රාජපක්ෂගේ පුනරාගමනය සහ අප ඉදිරියේ ඇති අභියෝග




| අහිලන් කදිරගාමර්

සුගිය දින කිහිපය තුල අපට දක්නට ලැබුණු මහින්ද රාජපක්ෂ පාර්ශවය විසින් කල බලය ඩැහැගැනීම 2015 ජනාධිපතිවරණය හා ඉක්බිති පාර්ලිමේන්තු මැතිවරණය පරාජය වීමෙන් පසු, නැවත බලයට ඒම සදහා ඔහු විසින් සංවිධානය කල සැලැස්මක කූටප්‍රාප්තිය ලෙස අපට හදුනාගත හැක. මේ සැලැස්මේ උපායමාර්ගය වූයේ සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුවේ කටයුතු බාධාවට ලක්කරමින් ජනයා සංවිධානය කිරීම හා මැතිවරණ මගින් සිය බලය ගොඩනගා ගැනීමය. මේ වර්ෂයේ පෙබරවාරි මාසයේ පැවැති පලාත් පාලන ඡන්දය ජය ගැනීම එම උපායමාර්ගික සැලැස්මේ වැදගත් ජයග්‍රහණයක් වූයේය.

රාජපක්ෂගේ මෙම උපායමාර්ගය සාර්ථක වීම කෙරෙහි සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුවේ දුබලකම බලපෑවේය. එම දුබලකම විසින් ඇති කල අස්ථීර දේශපාලන වාතාවරණය රාජපක්ෂගේ ප්‍රහාරය සදහා පහසු ඉලක්කයක් විය. 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණය කාලයේ සිටම යහපාලන හවුල් ආණ්ඩුව මහජනයා වෙත ලබා දුන් පොරොන්දු නොතකා හරින ආකාරය දක්නට ලැබුණේය.

පසුගිය අවුරුදු හතරක කාලය තුල අප දැක්කේ, රාජපක්ෂ රෙජිමය විසින් ආරම්භ කල වෙලද සහ මූල්‍ය ලිහිල්කරණ ප්‍රතිපත්තීන් යහපාලන රජය විසින් ද පවත්වාගෙන යන ආකාරයයි. මෙම ප්‍රතිපත්තීන් විසින් ජාතික ආර්ථිකය මෙන්ම වැඩ කරන ජනකොටස්වල ජීවිතය ද අසීරු හා අනිශ්චිත තත්වයට ඇද දැම්මේය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය ආදී ක්‍රියාමාර්ග මගින් රාජ්‍යයේ සහ සමාජයේ ප්‍රජාතාන්ත්‍රීය පදනම් ශක්තිමත් කිරීම වෙනුවට සිදු වූ වික්‍රමසිංගේ එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේන පාර්ශවය අතර වූ කඹ ඇදීම විසින් දේශපාලන වශයෙන් අස්ථාවර තත්වයක් ඇති කරන ලදී.

රට මුහුණ දී සිටින වත්මන් අර්බුදය සංයුක්ත වී තිබෙන දේශපාලන අස්ථාවරත්වය සහ ආර්ථික ප්‍රශ්න බහුවිධ පැතිකඩවලින් යුක්තය. මෙම ලිපිය තුල එබදු පැතිකඩ තුනක්, එනම් ප්‍රජාතාන්ත්‍රීය අවකාශය හැකිලී යාමේ අභියෝගය, ජනවාර්ගික සම්බන්ධතා ධ්‍රැවීකරණය වීම සහ ආර්ථික අස්වාමීකරණය යන ප්‍රශ්න ආමන්ත්‍රණය කිරීමට මම අපේක්ෂා කරමි.

