රුපියලේ බිද වැටීම හෙවත් ආර්ථික දේහයේ රුධිර ගලනය

 


| අහිලන් කදිර්ගාමර්

පරිවර්තනය - ගීතිකා ධර්මසිංහ / රමිදු පෙරේරා 


ද දවසේ ආර්ථිකයේ ප‍්‍රධාන මාතෘකාව වී ඇත්තේ රුපියලේ අගය පහත වැටීමය. මෙයට හේතුව වී ඇත්තේ ඇමෙරිකානු ඩොලරය ශක්තිමත් කිරීම සඳහා එරට විසින් පොලි අනුපාතය වැඩි කිරීමද? එය අපනයනයට වඩා විශාල වශයෙන් ආනයනයට මුල් තැන දුන් දෝෂ සහගත ආර්ථික ප‍්‍රතිපත්තිවල ප‍්‍රතිපලයක්ද? එසේත් නැතිනම් අප ආර්ථිකය මුල්‍ය ප‍්‍රාග්ධන සංසරණයට විවෘත කිරීමද? මේ පිළිබඳ විවාදයන් දේශපාලනික වශයෙන් මෙන්ම වෙනත් ආකාර මැදිහත්වීම්වලින් විවිධ අර්ථ ගෙන තිබුනද එම අදහස් ලංකාවේ ආර්ථික දිශානතිය පිළිබඳ ඇගයීමකට අපව විවෘත කරයි.
ආනයන හා විදේශ ණය ගෙවීම් සඳහා විදේශ විනිමය හිඟය මගින් විදහා දැක්වෙන රුපියලේ අගය අවප‍්‍රමාණය වීම හා අයවැය ශේෂය සම්බන්ධ ප‍්‍රශ්න කිසිවෙකුත් පුදුමයට පත් නොකරනු ඇත. වෙළදාම හා මුල්‍ය ලිබරල්කරණය හරහා ලෝකය පුරා මෙන්ම ලංකාවේද මෙවැනි අර්බුද දිගින් දිගටම සිදුවෙමින් පවතී. දශක ගණනක් පුරා ආර්ථික සංවාදයන් තුල මුලික විෂය වී ඇත්තේ මෙම අර්බුදයන්හි ගෝලීය තත්වය හා ජාත්‍යනතර ප‍්‍රතිපලය. විශේෂයෙන් 1997 සිදු වූ ආසියාවේ ආර්ථික අර්බුදය හා 2008 ගෝලීය ආර්ථික අර්බුදය එහිදී ප‍්‍රමුකය. තවදුරටත් ඇමෙරිකාවේ පොලි අනුපාතිකය ඉහළ යාමත් සමග ඉහල ගිය ප‍්‍රාග්ධන පිරිවැය හා ඇමෙරිකාවේ ආර්ථිකය ආරකෂා කිරීමට ගත් පියවර මගින් අපනයනය සඳහා හැකියාවන් වියැකී යාම වැනි ජාත්‍යන්තර මුල්‍ය හා භාණ්ඩ වෙළදපොළ සංවර්ධනයන් හා සබැදි තතු දිගු කාලයක් පුරා අප දැන සිටි දේය.
  • කෙටි කාලීන විග‍්‍රහයක් 
අර්බුදයන් ඉතාමත් අපහසු සත්‍යන් අප ඉදිරියට ගෙන එයි. දේශපාලකයින්ට මහ පොළොවේ යථාර්තයන් සමග ගනු දෙනු කිරීමට බල කෙරෙයි. ඔවුනගේ දුෂ්ටිවාදී සහායකයන් එම යථාර්තය සඟවමින් තමන්ගේ ආර්ථික ප‍්‍රවේශයන් සම්බන්ධයෙන් වග වීමට අකමැති වේ. රුපියල අවප‍්‍රමාණය වීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ කෙටි කාලීන විග‍්‍රහයන් හාස්‍ය ජනකය: ලංකාවේ පශ්චාත් යුධ සමයේ ආර්ථික නැගීම යනු 2008 ගෝලීය මුල්‍ය අර්බුදයෙන් පසුව මතු වූ වෙළදපොල සඳහා ප‍්‍රාග්ධනය ගලා ඒමේ ප‍්‍රතිපලයකි. ඒ අනුව වත්මන් අර්බුදය යනු නැවතත් එම ප‍්‍රාග්ධනය බටහිර අගනාගරික කේන්ද්‍රයන් වෙත ගලායාමකි. එය අපගේ වෙළදපොල ස්ථාවර නොවන අපනයන සඳහා විවෘත කිරීමේ සෘජු ප‍්‍රතිපලයකි. එනම් වෙළද යුද්ධයන් හා සම්බාදක ගෝලීය භාණ්ඩවල හා ප‍්‍රාග්ධන වෙළදපොල තුල අර්බුදයන් නිර්මාණය කරමින් ඩොලරය ශක්තිමත් කරන ආරක්ෂිත මාවතකට සේන්දු වීමේ” ආකෘතියක් ගනී. ඒ අනුව මුදල්වල අගය අවප‍්‍රාමාණය වීම ශ‍්‍රී ලංකාවට පමණක් ආවේනික වුවක් නොවන අතර වෙනත් බොහෝ රටවලට එය බලපායි. අපගේ කලාපය තුල ඉන්දියාවද ලෝකයේ අනෙක් කොටස්වල උදාහරණයකට ආර්ජින්ටීනාව වැනි රටවල්ද මෙම ප‍්‍රශ්නයට මුහුණ දෙයි.

