ඉල් මහේ මල් යලි පිපේවා - වෙනස් හැඩයකින් පිපේවා!



| නජිත් ඉන්දික 

අද නොවැම්බර් 13 වෙනිදාය. රෝහණ විජේවීර සහෝදරයා ඝාතනය කර අද දිනට 29 වසරකි. මේ මොහොත වනවිට ජනතා විමුක්ති පෙරමුණේ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයන් ඉන් සංකේතවත් වන 88-89 අරගලය සිහිපත් කරමින් සැමරුම් උත්සව පවත්වමින් සිටී. එම පක්ෂයන් තුළ ක්‍රියාකාරී නොවන නමුත්, ජීවිතයේ කිසියම් කළක ජවිපෙ තුළින් දේශපාලනයේ මුල්පොත හැදෑරූ, එක් දිනක් හෝ ඒ තුළ ක්‍රියාකාරීවූ, පසුව ඉන් ඉවත්වී සිටින දසදහස් ගණන් පිරිසටද අද දිනය අමතක නොවනවා ඇත. එය තමන් දැරූ ප්‍රතිපත්ති පාවා දී විකුණා දැමූවුන්ට, වෙනත් ආකෘති තුළ දේශපාලනයේ නිරතවන්නන්ට මෙන්ම, තවමත් කොහේ හෝ සිට තමන් කලක් දැරූ ප්‍රතිපත්තිවල අවම සදාචාරය පවත්වා ගනිමින් ජීවත්වන්නන්ටද එකසේ අදාළය. (71 අරගලයට සම්බන්ද වූවන්ගේ සිට එවැනි මිනිසුන් සියගණනක් මුනගැසී ඇත.)

ඉතින් අද දිනය සුවිශේෂය. නමුත් "ඉල්මහේ මල් යළිත් දෙරණතේ මත පතන" මොහොතක මේ සටහන තබන්නේ ඒ පිළිබඳව නොවේ. ලංකාවේ වාමාංශයක් විසින් දේශපාලන බලය ලබාගැනීම සඳහා කළ අවසන් අරගලයෙන් වසර 29 ක් ගතවන මොහොතේ වැදගත් සාකච්ඡාවක් මතුකර ගැනීම සඳහායි. සාකච්ඡාව විවිධ මට්ටමෙන් මේ වනවිටත් ඇරඹී ඇත. ඒ ඊයේ දිනයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ සහෝදරයාගේ මාධ්‍ය සාකච්ඡාවත් සමගින්ය. පවතින ධනේශ්වර දේශපාලන රෙජීමයන් පැරදවීමට නම් ජනතා විමුක්ති පෙරමුණද ඇතුළත් පුළුල් වාමාංශික බලවේගයක් ගොඩනැඟිය යුතුබවද ඒ වෙනුවෙන් ආරාධනා කරන බවද වූ සඳහන ඔහුගේ ප්‍රකාශයේ සාරාංශයයි. එහි ආශ්වාදජනක කාරණය වන්නේ එම ප්‍රකාශයෙන් පසු මුහුණුපොතේ ඇවිලීයන සංවාදයයි. ජවිපෙ - පෙසප ක්‍රියාකාරීන්ගෙන් පමණක් නොව, ප්‍රගතිශීලී ලෙස අපි හඳුනාගත්තවුන් බොහෝදෙනෙක් - වෙනත් වාමාංශික කණ්ඩායම්, තනි තනි ක්‍රියාධරයන්, ප්‍රගතිශීලී තරුණ මාධ්‍යවේදීන් මෙන්ම මාගේ මිතුරු ලැයිස්තුවේ සිටින බහුතරයක් වන වර්තමාන හා අතීත ශිෂ්‍ය ක්‍රියාකාරීන් ඉන් විශාල ආශ්වාදයකට, බලාපොරොත්තු සහගතභාවයකට පත්ව ඇත. කවියන් කවි ලිවීමට පටන්ගෙන ඇත. 