ප්‍රජාතාන්ත්‍රීය අවකාශය

සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුව ගැන අපට තිබෙන සියලු විවේචන තිබියදී 2015 සිට මේ දක්වා වූ කාලය දෙස බලන විට එම කාලය තුල දක්නට ලැබුණු, ප්‍රතික්ෂේප කල නොහැකි ලක්ෂණය වූයේ ප්‍රජාතාන්ත්‍රීය අවකාශයේ සිදු වූ ප්‍රකටව පෙනෙන පුලුල් වීමය. දශක ගණනාවක යුද්ධය සහ යුද්ධය නිමාවූ ඉක්බිති ඇති වූ අධිකාරිවාදී රාජපක්ෂ පාලනය තුල ප්‍රකාශනයේ සහ සමාගමයේ නිදහස බරපතල ලෙස හැකිලිණ. විරෝධතා දරුණු ලෙස මැඩපැවැත්විණ. විසම්මුතිය නිහඩ කෙරිණ. ජනමාධ්‍ය පහරදීම්වලට ගොදුරු විය. මේ සියල්ල විසින් භීතිය රජයන පරිසරයක් දේශපාලනය තුල ඇති කලේය. සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩු කාලය තුල ශිෂ්‍ය සහ වෘත්තීය සමිති විරෝධතා සමග දරුණු ලෙස අභිමුඛ වීමට එම ආණ්ඩුව කටයුතු කල නමුදු නීත්‍යනුකූල නොවන මාර්ගවලින් කරනු ලබන මර්දන කටයුතුවල අඩුවක් සැලකිය යුතු මට්ටමකින් එම කාලය තුල දක්නට ලැබුණි.

ප්‍රජාතාන්ත්‍රීය අවකාශය ලෙස මා මෙහිදී හදුන්වන්නේ  සමාජ අරගල සහ උද්ඝෝෂණ ඇතුලු, මහජනයාගේ සක්‍රීය දේශපාලන සහභාගීත්වය සහ ක්‍රියාකාරීත්වය සදහා පහසුකම් සලසන හා එබදු ක්‍රියාකාරකම් බලගන්වන දේශපාලන පරිසරයයි. උතුරු නැගෙනහිර පලාත්වලට අදාලව ගත්විට, 2015 ජනවාරි මාසයෙන් ඉක්බිති දක්නට ලැබුණු ප්‍රජාතාන්ත්‍රීය අවකාශයේ පුලුල් වීම එම පලාත්වල ජනයාට දහවල සහ රාත්‍රිය අතර වෙනස තරම් කැපී පෙනෙන හා පැහැදිලි එකක් වූයේය. කුඩා රැස්වීමක දී වුව කථා කිරීම මහත් බියජනක දෙයක් බවට පත්කොට තිබුණු මිලිටරිවාදී ඔත්තු බැලීම්වලින් යුක්ත මර්දනීය පරිසරය නාටකීය ලෙස වෙනස් වූ අතර විවිධ සමාජ ප්‍රශ්න මත පැනනැගෙන උද්ඝෝෂණ සහ විරෝධතා බහුල ලෙස පැන නැංගේය. ආණ්ඩුව මෙම උද්ඝෝෂණ විසින් මතු කල සමාජ ප්‍රශ්න ආමන්ත්‍රණය නොකල නමුදු, විරෝධය පෑමට තිබෙන අයිතිය පුලුල් වීම රටේ සුලු ජාතීන් තුල වූ ආරක්ෂාව හා ආත්ම ගෞරවය පිලිබද හැගීම ශක්තිමත් වීමෙහිලා දායක විය. දැන් අප ඉදිරියේ තිබෙන එක් ප්‍රශ්නයක් නම්, රාජපක්ෂ පාලනයේ නව යුගයක් විසින් මෙම ප්‍රජාතාන්ත්‍රීය අවකාශය හකුලා දමනු ඇද්ද යන්නය.

ජනවාර්ගික සම්බන්ධතා

රාජපක්ෂ පාලනය යටතේ මර්දනය එහි දරුණුම ස්වරූපයෙන් අත් විදින්නට සිදු වූයේ යුද ගැටුමින් පරිපීඩිත ප්‍රදේශවල ජීවත් වූ දෙමල ජනයාට සහ රට පුරා ජීවත් වූ මුස්ලිම් ජනයාටය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් මගින් ඇති කරන දේශපාලන විසදුමක අවශ්‍යතාව රාජපක්ෂවරුන් විසින් ප්‍රතික්ෂේප කලේ මහා පරිමාණ සංවර්ධනය මගින් සුලු ජාතීන්ගේ ප්‍රශ්නවලට විසදුම් ලැබෙනු ඇති බව කියමිනි. 18 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම මගින් රාජ්‍ය බලය විධායක ජනාධිපති අත තවදුරටත් සංකේන්ද්‍රණය කරගනු ලැබූ අතර, සිවිල් පරිපාලනය - විශේෂයෙන් යුද පීඩිත ප්‍රදේශවල සිවිල් පාලන කටයුතු හා පොදුවේ රටේ නාගරික සංවර්ධන කටයුතු හමුදා පාලනය යටතට ගැණින. පසු-යුද සන්දර්භයක් තුල ජාතීන් අතර සුහදතාවය වර්ධනය කරනු වෙනුවට රාජපක්ෂ රෙජිමයේ බලය ආරක්ෂා කරගැනීම සදහා ජාතීන් අතර විරසකභාවය සිතාමතා වර්ධනය කෙරිණ.