අප ඇසිය යුත්තේ මෙවැනි ප‍්‍රඥාවන්ත විග‍්‍රහයකින් එමින් තිබෙන ප‍්‍රශ්න පිළිබඳ පුර්ව දැක්මක් නොතිබුනේ මන්ද යන්නයි. මෙම අනපේක්ෂිත තත්වයන් පිළිබඳ ශ‍්‍රී ලංකා ප‍්‍රතිපත්ති සම්පාදකයින් ගෙන ඇති පියවර මොනවාද? ඔවුන් ආනයන සීමා කිරීම සහ ප‍්‍රාග්ධන ගලනයේ වේගය අඩු කිරීමට අදාල පියවර නොගත්තේ මන්ද? ඒ කිසිවකට උත්තර සොයනු වෙනුවට අපගේ නව ලිබරල් ආර්ථික දුෂ්ටිවාදීන් ඉතා දක්ෂ ලෙස වෙළදපොළ ලිබරල්කරණය පිලිබඳ හා ජාත්‍යන්තර මුල්‍ය කේන්ද්‍රයක් නිර්මාණය කිරීමේ අගය පිළිබද සුදු හුණු තවරමින් සිටී. ආනයනය සීමා කිරීම පිළිබඳ සංවාදයට තහංචි පැන වූ අතර ආනයන ආදේශක පිළිබඳ සඳහන් කිරීම තහනම් විය. අවසානයේ දේශපාලකයින් ආනයන සීමා කිරීමට සංවාද කරන අතර ඔවුනගේ දුෂ්ටිවාදී සහායකයින් සිය නිශ්ශබ්දතාවය රකී. ඒ අතර තවත් අය අර්බුදය පිළිගත්තද ඒ හා බැඳුනු ජනතාවට විඳීමට සිදුවන නොවැලැක්විය ප‍්‍රතිවිපාක දැන දැනත් තවදුරටත් ආර්ථිකය ලිබරල්කරණය කිරීම දෙසට ලංසු තබමින් සිටි. 

