පට්ට ආතල් මැද නැට්ට ගිනිගැනීම


[ නිශාන්ත බංඩාර විසිනි


     සතියේ දේශපාලන කතාබහ බේරුවලින් මතු වු කුඩු තොගය හා ජනාධිපතිවරයාගේ ‘‘113 සහ මන්ත්‍රී ලංසු“කතාව වටා බයිට් විය.

විටෙක කලුතර රාජිතද, විටෙක ඇමරිකානු ගෝඨාභයද සහ ඔහු සමග සෙල්ෆි වී සිටින කලුතර
කෆූර් වටා පමණක් නොව හම්බන්තොට චානක හා ඉපැරණි ගම්පොල දිමු පවා මතක් කරමින් ඒ වටා ගෙතුනු ‘කුඩු‘කේඩු කතා හිටු කියමින් ෂෙයාර් විය.

මේ අතර ‘මහාවංශයට‘ පසු ලංකාවේ ඉතිහාසය නැවත ලියවෙන ‘සොරවංශයට‘ අලුත් ජාතක කතාවක් එක් කරමින් මහින්ද රාජපක්ෂයන්ට බහුතරය අහිමිවූ සැටි දේශනා කළ මෛත්‍රීපාල සිරිසේන විධායක ජනාධිපතිවරයාගේ දහම් දෙසුමට සාදු කාර දීමට කවුරුත් එකත්පස් විය.

ඔව්වා මෙව්වා එහෙම වෙද්දී, රනිලියානු ප්‍රජාතන්ත්‍රවාදී මෙහෙයුම අඛණ්ඩ අරගලයේ ඉදිරියට ඇදෙන්නට විය.‘113 පෙන්වීම හා විශ්වාසවන්ත රනිල්‘ නමින් ඉදිරියට ඇදුනු මෙම කතාන්දරයට රාජපක්ෂානු ප්‍රජාතන්ත්‍රවාදීන් ගෙනා එකම විචාරය වූයේ නැතිනම් ප්‍රතිකතාන්දරය වූයේ චිරාගත ‘කොටි නැගිටීමේ‘ මෙගා ටෙලියේ තිර පිටපත අප්ඩේට් කිරීමය.

නමුත් ඉතා සියුම් ලෙස මෙම පිටපත තුල මේ ඊයේ පෙරේදා ගරු නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා දෙමල රුදවියන් (සටන්කාමින්) ගැන ලියූ ට්විටර් සටහන් හා වරින්වර මහින්ද රාපක්ෂයන් හා අතිගරු ජනාධිපතිතුමන් සම්බන්ධන් හා පිරිවර සමග කළ නොකී කතා ‘සුහද සාකච්ඡා‘ ඇතුලත් වි තිබුණේ නැත. අවුලක් නැත ඒ මෙගා ටෙලි වල හැටිමය. ඒවා පිටපත් රචකයන්ට කැමති තැන් වල වඩා විස්තරවත් රසියකන්ට අවුල් වගේ පෙනෙන නැන්වල උඩින් පල්ලෙනුත් ගසා දමන්නේය. එන විධියට ගහ උලුඅස්ස ඒවායේ මූලධර්මයයි.

මේ අතර පසුගිය සතිය දඹර අමිල හිමි ආදින්ට හොදටම හෙම්බිරිස්සා අමාරු තද වි අබර තබර නාබර වූ සතියක් විය. ඒ ලිට්‍රෝ ගෑස් සැර වැදීම නිසාය. මේවාද රාජපක්ෂියනු ප්‍රජාතන්ත්‍රවාදීනගේ නොමද විවේචනයට ලක් විය. ‘හූ දැන් තේරෙනවාද හෙම්බිරිස්සා හැදුනම කොච්ර අමාරුද කියලා,...උඹලා හිතුවේ මේක මේ අපිට විතරක් හැදෙන ලෙඩක් නේද?‘ කියමින් රනිලියානු ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ රෙදි ගලවන්නට විය. දැන් දෙගෙල්ලටන්ටම සනිපය මක්නිසාද යත් දෙගොල්න්ම හෙලිවෙන් නිසාය. ‘මහ බැංකු‘ආතල්එකේ දෙවන කොටස මෙය විය.

මෙය ලංකාවේ දේශපාලනයේ මූලික සිද්ධාන්තයකි. ලාංකිකයන් හැම විටම දේශපාලනයේ දී අසන ප්‍රශ්නය වන්නේ ‘ඇයි අපි විතරක් තොපිත් එහෙමනේ?‘යන්නයි. ඒ නිසා ‘එකට එක කිරීම‘ හා ඒවා ගැන කරගන්නා වාද විවාද යනු ලංකාවේ චිරාගත දේශපාලන සාකච්ඡා සම්ප්‍රදායකි. ඒවාට ඔවුන් කියන්නේ දේශපාලන සංවාද කියාය.

