන් සඳහා ආයෝජන අවස්ථා විවර කරන විට, කුලිය අධික වශයෙන් වැඩි වීම නිසා මධ්‍යම පන්තියට පවා නිවාසයක් / මහල් නිවාසයක් කුලියට ගැනීම අපහසු කාර්යයක් වී තිබේ. අනික් පැත්තෙන් මෙසේ නිවාස කුලිය ඉහල යාමට මුල් වූ  මූල්‍ය අංශයම නිවාස අත්තිකාරම් සඳහා ගෙවීමට මුදල් සොයාගත නොහැකි නිවාස නොමැති දුප්පතුන්ට ඒ සඳහා ණය දීමට පටන් ගෙන ඇත. 

එබැවින් ග්‍රාමීය හා නාගරික දුප්පතුන් අතර ණයගැති භාවයට පිළිතුරු සෙවීමේදී ඒ සඳහා මූලික හේතු සාධක පිලිබඳ පුළුල් ප්‍රවේශයක් අවශ්‍ය වේ. රජය සතු බැංකු ඔවුන්ගේ පොදු-සමාජ කාර්යභාරයට නැවත යොමු කිරීම, සංවර්ධන බැංකු රජයට පවරා ගැනීම සහ දුප්පතුන්ට සේවා සැපයීම සඳහා විධිමත් බැංකු අංශය ප්‍රතිව්‍යුහගත කිරීම මෙන්ම ඉඩම් හා නිවාස සැපයීම පිලිබඳ බලපෑම් කිරීමට මුල්‍ය අංශයට ඇති හැකියාව සීමා කිරීමට නියාමනය පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදනය කිරීම අත්‍යවශ්‍ය වේ. මෙම ප්‍රතිපත්ති පොදු ව්‍යවසායන් හා අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි පොදු සේවාවන් දුර්වල කිරීමට හේතු වී ඇති ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ආපසු හරවන රාජ්‍ය ක්‍රියාමාර්ගයට අනුකූල විය යුතුය. දුප්පතුන් සඳහා පහසු සහ දැරිය හැකි ණය ලබා ගැනීම සඳහා යාන්ත්‍රණයක් නිර්මාණය ද  ණය කපා හැරීමක් සමඟ ඇති කළ යුතුය. යාපනය, මන්නාරම ඇතුළු උතුරු පළාතේ උදාහරණවලින් පෙනී යන්නේ සමුපකාර අංශයට මෙම කාර්යය ඉටු කළ හැකි බවයි. කිහිප දෙනෙකුට ලාභ ඉපයිය හැකි වෙළඳපොලක් බවට දුප්පතුන් පත් නොවිය යුතුය. එමෙන්ම, ඉක්මන් විසඳුම් පෙන්වමින් දේශපාලන වාසි ගැනීමට උත්සාහ ගන්නන්ට දුගීකමින් වාසි ගැනීමට ද ඉඩ නොතැබිය යුතුය.


Comments

Popular posts from this blog

සිංහල ජාත්‍යානුරාගයේ ප්‍රතිරූප දෙකක් : ඉරාජ් වීරරත්න සහ එදිරිවීර සරච්චන්ද්‍ර

පුත්තලම රංගෙ බණ්ඩාර සහ වරකාපොල නාමල් කුමාර

2019 අය වැය : මිල්ටන් ෆ්‍රීඩ්මාන්ට සුබසාධනවාදී වෙස්මුහුණක් දැමීම