මේ අතර මුස්ලිම් ජනයාට එරෙහිව දෘෂ්ටිවාදී යුද්ධයක් දියත් කෙරුණේ ආර්ථික ප්‍රශ්නවල බිල්ල බවට මුස්ලිම් ප්‍රජාව පත්කරමිනි. මුස්ලිම් කඩ සාප්පු හා ව්‍යාපාරවලට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා රාජ්‍ය අනුග්‍රහය යටතේ සංවිධානය කෙරිණ. ගෝලීය හා කලාපීය ලෙස බලවත් ඉස්ලාම්-භීතිකාව ලංකාව තුල ද පතුරුවමින් ගෙන ගිය මේ ක්‍රියාවලිය මුස්ලිම් ජනයා මහත් අසරණ තත්වයකට සහ භීතියෙන් යුක්තව ජීවත් වන්නට සිදුවන තත්වයකට ඇද දැම්මේය. 2015 දී ඇති වූ ආණ්ඩු පෙරලිය විසින්, වාර්ගික සුලුතරයන්ගේ ප්‍රශ්න ප්‍රමාණවත් ලෙස ආමන්ත්‍රණය කරනු නොලැබූවද, මුස්ලිම් ජනයාට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසාන වීම සිදු නොවූවද අවම වශයෙන් ප්‍රතිපත්ති සම්පාදක තලයේ දී එබදු ප්‍රශ්න ආමන්ත්‍රණය කිරීමේ අවශ්‍යතාවය ගැන පිලිගැනීමක් විය.

නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට දැරූ උත්සාහය හා ප්‍රති-සන්ධානය සදහා ඇති කල විවිධ යාන්ත්‍රණයන් සංවාදය සදහා යම් පසුබිමක් සකස් කලේය. මේ සන්දර්භය තුල, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඇණ හිටීම, යුද සමය තුල සිදු වූ විවිධ අපරාධයන් ආමන්ත්‍රණය කිරීමේ ක්‍රියාවලිය නතර වීම හා වඩාත් මෑතක ඇති වූ මුස්ලිම් විරෝධී කෝලාහල ආදිය පසුගිය වසර දෙකක පමණ කාලය තුල වර්ධනය වෙමින් තිබෙන ජනවර්ගයන් අතර ධ්‍රැවීකරණය තීව්‍ර වීමේ ක්‍රියාවලියේ හේතුව මෙන්ම රෝග ලක්ෂණය ද නියෝජනය කරයි. රාජපක්ෂ විසින් මෙහෙයවන ලද ඒකාබද්ධ විපක්ෂය මෙම ධ්‍රැවීකරණය සදහා නොමද ලෙස ඉන්ධන සැපයීය. මේ අනුව මතු වන තාර්කික ප්‍රශ්නය මෙයයි. රාජපක්ෂ නැවත රාජ්‍ය බලය අත්පත් කරගතහොත්, ඔවුන් විසින් අනුයන භේදකාරී ජාතිකවාදී දේශපාලනය සුලු ජාතීන් මත කවර ප්‍රතිවිපාකයක් ඇති කරනු ඇද්ද? 

