අල්ලාගැනීමට ලක්වූ , තුවාල ලත් අපගේ හදවත් : ඉන්දු පකිස්ථාන ගැටුම ගැන අරුන්දතී රෝයි



පහත පලවන්නේ පසුගිය දා පකිස්ථානයට ඉන්දියාව විසින් කල ගුවන් ප්‍රහාරය සමග ඇති වූ ආතතිසහගත තත්වය ගැන ඉන්දීය ලේඛිකා අරුන්දතී රෝයි විසින් තබන ලද සටහනක සිංහල අනුවාදයයි. ලෝක පූජිත නවකථාකාරියක වන අරුන්දතී රෝයි දේශපාලනය පිලිබද විවේචනාත්මක අදහස් දක්වන්නියක ද වන්නීය. 

පකිස්ථානයේ බලාකෝට්වලට එල්ල කල සිය වගකීම් විරහිත ‘පූර්වේක්ෂිත’ ගුවන් ප්‍රහාරයත් සමග අගමැති නරේන්ද්‍ර මෝඩි අචේතනිකව වුව සිදු කොට තිබෙන්නේ මෙතෙක් කල් පැවැති ඉන්දීය ආණ්ඩු ප්‍රාතිහාර්යමය ලෙස පසුගිය දශක ගණනාව පුරාවට එල්බ ගෙන සිටි එක් ආස්ථානයක් නිශේධ කිරීමය. කාශ්මීරයේ තිබෙන ගැටුම සදහා ජාත්‍යන්තර බේරුම්කරණයක් අවශ්‍ය බවට යෝජනා වූ සෑම අවස්ථාවකදීම, 1947 සිටම ඉන්දීය ආණ්ඩුව එම යෝජනා පසෙකට විසි කොට දැමීම සදහා ඉදිරියට දැමූ ස්ථාවරය වූයේ එම ප්‍රශ්නය ඉන්දියාවේ ‘අභ්‍යන්තර ප්‍රශ්නයක්’ බවයි. පකිස්ථානය ප්‍රතිප්‍රහාරයකට පොලඹවා ගැනීම තුලින් සහ ඒ හරහා ඉන්දියාව හා පකිස්ථානය ඉතිහාසයේ එකිනෙකා වෙත බෝම්බ ගසාගත් න්‍යෂ්ඨික ආයුධ සහිත පලමු රටවල් දෙක බවට පත්කරමින් මෝඩි කාශ්මීර ගැටුම ජාත්‍යන්තරකරණයට ලක් කොට තිබේ. න්‍යෂ්ඨික යුද්ධයක් සදහා වේදිකාව සැපයීම මගින් කාශ්මීරය සමහර විට ලෝකයේ වඩාත්ම භයානක කලාපය බවට පත්විය හැකි බවට හෙතෙම ලෝකයා වෙත පෙන්වා දී තිබේ. න්‍යෂ්ඨික යුද්ධයක විය හැකියාව ගැන බැරෑරුම්වන සෑම පුද්ගලයෙක්ම, රටක්ම සහ සංවිධානයක්ම එය වලක්වා ගැනීම සදහා කල හැකි සියලු දේ මේ මොහොතේ සිදුකල යුතුව තිබෙන අතර ඒ සදහා ඔවුන්ට අයිතියක් ඇත. 