  • දුෂණය සහ සෘජු විදේශ ආයෝජනය
1977 විවෘත ආර්ථික ප‍්‍රතිසංස්කරණවල සිටම ලංකාවේ ආර්ථික ප‍්‍රතිපත්ති විශේෂයෙන් ගෝලීය ප‍්‍රාග්ධනය හා භාණ්ඩ වෙළදපොල ඇතුලත් කරගත් ලිබරල්කරණ මාවතේ සිර කොට ඇත. සාර්ථක කර්මාන්ත ප‍්‍රතිපත්තියක් ඇතිකිරීම හා දේශීය නිෂ්පාදනයන්ගෙන් ආනයන ප‍්‍රතිස්ථාපනය කිරීම පිළිබඳ අදහස බැහැර කොට ඇත්තේ සංවර්ධනය සඳහා වූ විදේශීය ආධාර නිදහස් වෙළදපොල ප‍්‍රතිපත්ති සඳහා යොමු වී ඇති සේය. අවාසනාවකට එය විසින් වෙළදපොල නිදහස් කල විට ආර්ථිකය ගොඩ යනු ඇති බවට උපකල්පනය කර ඇත.
සමහරෙක් දුෂණය හා සෘජු විදේශ ආයෝජනය ගැටළු ලෙස දකින බව පෙනෙයි. ඔවුහු පෞද්ගලීකරණය එම ගැටලූවලට විසදුම් ලෙස දකිති. මෙහි අරුමය නම් ලෝකය පුරා ඇති අත්දැකීම් වලින් පෙන්නුන්ම් කරන්නේ දුෂණයට හේතු වී ඇත්තේ විදේශීය ආයෝජනවලින් සහාය ලද පෞද්ගලීකරණ පිළිවෙත බවයි. බදු ගැසීමේ ප‍්‍රතිපලයක් ලෙස මතු වූ මෑතකාලීන සුරැුකුම්පත් වංචාව පිලිබඳ චෝදනා, අර්ථසාධක අරමුදල් ආයොනජය කිරීම්, රාජපක්ෂ රෙජීමය කාලයේ චීනය සමග කල විදේශ ආයොජනයන් එවැනි ආර්ථික ප‍්‍රතිපත්තිවල දුගඳ විහුදුවයි. අනෙකුත් රටවල්වල මෙන්ම ලංකාවේද සෘජු ආයෝජනයන් සමපෙක්ෂිත දේපල වෙළදාම තුල ගිලී ඇත. එය විසින් අපනයන වර්ධනයට සිදු කරන්නේ අල්ප සහායකි. ඉන් දේශීය මුල්‍ය හා ගොඩනැගීමේ කත්‍යාපාධිකාරීත්වය වර්ධනය කලද තත්වයන් අහිතකර වනවිට ඔවුහු ඉන් මිදී පලා යති.
නැවතත් කියන්නේ නම්, දුෂණය යනු ප‍්‍රධාන ගැටලූව නොවන අතර සෘජු විදේශ ආයෝජනයන් අපගේ ගැටළු විසඳන්නේ නැත. මුලික තර්ජනය වන්නේ කර්මාන්ත ප‍්‍රතිපත්තියය. විශේෂයෙන් නිශ්පාදනය සඳහා රාජ්‍ය සහායේ හිඟකම එනම් අපනයනය කිරීමට නැතහොත් අවම වශයෙන් දේශීය පරිබෝජනය සඳහා වන නිෂ්පාදන හිඟකම ඉන් ප‍්‍රධානය.
  • බංකලොත් ආර්ථික දැක්ම