ආර්ථික ප්‍රශ්න

අප වර්තමානයේ මුහුණ දී සිටින දේශපාලන අර්බුදය පසුගිය මාස කිහිපයක කාලයක සිට අප මුහුණ පෑ ආර්ථික අර්බුදය හා අස්ථාවරත්වය සමග සමීපව බැදී තිබේ. කෙසේ වූවද එම ආර්ථික අස්ථාවරත්වය නැවත වරක් දශක කිහිපයක් තිස්සේ ලංකාව අනුගමනය කල ආර්ථික ගමන් මග සමග ගැට ගැසී තිබෙන්නකි. පුලුල් අර්ථයෙන් ගත් විට, සිරිසේන-වික්‍රමසිංහ රජය අනුගමනය කල ආර්ථික ප්‍රතිපත්තිය රාපක්ෂ ආණ්ඩුවේ ප්‍රතිපත්තියෙන් වෙනස් නැත. කොළඹ කේන්ද්‍රීය නාගරික සංවර්ධනය, ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයක් සදහා වූ සැලැස්ම, මූල්‍යකරණය වූ ස්වෛරීත්ව ණය ගැනීම්, චීන සහයෝගය මත ඇති කල මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සහ ඉන්දියාව ඇතුලු විවිධ රටවල් සමග ඇති කරගන්නා නිදහස් වෙලද ගිවිසුම් ආදී සියල්ල රාජපක්ෂ පාලනය යටතේ ආරම්භ කල ඒවා වෙති. මූල්‍යකරණය නිසා ණයගැතිභාවය වර්ධනය වීම, කෘෂිකර්ම හා ධීවර ක්ෂේත්‍ර නොසලකා හැරීම නිසා ප්‍රාදේශීය ජන ජීවිත විනාශ වී යෑම, සුලු පරිමාණ කර්මාන්ත නොතකා හැර විශාල පරිමාණ යටිතල පහසුකම් මත ආයෝජන අවධානය යෙදීම ආදී ප්‍රතිපත්තීන් විසින් වැඩ කරන ජනකොටස් අස්වාමීකරණයට ගොදුරු කොට ඇත. බොහෝ දෙනා විරැකියාවෙන් පෙලෙන අතර වැඩ කරන ජන කොටස්වල ආදායම්වල කිසිදු ඉහල යාමක් සිදු නොවී තිබෙන තතු යටතේ ජීවන වියදම ඉහල යමින් තිබේ.

යහපාලන ආණ්ඩුව මෙන්ම රාජපක්ෂ ආණ්ඩුව ද මැතිවරණවලට ප්‍රථම ඡන්දදායක සහය ලබාගැනීම සදහා විවිධ ජනප්‍රියවාදී ක්‍රියාමාර්ග ගන්නා ආකාරය අපි දුටිමු. කෙසේ වූවද, මේ ජනප්‍රියවාදී ක්‍රියාමාර්ග හුදු මැතිවරණ සදහා වූ අල්ලස් ලෙස පමණක් ක්‍රියාත්මක වූ ඒවාය. එක්සත් ජාතික පක්ෂයේ කොලඹ කේන්ද්‍රීය ආර්ථික දැක්ම සහ ජනතාව අතර මේ වනවිට පැතිරී තිබෙන ආණ්ඩු විරෝධී මනෝභාවය ජනතාවගේ ආර්ථික ප්‍රශ්න විසදන බවට ප්‍රතිඥා දී සිටින රාජපක්ෂ වෙත ඊලග මැතිවරණයක දි වාසිසහගත තත්වයක් බොහෝ විට ඇති කරනු ඇත. කෙසේ වූවද, මෙබදු ප්‍රතිඥා හුදු හිස් ප්‍රතිඥාවන් වෙති. මක්නිසාද යත්, ගෝලීය වෙලදපොල සහ මූල්‍ය ප්‍රාග්ධනය සමග ආබද්ධ වීම ඉදිරි මග ලෙස දකින රාජපක්ෂගේ ආර්ථික ප්‍රතිපත්තිය හරයෙන් ගත් කල එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්තියෙන් වෙනස් නොවන හෙයිනි.

2015 දී රාජපක්ෂව බලයෙන් පහ කළ ඡන්දය විරෝධතා ඡන්දයක් ලෙස අප හදුනාගත යුතුය. කෙසේ වූවද, රාජපක්ෂගේ අධිකාරිවාදය අභියෝගයට ලක්කල එම ඡන්දයේ මැතිවරණ විවාදය ආර්ථික ප්‍රශ්න ගැන බැරෑරුම් අවධානයක් යොමු නොකල අතර ආර්ථිකය ගැන වූ සියලු සංවාද හුදෙක් වංචා දූෂණ හා ගජමිතුරු සැලැකීම් පිලිබද පැමිණිලිවලට ලඝු කෙරිණ. මැතිවරණ කාලයක් එලැඹීමට නියමිතව තිබෙන මේ මොහොතේ ආර්ථිකය මුහුණ දී සිටින සැබෑ ප්‍රශ්නය කුමක්ද යන්න ගැන තීරණාත්මක විවාදයක් අවශ්‍යයය. එනමුදු, නැවත වතාවක්, බොහෝ විට අපට දැකගැනීමට ලැබෙනු ඇත්තේ පුද්ගලයින් මත අවධානය යොදන වංචා දූෂණ හා පාවාදීම් ගැන පැමිණිලි කෙරෙන මතු පිට තලයේ ආර්ථික සංවාදයකි.