එමෙන්ම එම පක්ෂ දෙකෙහි ඇතැම් ක්‍රියාකාරීන් මෙන්ම, විශේෂයෙන් පසුගිය කාලයක් තිස්සේ එජාපය හා එහි නවලිබරල් වෙළඳපොල ආර්ථික සැලැස්ම රැඩිකල් සුජාතකරණයකට ලක්කිරීමේ නිරතවන පිරිස් මෙම අදහස හෙළා දැකීමට හා කිච කිරීමටද පටන්ගෙන් ඇත. කෙසේ නමුත් දේශපාලන අදහසක් ප්‍රකාශ කරමින් සිටි සියල්ලන්ටම පාහේ මේ මොහොතේ ගතවන මෛත්‍රී-මහින්ද-රනිල්-ව්‍යවස්ථා-ශ්‍රේෂ්ඨාධිකරණ කතාවෙන් ඔබ්බට ගොස් මේ මාතෘකාව පිළිබඳ සංවේදී වීමට සිදුව තිබෙන බව පෙනේ. වසර තුනකට පෙර "අක්ෂය සාමූහිකය" ආරම්භ කරන මොහොතේ පටන් ලංකාව සම්බන්ධ දේශපාලන ඉදිරිගමන "පුළුල් වාම හා ප්‍රගතිශීලී පෙරමුණක්" හරහා ඉදිරියට ගෙන යා යුතුය යන අදහස සහිතව කටයුතු කළ කුඩා කණ්ඩායමක් වන අපහට මෙය ඉතාම ආශ්වාදජනක මොහොතක් බව කිව යුතුය. ඒ ජයගොඩ සහෝදරයාගේ ප්‍රකාශය සම්බන්ද ක්‍රියාදාමය හෙට දිනයේ කෙසේ තීරණය වූවත්, මෙම කැළඹීමෙන් පැහැදිලිවන ඒ දේශපාලන අවශ්‍යතාවය පිළිබඳ අප පූර්ණ විශ්වාසයක් හා බලාපොරොත්තුවක් තබන බැවිනි.

මෙම දේශපාලන තත්වය තුළ "දීර්ඝ කාලීන, පුළුල් වාම හා ප්‍රගතිශීලී පෙරමුණක/සන්ධානයක" අවශ්‍යතාවය හා අභියෝග පිළිබඳව සාරාංශික සටහනක් තැබීම මෙම ලියවිල්ලේ අරමුණයි. එබැවින් මේ මොහොතේ මතුව ඇති "රජගෙදර අර්බුද" කොටස විස්තර කිරීමට මෙහි විශාල ඉඩක් වෙන්කරන්නේ නැත. ඒ හේතු දෙකක් නිසාවෙනි.

01. දේශපාලනය සම්බන්ධයෙන් උනන්දු බොහෝ දෙනා ඒ පිළිබඳව පසුගිය සතිදෙක තුළ පුවත් හඹායමින් බොහෝ දේ දැනගෙන ඇති නිසාවෙන් ඒ ගැන දීර්ඝ විස්තරයක් අනවශ්‍යය යැයි හැඟීයාම.

02. මෙම යෝජනාව මේ නිශ්චිත දේශපාලන මොහොතට පමණක් ගලපන අන්තර්කාලීන විසඳුමක් නොව, දීර්ඝකාලීන ක්‍රියාවලියක්ය යන්න අවධාරණය කළ යුතු වීම.