බංකලොත් ආර්ථික දැක්ම විශාලතම ගැටළුවය. ඇමරිකානු ඩොලර් බිලියනයක් වැනි විශාල මුදලකට වානේ ආලේපිත නිවාස 65000ක් ආනයනය කිරීම සඳහා වූ යෝජනාව මෑතකාලීනව කල විශාලතම විහිලූවය. කෙසේ වුවත් අවරුදු 3කට වැඩි කාලයක් පුරා යුද්ධයෙන් පීඩාවට පත් ප‍්‍රජාවට නිවාස ලබා දීම ප‍්‍රමාද වී තිබිය දී පවා මෙම වානේ නිවාස සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ හා මාධ්‍ය තුල විශාල කාලයක් මිඩංගු කළේය. ඩොලර් බිලියන එකකින් අර්ධයක්වත් වැය නොවන දේශීය වශයෙන් නිෂ්පාදනය කල ගඩොල් සහ සිමෙන්තිවලින් සැදු පරම්පරා ගණනක් පවතින නිවාස නිර්මාණය කිරීමට හැකිව තිබියදී අපට නොගැලපෙන වානේ වලින් තැනු නිවාස ගෙන්වීමට ඩොලර් බිලියන 1ක් වැය කිරීමේ උත්සාහය පෙන්නුම් කරන්නේ ප‍්‍රතිපත්ති සම්පාදකයින්ගේ ආර්ථික මුග්ධකමය.
ආණ්ඩුව අවසාන වශයෙන් සුඛෝපභෝගී වාහන ගෙන්වීම සීමා කිරීමේ යෝජනාවකට අවදි වී ඇත. එහෙත් මේ කිසිවෙක්ට සතුටුවීමට කාලයක් නොවෙයි. ශ‍්‍රී ලංකාව දේශීය පරිභෝජනය සඳහා ප‍්‍රමාණවත් තරම් ආහාර නිෂ්පාදනය කිරීමට අසමත් වී ඇති බව සැලකිය යුතු තත්වයකි. කෘෂිකර්මාන්තය තුල ආයෝජනය කිරීමට අසමත්වීම තුල 2017 ආහාර හා බීම වර්ග ආනයනය කිරීම සඳහා වැය කල මුදල ඩොලර් මිලියන 1841 කි. එසේම අපගේ මේ දුපත් රාජ්‍ය තුල ඕනෑතරම් මුහුදු සම්පත් තිබියදී මුහුදු ආහාර සඳහා වැය කල මුදල ඩොලර් මිලියන 214කි (මුල්‍ය අමාත්‍යාංශය වාර්ෂික වාර්තාව 2017*.
කෙසේ වුවත් මෑතක් වනතුරුම ආනයන ආදේශනය වෙනුවෙන් ආහාර නිෂ්පාදනය කිරීම සාකච්චාවෙන් බැහැර වුයේ නව ලිබරල් ආර්තික විද්‍යාඥයින් ආනයන සම්බන්ධයෙන් පිස්සු වැටී සිටීම නිසාවෙනි. ඔවුන් කෘෂිකර්මාන්ත අංශය මග හැරි අතරම ඉඩම් සදහා වෙළදපොලක් වෙනුවෙන් ජනතාව ඉඩම්වලින් ඉවත් කරන ලදී. අප දැන් ගෙවමින් සිටින්නේ නව ලිබරල් බුද්ධි ජීවීන්ගේ හා කසිකබල් ප‍්‍රතිපත්ති සම්පාදකයින්ගේ ඉතාමත් දැනුවත්ව කල නොදැනුවත්කම්වලට හා මාන්නක්කාරකම්වලටය . පැමිණිය හැකි අහිතකර ප‍්‍රතිපල නොතකා කාර්යක්ෂම හා තරගකාරී වෙළදපොලක් සඳහා අප ඔවුන් විසින්ම දෙන ලද ප‍්‍රතිකාර අනුකරණය කළහොත් ඒ සියලූ දෙනා වෙළදපොලේ විවිධත්වය හඳුනා ගැනීමට හා එය වැඩ කරන්නේ කෙසේදැයි අවබෝධ කරගැනීමට නොහැකිවීම නිසාවෙන් ඔවුන් තනතුරුවලින් පහ කල යුතුය.