2018 නොවැම්බර් 2 වන දා ජනාධිපති සිරිසේන සහ අලුතින් පත්කල මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් නිකුත් කල ‘ආර්ථික පුනර්ජීවනය සදහා වූ වැඩපිලිවෙල’ විසින් සහනාධාර ලබාදීම හා බදු ඉවත් කිරීම ඇතුලු සහන පැකේජයක් ඉදිරිපත් කොට තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පනවා තිබෙන රාමුවට යටත්ව ඉදිරිපත් කොට ඇති මෙම වැඩපිලිවෙල රාජ්‍ය මූල්‍ය පරතරය අවම කිරීම මගින් ‘ආයෝජකයින්ගේ විශ්වාසය’ නැංවීම අරමුණු කරයි. මෙය 2018 වර්ෂය සදහා වෙන් කල ප්‍රාග්ධන වියදම්වල කොටසක් ජනප්‍රියවාදී ක්‍රියාමාර්ග සදහා ඇදීම මගින් දැනට කෙරී ගෙන යමින් තිබෙන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති කෙරෙහි සුලු වශයෙන් බලපානු ඇත.

පැහැදිලි ආර්ථික දැක්මක් නොමැති පසුබිමක් තුල, අස්ථාවරත්වය සහ අර්බුදය ආර්ථිකය කෙරෙහි කරනු ලබන්නේ අහිතකර බලපෑමකි. මෙම අර්බුදයේ මිල ගෙවීමට සිදුවන්නේ මහජනතාවටය. රාජපක්ෂ රෙජිමයක් යටතේ රාජ්‍ය බලය සංකේන්ද්‍රණය වීම නව ලිබරල් ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීම වඩාත් පහසු කරනු ඇත. මන්ද, මූල්‍යකරණය සහ පෞද්ගලිකකරණය ඇතුලු විවිදාත්මක සංයුතියකින් යුක්ත නව ලිබරල් ප්‍රතිපත්තීන් බලාත්මක කිරීමට අවශ්‍ය මර්දනීය ශක්‍යතාවය දුර්වල සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුවට වඩා රාජපක්ෂ රෙජිමය සතුව ඇති බැවිනි.

ප්‍රගතිශීලී මාවත

වික්‍රමසිංහ, සිරිසේන සහ රාජපක්ෂ අතර මෙම බල අරගලය ඉදිරියට යන පසුබිමක් තුල රට සදහා ප්‍රගතිශීලී ඉදිරි මගක් අප පරිකල්පනය කල යුත්තේ කෙසේද? පලමුව, ඉතා පහසුවෙන් මුදලට විකිණෙන අපගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එම සියලු සීමාවන් හා දුබලකම් තිබියදී, පාර්ලිමේන්තුව නැවත වහා රැස්කරන ලෙස ඉල්ලා සිටීම අත්‍යවශ්‍යයය. මහජන අයිතිවාසිකම් ප්‍රහාරයට ලක්වන මොහොතක ඊට එරෙහි ආරක්ෂක ප්‍රහාරයේ පලමු බල වලල්ල ලෙස බොහෝ විට පාර්ලිමේන්තුව පත් වනු ඉතිහාසය තුල අප දැක ඇත. රාජපක්ෂ වෙත ආණ්ඩුව පවරා දීම සදහා දරන උත්සාහය පාර්ලිමේන්තුව තුල දී සහ වීථිවල දී අභියෝගයට ලක්කල යුතුය.