එදා "ඉල්මහේ විරුවන්" දිවිදුන් අරගලයේ අවසාන අරමුණ වූයේ සමාජවාදී රාජ්‍යයක් ගොඩනැඟීම බව අපි දනිමු. එහි ක්‍රියාකාරීත්වය විසින්ම ඇතිකළ න්‍යායික, ප්‍රායෝගික ගැටළු පෙන්වා එය එසේ නොවන බව නඟන ප්‍රකාශ නිවැරදි නැත. දේශප්‍රේමී අරගලයක් තුළදි දිවිපිදූ ඒ මිනිසුන්ගේ මූලික බලාපොරොත්තුව වූයේ "සමාජවාදි විප්ලවයක්" නොවේය යන්න අතිශය සාවද්‍ය හා නොගැඹුරු අදහසකි. ඒ එක් යුගයකි. ඒ ලෝක ඉතිහාසයේ එක් යුගයක වාමාංශිකයන් රාජ්‍ය බලය ලබාගැනීම උදෙසා අරගල කළ ආකාරයකි. එමෙන්ම එම අරගල මාදිලියේ තාර්කික අවසානය කොතැනද යන්නද පැහැදිලි කරන්නකි. ඒ සෝවියට් දේශය ප්‍රමුඛ "සමාජවාදී කඳවුර" බිඳ වැටීමට පෙර යුගයයි. 

වම රාජ්‍ය බලය පිළිබඳව සාර්ථක වූයේ කෙසේද?

වැඩිදුරටත් තව තවත් බෙදා දැක්විය හැකි නමුත් වාමාංශයේ ආරම්භයේ සිට අද මේ මොහොත දක්වා ලෝක ඉතිහාසය තුළ සමාජ ආර්ථික වර්ධනයන්ට සාපේක්ශව වාමාංශයේ "සාර්ථක" අරගල මාදිලි 02 කට බෙදා දැක්විය හැකිය. මෙහි "සාර්ථක" යනුවෙන් අදහස් කරන්නේ, තම ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීමට හැකිවන ලෙස රාජ්‍ය පාලන බලය ලබාගැනීමයි.

එනම් බලපෑම් කණඩායම් වලින් ඔබ්බට ගොස් වම රාජ්‍ය බලය ලබාගන්නා තෙක් දිනවීමයි. එනම් අපගේ දේශපාලනයේ අසීරුම හා ප්‍රධානම අරමුණ සාර්ථක කරගැනීමයි.

ඉන් පළමුවැන්න ලෙස 1917 සෝවියට් විප්ලවයෙන් ආරම්භවූ ලෙනින්වාදී ආකෘතිය දැක්විය හැකිය. එනම් සංවිධිත, මධ්‍යගත කේඩරයකින් යුත් පක්ෂයක මෙහෙයවීමෙන් සිදුකළ අරගල මාදිලියයි. මෙම මාදිලියේ වඩාත් සුමට හා ප්‍රජාතන්ත්‍රවාදී උදාහරණය ලෙස දැක්විය හැක්කේද සෝවියට් විප්ලවයයි. මධ්‍යගත පක්ෂ ආකෘතිය තුළ වුවද පසුකාලීනව ගොඩ නැගුණු පක්ෂ ආකෘතියට වඩා පුළුල්, කණඩායම් දැරීමේ අයිතීන්, සැබෑ නියෝජිත සමුළු ආදියෙන් යුත් ආකෘතියක් සහිත පක්ෂයකින් සෝවියට් සභා නැමති කම්කරු, ගොවි, සෙබළ - ජනතා සභා වලට රාජ්‍ය බලය ලබා ගැනීම මෙහි ආරම්භක හා මූලික අරමුණ විය. (වර්තමානයේ පවා ජවිපෙ-පෙසප වැනි පක්ෂ ට්‍රොට්ස්කිවාදී පක්ෂ ආකෘති ලෙස හෙළා දකින්නේ සෝවියට් විප්ලවය සමයේ බොල්ෂෙවික් පක්ෂයේ තිබූ එම සංවිධාන ආකෘතියයි.) පසුකාලීනව ස්ටාලින්-මාවෝ හරහා පැමිණ ඒ ඒ රටවල නායකයන්ගේ සංස්කෘතික ලක්ෂණ හා උරුමයන්ටද අනුරූපී ලෙස වෙනස් වූ පක්ෂ ආකෘතියකි අපි අද "ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගතකරණය" ලෙස හඳුන්වන්නේ. මෙම අරගල මාදිලිය තුළ සෝවියට් දේශය, චීනය, කියුබාව ආදී රටවල රාජ්‍ය බලය වාමාංශිකයන් විසින් සාර්ථකව ලබාගන්නා ලදී. එහි ගැටළුව ඉන්පසු පාලනය තුළදී තහවුරු වූ අයුරු අපි මීට පෙර ලිපිවලින් ඇතිතරම් සාකච්ඡා කර ඇත!