2019 පෙබරවාරි 14 වන දා ආදිල් අහමද් දාර් නම් විසි හැවිරිදි කාශ්මීර ජාතික මරාගෙන මැරෙන බෝම්බකරුවා කාශ්මිරයේ පුල්වාමාවල ස්ථානගත කොට තිබූ 2500 කින් යුක්ත අතුරු සන්නද්ධ හමුදා ඛණ්ඩයක් වෙත ප්‍රහාරයක් එල්ල කලේය. හෙතෙම පකිස්ථානයේ සිට ක්‍රියාත්මක ජායිෂ්-ඉ-මොහොමද් නම් සංවිධානයේ සාමාජිකයෙක් බව පසුව ප්‍රකාශ විය. අඩුම තරමින් හතලිස් දෙනෙක් ජීවතක්ෂයට පත්කල මෙම ප්‍රහාරය කාශ්මීරය තුල නොකඩවා දිග හැරෙන ඛේදවාචකයේ තවත් අවලස්සන පරිච්ඡේදයක් සනිටුහන් කරන්නකි. 1990 ගණන්වල සිට ගතහොත් කාශ්මීර ගැටුමේ ප්‍රතිඵල ලෙස හැත්තෑ දහසකට වැඩි පිරිසක් මිය ගොස් තිබෙන අතර, දහස් ගණනක් ‘අතුරුදහන්’ වී තිබේ. දස දහස් ගණනක් වධහිංසාවට භාජනය වී තිබෙන අතර වෙඩි පහර වැදී තවත් සිය ගණනක් තරුණයින් අංගවිකලභාවයට හෝ අන්ධභාවයට ගොදුරු වී සිටිති. පසුගිය මාස දොලහක කාලය තුල වාර්තා වූ මරණ ගණන 2009 සිට වාර්තා වූ ඉහලම මරණ සංඛ්‍යාවයි. ඇසේසියේටඩ් ප්‍රෙස් ආයතනය වාර්තා කරන ආකාරයට මේ කාලය තුල 570 දෙනෙක් මිය ගොස් තිබෙන අතර මේ අතුරින් 260 ක් සටන්කාමීන්ද, 160 දෙනෙක් සිවිල් වැසියන්ද, 150 දෙනෙක් රාජකාරියේ යෙදී සිටිය දී මිය ගිය ඉන්දීය හමුදා සොල්දාදුවන් ද වෙති. 

මෙම ගැටුම නැරඹෙන කාචය අනුව මිය යන කැරලිකරුවන් කෙලෙස හැදින්වේදැයි තීන්දු වේ. ඒ අනුව ඔවුන් ‘ත්‍රස්තවාදීන්’, ‘සටන්කාමීන්’, ‘නිදහස් සටන්කරුවන්’ හෝ ‘ශුද්ධ වූ යුද්ධයක යෙදෙන්නන්’ ලෙස විස්තර වේ. බොහෝ කාශ්මීර වැසියන්ට අනුව ඔවුන් ශුද්ධ වූ සංග්‍රාමයක නියුක්ත වූවෝ වෙති. ඔවුන් මිය ගිය විට ඔවුන්ගේ අවමගුල්වලට ලක්ෂ ගණනින් ජනයා සහභාගී වන අතර ඔවුන්ගේ උපක්‍රම සමග එකග වූවත් නැතත් මෙම ජනයා එම අවමගුල්වල දී මිය ගිය අය වෙනුවෙන් ශෝක වෙති, ඔවුන්ට ආයුබෝවන් කියති. පසුගිය වසරේ මිය ගිය බොහෝ සිවිල් වැසියන් ඇත්ත වසයෙන්ම සොල්දාදුවන් විසින් වට කල සටන්කාමීන්ට පැන යාම සදහා උපකාර කරනු වස් ඉදිරියට පැමිණ අන්තරායට මුහුණ දීම තෝරාගත් සාමාන්‍ය ජනයා වෙති. 

පුල්වාමා ප්‍රහාරය යනු කාලාන්තරයක් තිස්සේ දිග හැරෙන මෙම ලේ වැකි කථන්දරයේ වඩාත්ම සාහසික ප්‍රහාරයයි. ආදිල් අහමද් දාර් වැනි යුද්ධයෙන් යුක්ත ලෝකයක් වෙත ඉපැදුණු සිය ගණනක් නොවේ නම් දහස් ගණනක් තරුණයින් කාශ්මීර නිම්නයේ ජීවත් වෙති. මොවුන් කෙතරම් භීෂණයක් අත්දැක තිබේද යත් බිය යන්න අතික්‍රමණය කිරීමටත්, තමන්ගේ ජීවිත නිදහස වෙනුවෙන් පූජා කිරීමේ අධිෂ්ඨානයක් ඔවුන් තුල ඇති කිරීමටත් එම භීෂණය හේතු වී තිබේ. ඕනෑම දිනෙක පහරදීමක් සිදුවිය හැක. එය පුල්වාමා ප්‍රහාරයට වඩා නරක එසේත් නැතිනම් අඩුවෙන් නරක එකක් වීමට පුලුවන. මෙම තරුණයින්ගේ ක්‍රියාකාරකම් හරහා මෙම රටේ හා සමස්ත උප මහද්වීපයේම ඉරණම තීරණය වීමට ඉන්දීය ආණ්ඩුව ඉඩ හරිනවාද? හෙතෙම ප්‍රතිචාර දැක්වූ හිස් සහ නාටකීය ස්වභාවය හරහා නරේන්ද්‍ර මෝඩි සිදු කොට තිබෙන්නේ හරියටම එයයි. හෙතෙම අපගේ අනාගතය තීන්දු කිරීමේ බලය ඔවුන් වෙත පවරා දී තිබේ. තරුණ පුල්වාමා බෝම්බකරුවාට අපේක්ෂා කල හැකි මීට වඩා දෙයක් නැත. 

බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස් වීම සදහා ගෙන ගිය තමන්ගේ අරගලය මහත් උත්කර්ෂයෙන් සලකන, ඒ වගේම එම අරගලයට නායකත්වය දුන් අය දෙවියන් හා සම ලෙස ගරු කරන ඉන්දියානුවෝ ඊට සමාන දෙයක් සදහා සටන් කරන කාශ්මීර ජාතිකයින් ගැන දක්වන්නේ පාරාන්ධ ආකල්පයකි. කාශ්මීර ජනයා ‘ඉන්දීය පාලනය’ ලෙස දකින දෙයට එරෙහි සන්නද්ධ අරගලය මේ වනවිට වසර තිහක් පැරණිය. පකිස්ථානය මෙම අරගලයට ආයුධ, මිනිස් බලය සහ වෙනත් උපකරණ ලබාදෙමින් සහයෝගය දී තිබෙන බව රහසක් නොවේ. එක්තරා කාලයක ඔවුන් එය නිල වශයෙන් සිදුකල අතර මේ වනවිට රාජ්‍ය නොවන පාර්ශවකරුවන් මගින් එලෙස උදවු සැපයේ. ඒ වගේම තවත් සත්‍යයක් වන්නේ දේශීය ජනයාගේ සහයෝගය නොලැබෙන්නේ නම් කාශ්මීර යුද කලාපය තුල සාර්ථක ලෙස ක්‍රියා කෙරුමට කිසිදු සටන්කාමියෙක්ට හැකියාව නොමැති බවයි. භයංකර ලෙස සංකීර්ණ, භයංකර ලෙස සාහසික මෙම යුද්ධය හනික දියත් කෙරුනු, නාටකීය ස්වභාවයක් උසුලන, ‘ශල්‍යකර්මීය ගුවන් ප්‍රහාරයක්’ මගින් විසදිය හැකි බව හෝ අඩුම තරමින් අවම කල හැකි බව මනා සිහිබුද්ධිය සහිත කිසිම කෙනෙක් සිතනු ඇද්ද? 2016 දී යූරි හි ඉන්දීය හමුදා කදවුරකට එල්ල වූ ප්‍රහාරයකට ප්‍රතිචාර ලෙස මෙබදුම ‘ප්‍රහාරයක්’ ඉන්දීය ආණ්ඩුව දියත් කල අතර බොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටයකට කතා නිමිත්තක් ලබාදීම හැර ඉන් දිනූ අන් කිසිවක් නොමැත. අනෙක් අතට බලාකොට් ප්‍රහාරය මෙම චිත්‍රපටියෙන් අනුප්‍රාණය ලැබුවා වැන්න. බොලිවුඩ් නිෂ්පාදකයින් තම ඊලග චිත්‍රපටය සදහා ‘බලාකොට්’ යන නාමයේ බුද්ධිමය දේපල අයිතිය ගැනීම සදහා පෝලිම් ගැසෙමින් සිටින බව දැන් මාධ්‍ය වාර්තා කරයි. සමස්තයක් විධිහට බලන කොට පෙනී යන්නේ මෙම විකාරරූපී රංගනය ‘පූර්වේක්ෂිත’ ප්‍රහාරයකට වඩා ‘පූර්ව මැතිවරණ’ ප්‍රහාරයක ලක්ෂණ පෙන්නුම් කරන බවයි. 