මේ අතර ඇතැමෙක්ගේ තර්කය වන්නේ රාජපක්ෂ මෙවර ගියවරට වඩා වෙනස් වනු ඇති බවයි. හෙතෙම ඒකාබද්ධ විපක්ෂයට නායකත්වය දුන් ආකාරය සහ සිය අධිකාරිවාදී පාලන සමය ගැන කිසිදු ස්වයං විවේචනයක් ඔහු වෙත නොවීම විසින් මෙම තර්කයේ විශ්වසනීයත්වය සැකයට භාජනය වේ. පාර්ලිමේන්තුව ඇතුලු දේශපාලන පර්යාය තුල අප අත්දකින කුණු වීම හා රාජ්‍ය ආයතන දේශපාලනිකකරණයට භාජනය වීම සම්බන්ධයෙන් දශකයකට ආසන්න කාලයක් පුරාවට විහිදුනු රාජපක්ෂගේ අධිකාරිවාදී පාලනය විසින් කල සම්මාදම අපට නොතකා හල නොහැක.

අනෙක් අතට, වික්‍රමසිංහ විසින් පෙන්නුම් කරන්නේ ඔහුගේ අසාර්ථකතාවයයි. අගමැතිවරයෙක් ලෙස 2003 දී මෙන්ම මෙවර ද හෙතෙම එය ඔප්පු කොට ඇත. ඔහුගේ දේශපාලනය සහ ප්‍රතිපත්තීන් මහජන විරෝධය අවුලුවන්නකි. ස්වකීය නායකත්වයේ මෙම අසාර්ථකත්වය යලි ඇගයීමට සහ අර්බුදකාරී ඉදිරි කාලයට මුහුණ දීමට සමත් නායකත්වයක් ගැන කල්පනා කිරීමට එක්සත් ජාතික පක්ෂයට කාලය එලැඹ ඇත.

ප්‍රධාන විපක්ෂය වන දෙමල ජාතික සන්ධානය පසු ගිය කාලයේ විපක්ෂයේ භූමිකාව අත්හැර දමා තිබුණි. ශිෂ්‍ය ව්‍යාපාරය හා වෘත්තීය සමිති අරගලවලට එරෙහිව රජය ප්‍රහාර එල්ල කරන විට ඊට විරෝධය පෑමට දෙමල ජාතික සන්ධානය අසමත් විය. එම පක්ෂයේ නායකත්වය සිය ජනපදනම සංවිධානය කිරීමට පසුගිය කාලයේ දැරූ උත්සාහය අල්පය. මේ සියල්ල මධ්‍යයේ එම ජනපදනම විසිරී යාමේ ප්‍රවණතාවයක් මතු වී තිබේ. වත්මන් අර්බුදය හිටපු ප්‍රධාන ඇමැති විග්නේශ්වරන් හා වෙනත් පටු ජාතිකවාදී දෙමළ කණ්ඩායම් වෙත ආ ආශිර්වාදයකි. මන්ද, තවදුරටත් වාර්ගික ධ්‍රැවීකරණයක් හටගන්නේ නම් එවැන්නක් ඔවුන්ගේ විභේදනකාරී වැඩපිලිවෙල තවදුරටත් පෝෂණය වීම කෙරෙහිලා හේතුවන බැවිනි. කෙසේ වූවද, එල්ටීටීඊ සංවිධානයේ උපාය මාර්ගය හා සමාන මෙම ස්වයං-විනාශකාරී ප්‍රවේශය දෙමල සමාජය වෙත යලි වටයකින් කැදවනු ඇත්තේ පරාජයකි.

2015 රාජපක්ෂට අභියෝග කල තැන් සිට මේ දක්වා සිරිසේනගේ ගමන ගත් විට එය පටන් ගත් තැනට ආපසු පැමිණීමකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රාජපක්ෂ යටතේ නැවත සංවිධානය වීම සමග ඉදිරි කාලයේ දී සිරිසේනගේ භූමිකාව හා බලය සීඝ්‍ර ලෙස ඛාදනයට ලක්වන ආකාරය අපට බලාගැනීමට පුලුවන් වනු ඇත. ඉතිහාසය විසින් සිරිසේනගේ ක්‍රියාකලාපය විනිශ්චයට ලක්කරනු ඇත. විශේෂයෙන්, ප්‍රජාතාන්ත්‍රීය වෙනසක් සදහා ලැබුණු ජනවරම පාවාදීම සම්බන්ධයෙන් ඉතිහාසය ඔහුට සමාව නොදෙනු ඇත.