  • අපායට පාර

ආර්ථික ප‍්‍රතිපත්ති තීරණය වීම සම්බන්ධව ගත් විට අපාය වෙත මග වැටී තිබෙන්නේ යහපත් චේතනා තුලින් නොව මුල්‍ය ප‍්‍රාග්ධනයේ බලහත්කාරය මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුලූ ගෝලීය බලවතුන් මතවාදීව සිදු කොට තිබෙන බෙල්ල මුලින් හිර කිරීම ඔස්සේය. ශ‍්‍රී ලංකා ආණ්ඩුව විනිමය අනුපාත අර්බුදය විසදීම වෙනුවෙන් ආනයන සීමා කිරීම් පිලිබඳ සාකච්චා කලද දින කිහිපයකට කලින් රටින් පිටවූ ජාත්‍යනතර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් තවදුරටත් මතුරන ලද්දේ මුල්‍ය ශක්තිමත් කිරීමේ නාමයෙන් මුල්‍ය වෙළදපොල ලිබරකරණය කිරීම, නම්‍යශීලී විනිමය අනුපාතයක් ඇතිකිරීම, හා පටි තද කර ගැනීමේ යෝජනාවන්ය.
මේ අයවැය සමයයි. මේ කාලයේ අසන්නට ලැබෙන රාජ්‍ය වියදම් කපා හැරීම පිලිබඳ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පණිවිඩය අයවැය හිඟය හා ගෙවුම් ශේෂ හිඟය අතර වෙනස නරුම ලෙස පටලවමින් සිදු කරන්නකි. ශ‍්‍රී ලංකාවට බලාපාන ප‍්‍රශ්නය නම් එහි වත්මන් අයවැය හිඟයයි. සරල ලෙස දැක්වුවහොත් එය අපගේ භාහිර ගිණුමට අදාලවය. එනම් ආනයන හා විදේශ ණය පියවීම සඳහා අපට අපනයන හා අදාල ලැබීම් ප‍්‍රමාණවත්ද යන්නයි. අයවැය හිඟය ආණ්ඩු මුල්‍ය පිලිබඳව වන අතර ආණ්ඩුවට සිය වියදම් පියවීමට ප‍්‍රමාණවත් ආදායම් තිබේද යන්න එහිදී මුලික වේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා එහි සහායකයින් පහත දේවල් අතර වෙනස ඉතාමත් පහසුවෙන් මග හැරියේය. එනම් වර්තමාන ගිණුම් හිඟය ඉහල දමන ආණ්ඩුව විසින් ගන්නා ලද විදේශ ණය හා අයවැය හිඟය ඉහල දැමීමට හැකියාවක් ඇති ආණ්ඩුව විසින් ගන්නා ලද දේශීය ණයය. එහෙත් ආණ්ඩුව විසින් වෙළදාම කඩා වැටුණු තැන් හා ආර්ථික අර්බුද ඇති කාලය තුල ආර්ථිකය ප‍්‍රාණවත් කිරීම කල යුතුය. ඇත්ත වශයෙන්ම රුපියලේ අගය අවපාතය වීමෙන් වර්ධනය වූ කඩා වැටුණු ආර්ථික තත්වය හා ඉහල නගින ජීවන වියදම අනුව ආණ්ඩුව විසින් ආනයන සීමා කිරීම හා ආර්ථිකය ප‍්‍රාණවත් කිරීම හා අර්බුදයෙන් ගොඩ එම සඳහා දේශීය ආර්තිකයට උත්තේජක ලබා දීම හා සහන ලබා දීම කල යුතුවේ. එහෙත් ජාත්‍යනතර මුල්‍ය අරමුදල මගින් ග‍්‍රීසියට යෝජනා කරන ලද විනාශකාරී යෝජනාවන්ට සමානවම මීට ප‍්‍රතිවිරුද්ධ යෝජනාවන් ගෙන එයි. එනම් තවදුරටත් වෙළදපොල ලිබරල්කරණය කිරීම හා දේශීය ආයෝජනයන් සීමා කිරීමත්ය.