ලංකාවේ එදා ඉල්විරුවන් සිදුකළ 88-89 අරගලය අසාර්ථක වෙද්දී, මෙම මාදිලියේ අවසන් "සාර්ථක" උත්සාහය ලෙස හැඳින්විය හැක්කේ 1979 සිදුකළ ඇෆ්ගනිස්ථානු විප්ලවයයි. සෝවියට් විප්ලවය හා ඇෆ්ගන් විප්ලවය සංසන්දනාත්මකව විමසා බැලීමෙන් එසේ සියල්ලට ඉහළින්, සියල්ල දකිමින්, සියල්ලට පෙර ක්‍රියාකරන "ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගත පක්ෂයක" ස්ටාලින්වාදී ගමනක සාර්ථකත්වයේ තාර්කික අවසානය හඳුනා ගත හැකිය. ජනතාසභා වර්ධනය කර ඒවාට බලය ලබාගැනීමට ආරාධනා කිරීමේ සිට, සෝවියට් හමුදා ආක්‍රමණයක් තුළින්, එම ආක්‍රමණික හමුදාව සියරටෙහි රඳවාතබා ගනිමින් ජනතා විරෝධය මධ්‍යයේ පාලනය ගෙන යාම දක්වා එය විකසනය විය. ඒ එම ආකෘතියෙන් වම රාජ්‍ය බලය ලබාගත් අවසාන අවස්ථාවයි.

ඉන්පසු එළඹෙන්නේ "සමාජවාදී කඳවුර" බිඳවැටී "ඉතිහාසයේ අවසානය" ලියවුනු දශක දෙකකි. එහිදී ලෝක පරිමාණයෙන්ම විවිධ ගුරුකුලවල වාමාංශිකයන්ට සිදුකළ හැකිවූයේ නොනැසී පැවතීමයි. 

නව වාම ප්‍රවණතාවය 

වමේ, සමාජවාදයේ යුගය අවසන්ය යන කුප්‍රකට මතය නැවතත් අභියෝගයට ලක්වන්නේ වඩාත් දියුණු යැයි සම්මත යුරෝපයෙනි. ඒ 2008 වසරේ ලෝක ආර්ථික අර්බුදයේ අරුණළු වැටුනු දකුණු යුරෝපීය රටවලින් ඇරඹුනු නව මාදිලියක්ද සමඟයි. එහි සුප්‍රකට උදාහරණය ග්‍රීසීයේ "සයිරීසා" ව්‍යාපාරයයි. දශක තුනකට පසු ලෝකයේ වාමාංශිකයන් රාජ්‍යයක පාලන බලය ලබාගැනිමේ අත්දැකීමක් අපිට හමුවන්නේ මෙතැනිනි. 

එමෙන්ම අද දවසේ අප අතිශයින් උනන්දුවන, බලාපොරොත්තු සහගත වන අරගල මාදිලිය ලෙසද මෙය හැඳින්විය හැකියි. සෑම රටකම මෙන් පරාජිතව හා විවිධ ගුරුකුල ඔස්සේ කැබලි ගණනාවකට කැඩී තිබූ ග්‍රීසියේ දුර්වල වමේ පක්ෂයන් කාලයක් තිස්සේ පොදු දේපල පුද්ගලීකරණයට එරෙහි වීම, යුරෝපා සංගමයේ මූල්‍ය අධිකාරීත්වයට එරෙහිවීම මෙන්ම ඊට පෙර යුගයේ කොසෝවෝ යුද්ධය සම්බන්දයෙන් ක්‍රියාකාරී වීම වැනි අත්දැකීම් හරහා ක්‍රමානුකූලව මැතිවරණ සන්ධානයන්ට ඇතුළ්වීම ආරම්භ වන්නේ 2002 වර්ෂයේදීයි.