තම රටේ ගුවන් හමුදාව භයානක නාටකීය රංගනයන් සදහා යොදාගැනීම අගමැතිවරයෙක්ට තරම් වන ක්‍රියාවක් නොවේ. උත්ප්‍රාසය මෙයයි. අපගේ උපමහද්වීපයේ මෙම වගකීම් විරහිත න්‍යෂ්ඨික අභ්‍යාසය සිදු කෙරෙමින් තිබෙන්නේ අතිශය බලගතු ඇමරිකා එක්සත් ජනපදය වසර දහහතක මුහුණට මුහුණ කල යුද්ධයකින් පසුව වුව පරාජයට පත් කිරීමට එය අසමත් වූ තලිබාන් හමුදා සමග සාම සාකච්ඡාවලට ප්‍රවේශ වී සිටින අතරවාරයේය. 

උප මහද්වීපය තුල දිග හැරෙන පැටලැවුනු අරගලය දෘශ්‍යමානයේ පෙනෙන්නට තිබෙන ආකාරයටම මරණීය බව සත්‍යයකි. එහෙත් එය පෙනෙන්නට තිබෙන ලෙසටම රේඛීයද?

කාශ්මීරය යනු ලෝකයේ වඩාත්ම මිලිටරිකරණයට ලක්වූ කලාපයයි. ඉන්දීය සොල්දාදුවන් අඩ මිලියනයක් එහි රදවා ඇත. බුද්ධි විමර්ශන ඒකකයට අමතරව, රෝ සංවිධානය, ජාතික බුද්ධි ඒකකය, හමුදාව, දේශසීමා ආරක්ෂක හමුදාව, මධ්‍යම පොලිස් සේවාව සහ ජම්මු කාශ්මීර පොලිස් සේවාව බුද්ධි තොරතුරු රැස්කිරීම වෙන වෙනම සිදු කරති. ජනතාව පොලිස් ඔත්තුකරුවන්, දෙපැත්තටම සේවය කරන ඒජන්තයින් සහ සමහර විට තුන් පැත්තකට සේවය කරන ඒජන්තයින් නිසා දෛනිකව ජීවත් වන්නේ මහත් භීතියෙනි. මෙම ඔත්තුකරුවන් පැරණි පාසල් මිතුරන්ගේ සිට පවුලේ සාමාජිකයින් දක්වා ඕනෑම කෙනෙක් විය හැක. මෙබදු පසුබිමක් තුල, පුල්වාමාවල සිදු වූ ආකාරයේ ප්‍රහාරයක් හට ගැනීම විස්මයජනකය. උතුරු ඉන්දියාවේ පසුගිය කාලයේ ප්‍රචලිත වෙමින් තිබෙන ගව ඝාතනය සදහා චෝදනා ලබන මුස්ලිම්වරුන් සොයාගැනීමේ හා ඔවුන්ට පහර දීමේ හින්දුවාදී භාවිතය ගැන සැදහුම් කරමින් ට්විටර් පණිවුඩයක් තබන එක්තරා ප්‍රකාශිකාවක උපහාසාත්මක ලෙස පහත සටහන යොදා තිබුණි. ‘හරක් මස් කිලෝ ග්‍රෑම් තුනක් සොයාගැනීමේ දී මහත් විස්කම් පාන බීජේපී පක්ෂයට කිලෝ ග්‍රෑම් 350 ක පුපුරන ද්‍රව්‍ය සොයාගත නොහැකි වූයේ ඇයි?’.

කවුරු දනීද?

ප්‍රහාරයෙන් ඉක්බිති ජම්මු හා කාශ්මීර ආණ්ඩුකාවරයා ප්‍රකාශ කලේ එය ‘බුද්ධි අංශවල අසමත්වීමේ’ ප්‍රතිඵලයක් බවයි. ඇතැම් මාධ්‍ය වාර්තා කලේ ජම්මු කාශ්මීර පොලිසිය සිදුවිය හැකි ප්‍රහාරයක් ගැන ඇත්ත වසයෙන්ම අනතුරු හගවා තිබූ බවයි. කෙසේ වූවද, මෙම අනතුරු හැගවීම නොසලකා හරින ලද්දේ මන්ද, අණ දීමේ ධූරාවලිය තුල ඛණ්ඩනයක් සිදුවූයේ කොතැනද ආදී ප්‍රශ්න ගැන මාධ්‍ය එතරම් උනන්දු වන ආකාරයක් දක්නට නොමැත. 