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර ආධාර ආයතන හා නව ලිබරල්වාදී ආධාර නියෝජිතයන්ගෙන් සහාය ලත් දේශීය බුද්ධිමතුන්ට ඔවුනගේ තර්කය සඳහා හේතුවක් ඇත. ඔවුනට ආර්ථික වශයෙන් විඳවන ප‍්‍රජාව පිළිබඳ සැලකිල්ලක් නැත. ඇත්තවශයෙන්ම ඔවුන් ආණ්ඩුවේ ආර්ථිකමය දුර්වල අවස්තාවන් රාජ්‍ය තවදුරටත් හකුළුවා දමන රාජ්‍ය සේවාවන් කපා හැරීමට, පුද්ගලීකරණයට, හා ගෝලීය වෙළදපොල සමග සම්බන්ධ වීමට අදාල යෝජනා සඳහා භාවිත කරයි. මන්ද එමගින් තවදුරටත් ගෝලීය මුල්‍ය ප‍්‍රාග්ධනයට රට සුරාකෑමට විවෘත වේ.
  • විකල්ප සලකා බැලීම්
1980 ගණන්වල සිට දිග හැරුණු නව ලිබරල් ගෝලීයකරණය යනු ස්වභාවික හෝ නොවැලැක්විය හැකිව තිබුනු අනිවාර්ය ක‍්‍රියාවලියක් නොවේ. එය අති විශාල ගෝලීය දේශපාලන හා ආර්ථික බලයක් මගින් අනුබල ලැබූ ඉතාම සවිඥානික දෘෂ්ටිවාදීමය ව්‍යාපෘතියක් වූ අතර මේ ව්‍යාපෘතිය තුල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව ආදී ආයතන සංවර්ධනය වෙමින් තිබෙන රටවල ආර්ථිකයන් භාණ්ඩවල හා මූල්‍ය ප‍්‍රාග්ධනයේ නිදහස් ගමනය සදහා විවෘත කරන ලෙසට බලපෑම් සිදුකලේය. ස්වකීයිව්‍යුහමය ගැලපුම්’ වැඩසටහන්, එනම් නව ලිබරල් ආර්ථික ව්‍යුහාත්මක වෙනස්කම් රට තුල සිදුකිරීම වෙනුවෙන් ණය සහ මූල්‍ය සැපයීමේ වැඩසටහන් තුන්වල ලෝකයේ රටවල් මත පැටවීම සදහා මෙම ආයතන එම රටවල් මුහුණ දුන් ඉතාම දුෂ්කර ආර්ථික හා දේශපාලන අර්බුදයන් ප‍්‍රයෝජනයට ගත්හ. මෙම ව්‍යාපෘතිය අවසන් වී නැත. ශ‍්‍රී ලංකාව මුහුණ දී සිටින වත්මන් දුෂ්කර මොහොත යලි වටයකින් නිදහස් වෙලදපොල හා පුද්ගලිකකරණය සදහා වූ න්‍යාය පත‍්‍රය වඩාත් ඉදිරියට ගෙනයාම සදහා වූ අවස්ථාවක් ලෙස මෙම බලවේග විසින් සංජානනය කරනු ඇත.
දේශීය නිෂ්පාදනය ශක්තිමත් කිරීමේ දිශාවට ආර්ථිකය හරවමින් වෙලඳ හා මූල්‍ය ලිහිල්කරණ ක‍්‍රියාවලිය ආපසු හැරවීම මෙම සන්දර්භය තුල අත්‍යවශ්‍ය කරුණක් වී තිබේ. ආණ්ඩුවට අවසානයේ ආනයන සීමා කිරීමේ ක‍්‍රියාමාර්ග ගැනීමට බල කෙරී ඇත. මේ අවසාන අදියරේ දී වුව, රුපියල අවප‍්‍රමාණය වීමේ හේතුව ප‍්‍රාග්ධනය බටහිර රටවල මූල්‍ය කේන්ද්‍රයන් වෙත ආපසු ගලා යාම බව ආණ්ඩුවට වැටහී ගොස් ඇති බව පෙනෙන්නට තිබේ. ලංකාව තුල අංගසම්පූර්ණ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයක් තිබුණේ නම් තත්වය කොතරම් බරපතල වන්නට ඉඩ තිබුණේද? එවන් තත්වයක් වී නම් ඇති විය හැකිව තිබූ බරපතල මූල්‍ය ගලනය රුපියල අවප‍්‍රමාණය වීම මත කරන බලපෑම සිතා ගත නොහැකි තරම් දරුණු එකක් වීම වැලැක්විය නොහැක.