2004 වර්ෂය වනවිට "අපි මෙම පිටුව පෙරළන්නෙමු"(we turn the page!) යන තේමාව යටතේ සයිරීසා (Syriza) ව්‍යාපාරය ගොඩනැඟෙන අතර පාර්ලිමේන්තු ආසන හිමිවන්නේ 06 ක් පමණි. එයද සන්ධානයේ ප්‍රධාන පක්ෂය වූ SYN හට හිමිවීමෙන් විශාල අර්බුදයකට ආරම්බයේම මැදිවේ. සයිරීසා ව්‍යාපාරයේ ගමන්මඟම යනු තබන සෑම පියවරක් පාසාම අඩසියවසකට ආසන්න කාලයක පසමිතුරුතා සහිත බලවේග පොදු වාම සටන් පාඨයන් දිනවීම වෙනුවෙන් ක්‍රියාකාරී වූ ආකාරය පෙන්වන්නකි. පසුව මැතිවරණ හා දසදහස් ගණන් ජනතා උද්ඝෝෂණ හරහා ගොස් 2015 වන විට සියවසක් පැවති ද්වීපක්ෂ ක්‍රමය අවසන් කර ආසන 149 ක් ලබාගෙන ආණ්ඩුවක් පිහිටුවීමට ඔවුන් සමත්වේ. ජාත්‍යන්තර මූල්‍ය අධිකාරීන්ගේ ගෙල සිරකිරීම් හමුවේ දැවැන්ත පීඩනයකට ලක්වන ඔවුන්ට තමන් ලබාදුන් ජනතා පොරොන්දු ඉටුකළ නොහැකි අවස්ථාවකට පත්වී කෙටි කලකින් ආණ්ඩුව විසිරුවා දැමීමට සිදුවන නමුත්, නැවතත් ඔවුන් ජයග්‍රහණය කරන්නේ ප්‍රධාන ධනේශ්වර පක්ෂ ඉවතට වීසි කරමිනි. එහි අර්ථය වූයේ තහවුරු කරන ලද විශ්වාසයක් හා බලාපොරොත්තුවක් තුළින් බහුතරයක් වූ සමාජයේ පහළමාලයේ ජනතාව පැවති නවලිබරල් පාලක තන්ත්‍රයන්ට එරෙහිව නව වාමාංශික තරුණ බලවේගයක් පිළිබඳව විශ්වාසය තැබීමයි. ග්‍රීසියේ අරගලය තවමත් ක්‍රියාත්මකය. 1990 න් පසු ධනේශ්වර ද්වීපක්ෂ ක්‍රමය පරදවා වාමාංශික පාලනයක් වසර 03 ක් මුළුල්ලේ ක්‍රියාත්මක වේ. ඒ අසීරු හා අභියෝගාත්මක නව පියවරක් විසින් වම ඔසවා තැබූ ස්ථානයයි.

ග්‍රීසිය වැනි රටවල මෙම නවප්‍රවණතාවය වර්ධනය වන්නේ, ඔවුන්ගේ වාමාංශිකයන්ගේ සාමූහික බලය මෙම ක්‍රියාදාමයන් ආරම්භයේදි ලංකාවටත් වඩා පහත මට්ටමක තිබෙන තත්වයක් තුළ බව සඳහන් කිරීම නිවැරදිය.