මේ කිසිදු පුද්ගලයෙක් මත හෝ ස්වයං-අර්ථ සිද්ධිය සදහා සැකසී තිබෙන ඔවුන්ගේ පක්ෂ යාන්ත්‍රණයන් මත විශ්වාසය තැබීමට මෙම සන්දර්භය තුල පුරවැසියන්ට නුපුලුවන. අනෙක් අතට, අත්වල කිලිටි තැවරුණු, තමාගේ අරමුණු සහිතව ලංකාවට මැදිහත් වන ජාත්‍යන්තර බලවතුන් වෙතින් ද පිලියමක් අපේක්ෂා කල නොහැක. මේ වනවිට රාජපක්ෂට එරෙහි බව පෙනෙන ජාත්‍යන්තර බලවතුන් හෙතෙම බලය තහවුරු කොට ගෙන නව ලිබරල් පිලිවෙත්වල පා ලෙව කෑම ආරම්භ කල හොත් සතුටු සිතින් යුක්තව රාජපක්ෂ වෙත ආශිර්වාද කරනු ඇත. තවද, මෙම බලවතුන් මේ මොහොතේ විවෘතව රාජපක්ෂට විරෝධය පෑම ‘ජාතිය ගලවාගැනීම’ සදහා ප්‍රතිඥා දී සිටින රාජපක්ෂ කදවුරේ සිංහල බෞද්ධ ජාතිකවාදී පදනම තවත් ශක්තිමත් කිරීමට මිස දුර්වල කිරීමට හේතු වන්නේ නැත. ජනමාධ්‍ය වරද්දා ගන්නා තැන මෙතැනයි. වත්මන් අර්බුදය අතික්‍රමණය කිරීම ජාතික නායකයින් හෝ අන්තර්ජාතික බලවතුන් වෙතින් අපේක්ෂා කල නොහැක.

සියලු බාධක මධ්‍යයේ, යලිත් වරක් අසීරු ප්‍රශ්න සමග පොර බැදීමට අපට සිදු වී තිබේ. ප්‍රජාතාන්ත්‍රීය අවකාශය නොහැකිලෙන බවට අප වග බලා ගත යුතු අතර රාජ්‍යය සහ රාජ්‍ය බලය භාවිතා කිරීම පිලිබද අර්ථවත් සංවාදයක් සහිතව ප්‍රජාතාන්ත්‍රීය අවකාශය පුලුල් කරගැනීමේ මං අප විසින් සෙවිය යුතුය. මේ අතර, විභේදනකාරී ජනවාර්ගික ප්‍රතිපත්තීන්වලට අභියෝග කරමින් පිරිහී තිබෙන අන්තර් ජනවාර්ගික සම්බන්ධතා යලි ගොඩනැගීම අනාගතය සදහා තීරණාත්මකය. අවසාන වසයෙන්, උතුරේ සහ දකුණේ ජනයා සදහා සමානාත්මතාවය සහ යුක්තිය යන මූලධර්ම මත පදනම් වූ අර්ථාන්විත ආර්ථික දැක්මක් ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍යයය. මහජන ව්‍යාපාර විසින් දියත් කරනු ලබන පුලුල් අරගල තුල, ජාතික මට්ටමේ දේශපාලන විවාද තුල සහ එලැඹෙන මැතිවරණ තුල මෙම ප්‍රශ්න පුලුල් ලෙස මතු කරනු ලැබිය හැකි නම්, ඉදිරියේ ඇති විය හැකි මර්දනකාරී රෙජිමයකට එරෙහි වීමට අවශ්‍ය තීරණාත්මක විරෝධතාවය සංවිධානය කිරීමේ පදනම ලෙස අපට එය වැදගත් වනු ඇත.

 පරිවර්තනය - රමිදු  පෙරේරා 



Comments

Popular posts from this blog

සිංහල ජාත්‍යානුරාගයේ ප්‍රතිරූප දෙකක් : ඉරාජ් වීරරත්න සහ එදිරිවීර සරච්චන්ද්‍ර

කෙටි විසඳුම් නැති ගෘහස්ථ ණය අර්බුදය

පුත්තලම රංගෙ බණ්ඩාර සහ වරකාපොල නාමල් කුමාර