ප්‍රජාතන්ත්‍රවාදයේ හැදි සහ හොදි




[ නිශාන්ත බණ්ඩාර විසිනි

    මේ දින වල කාගේතේ මුවග රැව් දෙන වචනයක් වි ඇත්තේ
ප්‍රජාතන්ත්‍රවාදයයි. පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා මහින්ද රාජපක්ෂ මහතා වෙත අග්‍රාමාත්‍ය ධූරය ලබා දීමේ සිදු වීම කේන්ද්‍ර කරගෙන මතු වූ මෙම සාකච්ඡාව අද සෑම දෙනාගේම මාතෘකාව වී ඇත්තේ ‘ප්‍රජාතන්ත්‍රවාදය‘ යන්නයි. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය යන්න එක වචනයක් වුවත් විවිධ අය මේ ගැන කතා කරන්නේ විවිධ අරුතින් වීම විශේෂ කරුණකි. 

රනිල් වික්‍රමසිංහ මහතා හා එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් එය කේන්ද්‍ර කරන්නේ බලහත්කාරී අත්තනෝමතික ලෙස වත්මන් ජනාධිපතිවරයා විසින් එක්සත් ජාතික පක්ෂ අගමැති ධූරය වෙනස් කිරීම මුලට තබාගෙනය.

මහින්ද රාජපක්ෂ මහතා හා පොදු ජන පෙරමුණ හා ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්නේ පාර්ලිමේන්තුව තුලදි කතානායකවරයා මූලිකව අලුත පත් කළ ආණ්ඩුවට සිය කටයුතු කරගෙන යාමට කරන බාධාවන් මූලට තබාගෙනය.

ජනතා විමුක්ති පෙරමුණ හා එහි හිතවතුන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්නේ ‘ව්‍යවස්තා විරෝධී ලෙස‘ සිදු වූ දේශපාලන කුමන්ත්‍රණය මුලට තබාගෙනය.

පෙරටුගාමී සමාජවාදි පක්ෂය ඇතුලු එහි හිතවතුන් මෙය සලකන්නේ ‘උන්ගේ ප්‍රජාතන්ත්‍රවාය සහ අපේ ප්‍රජාතන්ත්‍රවාදය‘ යන කථිකාව මුලට තබා ගනිමිනි.

ටීඑන්ඒ, මුස්ලිම් කොන්ග්‍රසය හා සිංහල නොවන වෙනත් ජාතික ප්‍රජාවන් නියෝජනය කරන පක්ෂ මේ ගැන කතා කරන්නේ ‘සුළු ජාතික අපේක්ෂාවන්‘මූලික කරගනිමිනි. 

මෙලෙස මූලික වරනැගීම් කිහිපයක් ඔස්සේ  ලාංකිකයන් ‘ප්‍රජාතන්ත්‍රවාදය‘ ගැන කතා කරමින් සිටී. මෙම දේශපාලන උභතෝකෝටිකයේ තිබෙන අනන්‍ය සුවිශේෂීත්වය නම් ඉහත කිසිදු කථිකාවක් මුලුමනින්ම ප්‍රතික්ෂේප කළ නොහැකි සත්‍යන් වීමය. ඒ නිසා කාට කාටත් තමන්ගේ ආස්ථානයේ සිට හතර අතේ වැනීමට හැකි වී ඇත. මේ නිසාම පවතින දේශපාලන අර්බුධය තුල පක්ෂ කේන්ද්‍රීය බල ව්‍යුහයන් ශක්තිමත් වී ඇති බව විශේෂයෙන් නිරීක්ෂණය කළ හැකි කරුණකි.

පක්ෂ දේශපාලන, දේශපාලනය ලෙස දකින ලාංකික දේශපාලන සිතීම් රටාව අනුව මෙසේ විම අරුමයක්ද නොවේ. මෙය මෙසේ වීම හොදද නරකද යන කරැණ කෙසේ වෙතත් මේ උගුලෙන් ගොඩ යෑමට නම් මෙම තත්වය විනිවිද දැකීමක් අවශ්‍ය බව කිව යුතුය.