ග්‍රීසියේ පමණක් නොව 2014 දී ආරම්භ කළ ස්පාඤ්ඤයේ "පොදෙමෝස්"(Podemos) ව්‍යාපාරය, 2007 දී ආරම්භකළ ජර්මනියේ "ඩී ලින්ක්"(Die linke) පක්ෂය, එක්සත් ජනපද ජනාධිපතිවරණයේ මූලික වටයේදී ඩිමොක්‍රටික් අපේක්ෂක බර්නි සැන්ඩර්ස්(Berni Saunders) වටා ගොඩනැඟුනු - අදටත් ශක්තිමත් වන ජනතා ව්‍යාපාරය, බ්‍රිතාන්‍යයේ ලේබර් පක්ෂයේ නායකත්වය වාමාංශික ක්‍රියාධරයෙකු වූ ජෙරමි කෝබින්(Jerramy Cobin) විසින් ජයග්‍රහණය කිරීමෙන් පසු, පසුගිය වසර 02 තුළ ඔවුන්ගේ ගමන් මඟ හා ඒ වටා ගොඩනැඟී ඇති බ්‍රිතාන්‍ය ඉතිහාසයේ පුළුල්තම වාමාංශික සංධානය මීට ඇති උදාහරණ කිහිපයක් පමණි. 

අධ්‍යාපනය, සෞඛ්‍යය ආදිය විකිණීම, සුභසාධන අහිමි කිරීම ආදිය නව ලෝක ක්‍රමය ලෙස මුසා ඇදබාන ප්‍රසිද්ධ මාධ්‍යයන්, ලිබරල් වෙළඳපොළ උත්කර්ශයට නංවන තක්කඩියන් පමණක් නොව, අපගේ ප්‍රධාන වාමාංශික පක්ෂ පවා බරපතලව මෙතෙක් සැලකිල්ලට නොගත් වත්මන් "නව වාම යතාර්ථය" ලෙස මෙය හැඳින්විය හැකිය. 

ලංකාවේ වාමාංශයට මේ පිළිබඳව ඇති උදාසීනත්වය 

එදා සෝවියට් විප්ලවය සිදුවූ විගස ලොව පුරා රටවල වාමාශිකයන් ඒ අත්දැකීම ඔස්සේ යමින් "කොමියුනිස්ට් පක්ෂ" බිහිකිරීමත්, ඒ අරගල මාදිලියෙන් තමන්ගේ රටවලද ජයග්‍රහණ අත්පත් කරගැනීමට උත්සාහ කිරීමත් දැකිය හැකිවිය. ලංකා සමසමාජ පක්ෂයේ, ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ ආරම්භක ඉතිහාසය යනු එයයි. එහිම වඩාත් ආකර්ශනීය කියුබානු විප්ලවයෙන් පසු එදා අපරටවල තරුණ වාමාංශිකයන් තිබූ පක්ෂය ආකෘති වලින් ඉවතට පැමිණ, එසේ දිවිහිමියෙන් කැරලි ගැසීම ප්‍රායෝගිකව සිදුකිරීමට උත්සාහ කළහ. ලංකාවේ 71 අරගලය, ඉන්දියාවේ නක්සලයිට් ව්‍යාපාරය හා ඉන් බිහිවුණු ඉන්දීය මාක්ස්ලෙනින්වාදී කොමියුනිස්ට් පක්ෂය(ලංකාවේදී ජවිපෙට සමඟාමීව) යනු එයයි.