ඉතින් මේ පට්ට ආතල් මැදින් රුපියල හැටට හැටේ අහසේ නොපෙනී යද්දී ආණ්ඩුවකුත් නොමැතිව , ජනාධිපති හා පාර්ලිමේන්තුව හා අධිකරණය එක්ව ‘ව්‍යවස්ථාව‘පෙරලමින් කෙස් පැලෙන තර්ක ගෙනෙමින් කල් මරමින් සිටන්නට විය. නඩු තීන්දු දින තවත් කල් යන්නට විය.

මේ අතර තම ගැටලු විසදන ලෙස බල කරන වතු කම්කරුවන්ට විසදුම් නැත. අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් බල කරන සිසුන්ට ආණ්ඩු නැතිවද කදුලු ගෑස් හා බැටන්පොලු ස්වයංක්‍රීයවම ක්‍රියාත්මකය. රජයේ කාර්යාල අකර්මන්‍යය. සැබැවින්ම පට්ට ආතල් මැද නැට්ට ගිනි ගෙන ඇත. ඒ කාගේවත් නොව ජනතාවගේය. ඒ නිසා රනිලියනු ප්‍රජාතන්ත්‍රවාදයේ හා රාජපක්ෂියානු ප්‍රජාතන්ත්‍රවාදයේ සරණ ගොස් චිරාගත උරුම ලාංකිය දේශපාලන සිවලිංගය දෝවනය කරමින් යදින ‘ප්‍රජාතන්ත්‍රවාය‘ කිසිදා ලැබෙන්නක් නොවන බව දැන්වත් සාතිශ බහුතර ජනතාව තේරුම් ගත යුතුය. සිහි කටයුතු දෙය නම් මේ අතල් මැද ගිනි ගන්නේ කාගේ ජීවිතද යන්නය.

ඒ නිසා කල යුත්තේ ආතල් දෙන්නන් දෙස බලා හිනා වීම නොව උන් එක මිටට බැද පන්නා දැමීමය. මේ මොහොතේ ‘ප්‍රජාතන්ත්‍රවාදය‘ නම් එයයි. නරඹන්නන් නොවෙමු. 


පසුසටහන


"පිනෝචේ මර්දනකාරී රාජ්‍ය ප්‍රචණ්ඩත්වයක් ඔස්සේ කළ දෙය තැචර් ප්‍රජාතාන්තත්‍රික කැමැත්ත සංවිධානය කිරීම ඔස්සේ කළාය. මෙහිදී විප්ලවිය ක්‍රියාකාරීත්වයට පෙර කැමැත්ත හා හෙජමොනිය සංවිධානය කළ යුතුය යන ග්‍රාම්ස්චිගේ ප්‍රවාදය ගැඹුරින්ම අදාල වේ.(තැචර් ඇත්ත වශයෙන්ම තමන්වම හදුන්වා ගත්තේ විප්ලවවාදිනියක ලෙසිනි.) වෘත්තිය සමිති වල බලයට හා රාජ්‍ය නිලබලතන්ත්‍රෙය් උද්දච්ච මුග්ධත්වයට එරෙහිව පුද්ගලවාදය, නිදහස හා ස්වාධීන්නත්වය අගයමින් කෙරැණු ප්‍රචාරණය 1970 දී , එනම් ආර්ථිකය එකතැන පල්වූ මුඩුම වර්ෂ තුළදී මහා ප්‍රාග්ධනයේ උවමානාකම්වලට සුවච කීකරුව සේවය කළ මාධ්‍ය ඔස්සේ බ්‍රිතාන්‍ය තුළ පුළුල්ව පතුරුවා හරින ලදී. ධනවාදයේ අර්බුධය අර්ථකතනය කරන ලද්දේ අසාර්ථක ආණ්ඩුකරණ මාදිලීන්ගේ අර්බුධයක් ලෙසිනි. කැලහන්ගේ නායකත්වය යටතේ වූ කම්කරු පක්ෂ ආණ්ඩුව , ණය බරින් පරිපීඩිත වීමේ දුස්සාද්‍ය තත්ත්වයට පිළියමක් ලෙස පෙරළා ණය ලබා දීමේ පොරොන්දුව මත ජාත්‍යන්තර මුල්‍ය අරමුදල 1976 දී කළ නිර්දේශවලට අනුව වැඩ පිලිවෙලක් ක්‍රියාවට නැගීමට එකග වීමේ කාරණය( මෙය එම පක්ෂයේ සාම්ප්‍රදායික සහායකන්ගේ අභිලාෂවලට එරෙහිවු පියවරක් විය) තැචර් පැවසූ පඑිදි ‘නව ලිබරල් විසදුම් වලට විකල්පයක් නොමැති‘ යන අදහසට මංපෙත් විවර කර දෙන්නට උපකාරී විය. මෙපරිද්දෙන් තැචර්ගේ විප්ලවය සංවිදානය කරනු ලැබුවේ විශේෂයෙන් ඇයගේ මැතිවරණ ජයග්‍රහණයට උරදුන් මධ්‍යම පංතිය තුළ යම් මට්ටමක දේශපාලන කැමැත්තක් ගොඩනැගිම මගිනි. වැඩ පිලිවෙලක් ලෙස වෘත්තිය සමිති බලය ආපස්සට හැරවීම සදහා මැතිවරණ වරමක් ඇය සතු විය. ඇය පසුව මෙවන් උදාන වාක්‍යයක් තෙපලු බැව් ප්‍රකටය ‘සමාජය යනුවෙන් දෙයක් නැත. ඇත්තේ පුද්ගලයන් පමණකි‘. ඉක්බිතිව ඇය තමන්ව නිවැරදි කරගන්නා සෙයියාවෙන් ‘පුද්ගලයන්‘ යන්නට ඔවුන්ගේ ‘පවුල‘ යන්න ද එක් කළාය. සමාජ සහයෝගීතාවයේ සෑම ස්වරෑපයක්ම පුද්ගලික දේපල, පුද්ගල වකීම් හා පවුල් වගකීම් වෙනුවවෙන් දියකර හරින ලදී. තැචර්ගේ ඉහත අලංකාරෝක්තිය තුළින් ගලා ආ දෘෂ්ටිවාදීමය ප්‍රහාරය අනුකම්පා විරහිත වූවක්ද පුළුල් සාර්ථකත්වයක් සහිත වූවක්ද විය......"
(නව ලිබරල් වාදය සහ පන්ති බලයේ ප්‍රතිස්ථාපනය, 
පරිවර්තනය සුමිත් චාමින්ද, මුල් කෘතිය ඩේවිඩ් හාවි, පිටු 31-33)