එසේ වීමට නම් ප්‍රජාතන්ත්‍රවාදය යන්න පිළිබද ඉහත දැක්වූ එක් එක් කේන්ද්‍රයන් සිට මෙම අවස්ථාව විග්‍රහ කර ගැනීම වෙනුවට මේ සියලු කේන්ද්‍ර එක ලක්ෂයකට ගෙන ඒ වටා ගොඩනගන සංවාදයක් අවශ්‍යය.තමන් කැමති හැන්දෙන් තමන් කැමති ආකාරයට හොදි බෙදා ගැනීම වෙනුවට ‘ප්‍රජාතන්ත්‍රවාදය‘ නැමති හොද්ද ගැන කතා කළ යුතුය. මතුවී වර්ධනය වන දක්ෂිණාංශික උත්සන්නියට විකල්ප මාවතක් මතු කරගත හැක්කේ එවිට පමණි. නැතිනම් සිදු වනු ඇත්තේ මෙකී අනගි දේශපාලන මොහොත හුදු මැතිවරණවාදී කථිකාවකට යටවී අපතේ යාම පමණි.

පසු සටහන...

එජාප, පොදු ජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ටිඑන්ඒ, මුස්ලිම් කොන්ග්‍රසය ආදි පක්ෂ වලට ප්‍රජාතන්ත්‍රවාය යන්න සිය පක්ෂයේ ඡන්ද ගොඩ වැඩි කරගැනීමේ හුදු වාග්පාඨයක් මිස අන් කිසිවක් නොවන බව මෙහිදී කිව යුතුය. ඒවා තුළ සැබැවින්ම ප්‍රජාතන්ත්‍රවාදය යනු ප්‍රජාතන්ත්‍රවාය රහිත ප්‍රජාතන්ත්‍රවාදයයි. කැෆේන් රහිත කෝපි වැනි මෙම ප්‍රජාතන්ත්‍රවාදයි. ඒ නිසා රනිල්ලා, මහින්දලා, මෛත්‍රීලාගේ බල කේන්ද්‍රයන් අතර ඊනියා සිවිල් සමාජය විසින් වාත්තු කරමින් සිටින ප්‍රජාතන්ත්‍රවාදය සැබැවින්ට අපට අදාල නැත. ඒනිසා ඔවුන්ට අදාලව ඇත්තේ ඉස්සර වෙලා ආවේ කිකිලිද බිත්තරේද වැනි, ප්‍රජාතන්ත්‍රවාදය වැඩියෙන් කඩ වුනේ රනිල්ගෙන්ද මෛත්‍රිගෙන්ද වැනි. ව්‍යවස්තාවේ වචන අතර නීති තර්ක අතර කෙස් පලා ගන්නා ආරෝවක් පමණි.

එසේ නමුත් ඉහත ඔවුන්ද කතා කරන අත්තනෝමතිකත්වය, බල සූදුව, ව්‍යවස්ථා අර්බුදය, සුළු ජාතික අපේක්ෂා මතින් දිවෙන ප්‍රජාතන්ත්‍රවාය පිළිබද සැබෑ ප්‍රශ්නය ජනතා විමුක්ති පෙරමුන, පෙරටුගාමි සමාජවාදි පක්ෂය වැනි වාම ප්‍රගතිශීලී වයාපාරයන්ගේ ඉහත දැක්වූ කථිකා කේන්ද්‍ර වටා ගොනු කළ යුතුය. 

එහිදී වෙන් වෙන්ව නමුත් අවබෝධයෙන් යුතුව මෙකී සටන මෙහෙයවීම මේ මොහොතේ කළ යුත්තකි. නැතිනම් සිදු වන්නේ ජනතා විමුක්ති පෙරමුන කථිකාව එජාප ඡන්ද ගොඩ වැඩි කිරීමටද පෙරටුගාමී සමාජවාදී පක්ෂ කථිකාව පොදු ජන පෙරමුනු ඡන්ද ගොඩ වැඩි කිරීම සදහාද හේතු වීම පමනි. එවැන්නක් සැබැවින්ම මෙම අනගි දේශපාලන මොහොතේ සිදු විය හැකි භයානකම අනතුරයි.

Comments

Popular posts from this blog

සිංහල ජාත්‍යානුරාගයේ ප්‍රතිරූප දෙකක් : ඉරාජ් වීරරත්න සහ එදිරිවීර සරච්චන්ද්‍ර

කෙටි විසඳුම් නැති ගෘහස්ථ ණය අර්බුදය

පුත්තලම රංගෙ බණ්ඩාර සහ වරකාපොල නාමල් කුමාර