තත්වයන් එසේ තිබියදී මේ මොහොතේ ලෝක වාමාංශිකයන්ගේ සාර්ථක අරගලයන්ට සාපේක්ෂව අපගේ ප්‍රධාන වාමාංශික පක්ෂ මෙතරම් උදාසීන වන්නේ ඇයි? අපට සිතෙනා ආකාරයට නම් තවමත් අර 1990 දශකයේ ඛේදවාචකයක්ව අවසන් වූ පළමු අරගල මාදිලිය තුළ ඔවුන් බොහෝ දුරට සිරවී සිටියි. "විප්ලවය" යන්න බොහොම කර්කශක හා පරිපූර්ණ, සෝවියට් විප්ලවය යන්නක් බවට වූ අදහසයි අපගෙන් බහුතරයක් තුළ තවමත් දැන හෝ නොදැන ක්‍රියාත්මක වන්නේ. පසුගිය වසරවල ලෝක වාමාංශයේ වර්ධනයන් "ප්‍රතිසංස්කරණවාදය" වැනි වචන තුළට සිරකිරීමට කැමැත්තක් දක්වන ඔවුන්, අන්න එතැනදී කිසිදා නොකළ ලෙස අන්තවාදී වාම කණඩායමක් වන "සමාජවාදී සමානතා පක්ෂයේ" වෙබ් අඩවියෙන් ලෝක දේශපාලනය උගෙනීම සිදුකරයි. ඔවුන් හා සමපාතවෙයි. පසුගිය ඉතිහාසයේම විවිධ හේතූන් හමුවේ ධනේශ්වර පක්ෂ සමඟ සම්මුතීන්ට පැමිණුන නමුත්, ඒවා "උපක්‍රමික ක්‍රියාමාර්ග" ලෙස තම සාමාජිකයන්ට සහ ජනතාවට පවසන අතරම, ඉහත සඳහන් කළ වාමාංශික මූලධාර්මික සටන්පාඨ මත ගොඩනැඟුනු නව වාම ලෝක ප්‍රවණතාවයන් සිනාසී බැහැර කරයි. ඔවුන්ගේ මෙම හැසිරීම ඉතාමත් දෙබිඩිසහගත සහ ස්වයංවිනාශකාරී එකකි. පසුගිය වසර දෙක පුරාවටම එම ලෝක ප්‍රවණතා පිළිබඳ ජවිපෙ හා පෙසප පළ කළ අදහස් නිරීක්ෂණය කිරීමෙන් මෙය පැහැදිලි කරගත හැකිය.

අප වටහා ගත යුත්තේ ආර්ථික අර්බුදයන් උත්සන්න වී ධනේශ්වර ක්‍රමය ලෝක මට්ටමෙන්ම සිරවී, එහි පීඩනය සමාජයේ පහතමාලයේ ජනතාව වෙත පටවමින් සිටින මොහොතක, වම ජයග්‍රහණය කරවන්නේ කෙසේද යන්නයි. ඉතිහාසයේ පෙර නොවූ විරූ "මාළිගා කුමන්ත්‍රණ" සිදුවන්නේත්, ධනේශවර පක්ෂ ඊට අනුරූපීව නැටවෙන්නේත්, චීනය හා බටහිර කඳවුර අතර බල අර්බුදයකට අපව සෘජුව ඇද දමා තිබෙන්නේත් අහම්බයකින් නොවේ. "ධනවාදයේ අර්බුදය තීව්‍රවීම" යනුවෙන් මින් එහා අමුතු දෙයක් සිදුවීමට නියමිත නැත. මේ එළඹී තිබෙන්නේ එයයි. ගැටළුව ඇත්තේ ජනතාවගේ නොව, වාමාංශිකයන්ගේ බව අපි දැඩිව විශ්වාස කරන්නෙමු.

අප මේ සිටින්නේ 90 දශකයේ මෙන් තවදුරටත් වාමාංශයේ පැවත්ම පිළිබඳ ගැටළුවක් අබිමුව නොවේ. නමුත් මේ අවස්ථා මඟහැරියහොත් නියත වශයෙන්ම වාමාංශිකයන් ලෙස අපි සියළු දෙනාගේම පැවැත්ම පවා අර්බුදයට යන අතර විකල්පය ලෙස අන්ත දක්ෂිණාංශික, ජාතිවාදී ම්ලේචත්වයක් පත්වීමට පාරකැපීමක්ද වනු ඇත. එය මෛත්‍රී-මහින්ද පුටු පෙරළීමට වඩා බිහිසුණු දෙයක් වීමටද නියමිතය. ඒ ඉතිහාසයට උත්තර බැඳීමේදී "පෙසපෙන් අපේ කාර්‍යාලේ කම්පියුටරේ අරන් ගියා, ෆාම් එකේ ඌරො අරන් ගියා", "ජවිපෙන් අපිට ගැහුවා, අන්තරේ ඇතුළේ මෙහෙම ගේම් දුන්නා, අපි කොහොමද අවංකව එකට වැඩ කරන්නේ" වැනි උත්තර අදාළ නොවනු ඇත. එම ගැටළු ගැන අත්දැකීම් අපටද ඇති නමුත්, මහා අර්බුදය ඉදිරියේ ඒවා නොගිනිය හැකි තරම් කුඩා වන අතර, ඒවාද විසඳෙනුයේ ඒකාබද්ධ ඉදිරිගමනක් තුළ බව විශ්වාස කරන්නෙමු.