කෙතරම් ඛේදනීය වූවද, පුල්වාමා ප්‍රහාරය නරේන්ද්‍ර මෝඩිට ඔහුට කරන්න පුලුවන් හොදම දෙය වන ගැලරියට කථා කිරීම සදහා අනගිතම දේශපාලන අවස්ථාව සපයා දුන්නේය. තම දේශපාලන බලය අහිමි වීමට ලක්වී සිටින භාරතීය ජනතා පක්ෂය මැතිවරණයට කලින් අහසින් කවර හෝ ගිනි බෝලයක් ගෙන හැර පානු ඇතැයි අප ඇතැමෙක් මාස කිහිපයකට ප්‍රථම පුරෝකථනය කලෙමු. එම පුරෝකථනය සත්‍යය වන ආකාරය පසුගිය දවස්වල මහත් කම්පනයෙන් යුක්තව අපි බලා සිටියෙමු. ආණ්ඩු පක්ෂය පුල්වාමා ඛේදවාචකය පටු දේශපාලන වාසියක් බවට හරවාගන්නා අන්දම අපි දැක බලා ගතිමු. 

ප්‍රහාරයට ඉක්බිති, සංවිධිත මැර කල්ලි ඉන්දියාවේ අනෙක් පෙදෙස්වල රැකියා කරන හා ඉගෙන ගන්නා කාශ්මීර ජාතිකයින් ඉලක්ක කොට ගෙන විවිධ පහරදීම් සංවිධානය කල අතර මෝඩි ඒ ඉදිරියේ කට පියාගෙන සිටියේය. එම වැසියන් ආරක්ෂා කිරීම රජයේ වගකීමක් බව ශ්‍රේෂ්ඨාධිකරණය කියන තෙක්ම හෙතෙම ඒවා වැලැක්වීමට කිසිදු පියවරක් ගත්තේ නැත. කෙසේ වූවද, ගුවන් ප්‍රහාරවලට පසු හෙතෙම ඒ සදහා කීර්තිය ලබාගැන්ම උදෙසා පෞද්ගලිකව රූපවාහිනියේ පෙනී සිටියේ ගුවන් යානා පදවා ගෙන ගොස් තමා විසින්ම බෝම්බ දැම්මා වැනි උජාරුවකිනි. පැය විසි හතරේම ක්‍රියාත්මක හාරසියයක් පමණ වූ ඉන්දියාවේ පුවත් නාලිකා - මේවා බහුතරය සමා විරහිත ලෙස පක්ෂග්‍රාහීය - මෝඩිගේ මේ සංදර්ශනයට තව තවත් අංග එකතු කරමින් රස ගන්වා විකාශනය කලේය. මේ නාලිකාවල ඝෝෂාකාරී නිවේදකයින් පැරණි වීඩියෝ දර්ශන හා ව්‍යාජ කරුණු යොදාගෙන ජයග්‍රාහී ජාතිකවාදයේ උමතු සැණකෙලියක් නිර්මාණය කල අතර ගුවන් ප්‍රහාර නිසා ජායිෂ්-ඉ-මුහමද් සංවිධානයේ ‘ත්‍රස්ත ෆැක්ටරිය’ විනාශ වී ඇති බවත් ‘ත්‍රස්තවාදීන්’ තුන් සියයක් මරා දැමුණු බවත් ඔවුහු ප්‍රකාශ කලහ. ඊලග දවසේ උදෑසන වඩාත්ම කල්පනාකාරී ජාතික පුවත්පත් පවා මේ මගම ගත්හ. ඉන්ඩියන් එක්ස්ප්‍රස් පුවත්පත උන්මන්තක ලෙස සිය ප්‍රධාන සිරස්තලය ‘ඉන්දියාව පකිස්ථානයේ ඇතුලාන්තයට ගොස් ත්‍රස්තවාදයට පහර දෙයි’ ලෙස යෙදීය. මේ අතර, ඇත්තටම බෝම්බ පතිත වූ පකිස්ථාන ප්‍රදේශය වෙත වාර්තාකරුවෙක් යැවූ රොයිටර් පුවත් සේවය වාර්තා කලේ සැබැවින්ම හානියට පත්වී තිබෙන්නේ ගස් ගල් බවත් එක් ගම්වැසියෙක් තුවාල ලැබ ඇති බවත්ය. ඇසෝසියේටඩ් ප්‍රෙස් ආයතනය ද ඊට සමාන වාර්තාවක් ඉදිරිපත් කලේය. නිව්යෝක් ටයිම්ස් පුවත්පත සිදුවීම වාර්තා කලේ පහත පරිදිය. ‘නව දිල්ලියේ විශ්ලේෂකයින් හා රාජ්‍ය තාන්ත්‍රිකයින් පවසන ආකාරයට ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝඩි කාශ්මීර ප්‍රහාරයට එකට එක කරන බව නිවේදනය කිරීමෙන් පසුව, දේශසීමා ආසන්නයේ ක්‍රියාත්මක වෙමින් සිටි ත්‍රස්තවාදී කණ්ඩායම් ඉන් ඉවත් වීමට කටයුතු කොට තිබුණු නිසා ඉන්දීය ගුවන් ප්‍රහාරවල ඉලක්ක අවිනිශ්චිත වී තිබුණි.’