ආණ්ඩුව දූරදර්ශී විය යුතු අතර සිය වෙලද ලිහිල්කරණ න්‍යාය පත‍්‍රය එය විසින් හකුලා දැමිය යුතුය. ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය ඉදිකිරීම සදහා ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 300 ක ණය මුදලක් ලබා දී ඇති අතර ඉන් අපේක්ෂා කරන්නේ ප‍්‍රාග්ධන වෙලදපොල ප‍්‍රසාරණය කරමින් ලංකාව වඩාත් ගැඹුරින් ගෝලීය ප‍්‍රාග්ධන වෙලදපොල වෙත අවශෝෂණය කරගැනීමය. ආණ්ඩුව ප‍්‍රඥාවන්ත වන්නේ නම්, කල හැකි හොදම දෙය මෙම ණය මුදල එම ආයතනවලටම තියාගන්නට ඉඩ හැර අනාගතයේ දී ඇති විය හැකි වඩාත් බරපතල ආර්ථික අර්බුදයක් වෙත රට ගමන් කිරීම වලක්වාලීමය. 1997 ආසියානු ආර්ථික අර්බුදයෙන් ඉක්බිති මැලේසියානු අගමැති මහතීර් මොහොමඞ් කලේ එයයි.
බටහිර ප‍්‍රභූ තන්ත‍්‍රය කෙරෙහි දක්වන යටත්විජිත ගැති මනෝභාවය විදහා දක්වමින් සෑම විටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව දෙන උපදෙස් මහත් ප‍්‍රහර්ෂයකින් හා භක්තියකින් යුක්තව පිලිගන්නා අපගේ පර්යේෂණ ආයතන සහ ආර්ථික විද්‍යාඥයින් හා හාවඞ් වල සිට වරින් වර මෙහෙ යන එන ඊනියා උපදේශකයින් ආදීන් ( මේ උපදේශකයින් ගෝලීය මූල්‍ය ප‍්‍රාග්ධනය හා සමානය. එක්වරම පැමිණ එක්වරම නික්ම යති ) මත යැපෙන්නේ නැතිව අප අපගේ ආර්ථිකය මුහුණ දී සිටින අර්බුදයෙන් එය ගලවා ගැනීම සදහා ඇවැසි කෙටි හා මධ්‍ය කාලීන විකල්පයන් ගැන කල්පනා කිරීම පටන් ගත යුතුය. විනිමය හුවමාරුව මත විශාල බද්දක් අය කරමින්, ගෝලීය විනිමය හුවමාරු වෙලදපොල තුල සිදුවන සමපේක්ෂණ කටයුතු හා උච්චාවචනයන් සීමා කිරීම පිලිබද අදහස් ඉදිරිපත් වී තිබේ. මෙම බද්දිටෝබින් බද්ද’ නමින් හැදින්වේ. ප‍්‍රාග්ධන ගලනය සහ ප‍්‍රති-ගලනය මත ඒ හා සමාන බද්දක් පැනවීම, ප‍්‍රාග්ධන ආදායම් බද්ද ඉහල දැමීම, තීරු බදු මාර්ගයෙන් ආනයන වඩාත් පාලනයට යටත් කිරීම ආදී ක‍්‍රියාමාර්ග මෙබදු අර්බුද මොහොතක අතිශයින් වැදගත්ය. මේ කිසිවක් කිරීමට පෙර මුලින්ම අප කල යුත්තේ නිදහස් වෙලදපොල මන්ත‍්‍රය ජප කරන පඩිවරුන්ගෙන් කට පියා ගෙන පැත්තකට වී සිටින ලෙස ඉල්ලා සිටීමය!

Comments

Popular posts from this blog

සිංහල ජාත්‍යානුරාගයේ ප්‍රතිරූප දෙකක් : ඉරාජ් වීරරත්න සහ එදිරිවීර සරච්චන්ද්‍ර

කෙටි විසඳුම් නැති ගෘහස්ථ ණය අර්බුදය

පුත්තලම රංගෙ බණ්ඩාර සහ වරකාපොල නාමල් කුමාර