වැදගත්ම දේ වන්නේ විකල්පයක් අවශ්‍ය වී සිටින, නමුත් "පුරුද්දෙන්" දේශපාලනය කරන - චන්දය ප්‍රකාශ කරන ජනතාවකට, එම පුරුදු බිඳගැනීමට හැකිමට්ටමේ අවශ්‍ය තරම් විශ්වාසයක් - බලාපොරොත්තුවක් සැපයීමයි. මෙය සංකීර්ණ, අසිරු, දීර්ඝ කාලීන ක්‍රියාවලියක් වන අතර බොහෝ විට එදා ඉල්මහේ විරුවන් වධකාගාර තුළ මුහුණපෑ කටුකත්වයට සමාන වූ මානසික පීඩනයක් හා කටුකත්වයක් සහිත ක්‍රියාවලියක්ද වීමට නියමිතය. එනම් මෙය මීට පෙර ජවිපෙ විසින් කළාක් මෙන් සහ, 2015 දී පෙසප කළාක් මෙන් මැතිවරණ පහු කිරීමේ ක්‍රියාමාර්ගයක් නොවේය යන්නයි. එය සාර්ථක වීමට නම් ඊට වඩා දීර්ඝ කාලීන, සැලසුම් සහගත සහ කැපවුණු ක්‍රියාවලියක් විය යුතුවේ.

අවසාන වශයෙන් කිව යුත්තේ, උද්ඝෝෂණ හා මැතිවරණ පෙරමුණු වල සිදුකරන මෙවැනි දීර්ඝ කාලීන අරගලයක ප්‍රතිඵල ලැබෙනුයේ 1+1+1=3 ක්‍රමයට නොවේය යන්නයි. එය දුෂ්ට හා නොමඟ යවනසුළු ප්‍රකාශයකි. ජවිපෙ චන්ද ලක්ෂ 5 ත් පෙසප චන්ද 9000 ත් අනෙක් වාමාංශික පක්ෂ කණ්ඩායම් වලට ඇති චන්ද 1000, 500, 100, 50 ආදීන්ගේ එකතුවකින් නොවේය මෙය තීරණය වන්නේ. එය එසේ කිවහැකිනම් දේශපාලනයක් සහ සමාජ විද්‍යාවක් අවශ්‍ය නැත. 

අප පළමුව මෙම විශ්වාසය ගොඩනැඟීමේ ආරම්භක පියවර තැබුවහොත් අංක ගණිතයේ සහ සමාජ චලිතයක ඇති වෙනස පිළිබඳ සජීවී උදාහරණයක් එම ඇම්බැට්ටයින්ට පෙන්වීමට අපට හැකිවනු ඇත.







Comments

Popular posts from this blog

සිංහල ජාත්‍යානුරාගයේ ප්‍රතිරූප දෙකක් : ඉරාජ් වීරරත්න සහ එදිරිවීර සරච්චන්ද්‍ර

කෙටි විසඳුම් නැති ගෘහස්ථ ණය අර්බුදය

පුත්තලම රංගෙ බණ්ඩාර සහ වරකාපොල නාමල් කුමාර