        රාජපක්ෂගේ මර්දනකාරීත්ව ක්‍රමය වෙනුවට රනිල්ගේ යහපාලන ක්‍රමයට, ආකාර දෙකකට මුත් සිදු වෙමින් පැවැතියේ ‘නව ලිබරල්වාදී‘ ආර්ථික මූල උපායන් ලංකාව මත එලීමය. එහිදී චීන කදවුරද, ඇමරිකන් කදවුරද යන්න පමණක් තේරීම මැතිවරණයකින් වනු ඇත. ණය තර්කණය මත ජනතා සුබසාධන කප්පාදුව වඩා තාර්කිකව ගෙනෙනු ඇත. ලෝක බැංකුව, මුල්‍ය අරමුදල ඒවා මෙහෙයවනු ඇත. මේ සිදු වන ‘ප්‍රජාතන්ත්‍ර විරෝධී‘ රංගනයන් එසේම සිදු වනු ඇත. ඊනියා පුද්ගල නිදහසද, ඊනියා සිංහල බෞද්ධ ජාතිකවදයද ඊට සමාන හා අනෙක්පසින් සුළු ජාතික පීඩනයන් ඇවිසීම හා ඒ මත ශක්තිමත් වන සුළු ජාතික ධනපති නියෝජනය එකිනෙක පෝෂණය කරමින් මේවායේ විටෙන් විට වන සැලඩ් දැමීම්ද මගින් සියල්ල තාර්කික කෙරෙන ආනාගතයක එලිපත්තක අප සිටිමු. ‘දෙමල දේශපාලන සිරකරුවන්‘ අද ඇත්තේ බන්ධනාගර තුළය. නමුත් මේ ආතල් වලින් පසු එන ආණ්ඩුවේ ‘එලිමහන් දේශපාලන සිරකරුවන්‘ වීමට සිදු වනු ඇත්තේ උතුර දකුණ සිංහල දෙමල බේදයකින් තොර පන්ති සමානාත්වය මත පිහිටාය. බාගවිට එය ඉතා උත්ප්‍රාසජනක ලෙස ඊනියා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතින්ම වීම අනිවාර්යකි. ඇස් හැර බලන්න. උණුසුම් වන ජල බදුන, ජාතිවාදයේ, ආගම්වාදයේ, ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය රහිත ඊනියා පුද්ගල නිදහසේ හා පරිභෝජනවාදයේ කුලුබඩු කලවමින් ඒ මත ඔබ ගනිමින් සිටින්නේ අවසන් කකුලු ආතල් එක විය හැක.

Comments

Popular posts from this blog

සිංහල ජාත්‍යානුරාගයේ ප්‍රතිරූප දෙකක් : ඉරාජ් වීරරත්න සහ එදිරිවීර සරච්චන්ද්‍ර

කෙටි විසඳුම් නැති ගෘහස්ථ ණය අර්බුදය

පුත්තලම රංගෙ බණ්ඩාර සහ වරකාපොල නාමල් කුමාර