ප්‍රධාන ධාරාවේ ඉන්දීය මාධ්‍ය රොයිටර්ස් පුවත වාර්තා කලේ නැත. නිව් යෝක් ටයිම්ස් නොකියවන ඉන්දියාවේ බහුතරයක් ඡන්දදායකයින්ට ඒ නිසා පෙනී ගියේ  විසල් පපුතලයක් සහිත තම අගමැතිවරයා ත්‍රස්තවාදය සදහටම මුලිනුපුටා දැමූ ආකාරයකි. 

මොහොතකට දිස්වූයේ මෝඩි සිය දේශපාලන ප්‍රතිවාදීන් සියල්ල සාර්ථක ලෙස පසුබැස්සවූ බවකි. ඉන්දියාවේ නිර්භීත ගුවන් භටයින්ට ප්‍රශංසා කොට ට්විටර් පණිවුඩ ලියනු හැර කල හැකි කිසිවක් මෝඩිගේ ප්‍රතිවාදීන් සතුව නොවීය. ඒ අතර මෝඩි සහ ඔහුගේ සහයකයෝ ඡන්ද ව්‍යාපාරයේ යෙදුණහ. හින්දුත්වවාදී තර්ජනවලින් විසම්මුතිකයන් සහ සැක කරන්නන් බය කෙරිණ. දේශද්‍රෝහී නොවන ලෙස ඔවුන්ට අනතුරු හැගවිණි. උතුරු ඉන්දියාවේ සෑම වීදි කොනකම පහල වෙන්නට පටන් ගෙන තිබෙන, එක දුරකථන ඇමතුමකින් ගෙන්වා ගත හැකි හින්දුත්වවාදී මැර කල්ලිවල ප්‍රහාරයට ලක්වීමේ භීතියට ඔවුන් යටත් කෙරුණි. 

ඒත් එක දවසකින් දේවල් වෙනස් විය හැක. ව්‍යාජ ජයග්‍රාහී හැගීම ඉතාම ඉක්මනින් පහවී ගියේ පකිස්ථානය ප්‍රතිප්‍රහාර දීමත් සමගය. ප්‍රහාරක ගුවන් යානයක් බිම දැමූ පකිස්ථානය ඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් නියමු වින්ග් කොමාන්ඩර් අබිනන්දන් වර්ධමන්ව අල්ලා ගත්හ. මෙම අල්ලා ගැනීම ඉදිරි මැතිවරණය ගැන බීජේපී පක්ෂයට වූ දීප්තිමත් රෝස පැහැති අපේක්ෂා තරමක් දුර්පැහැ ගැන්වීමෙහිලා හේතු විය. 

මැතිවරණ දේශපාලනය සහ ඊලග ඡන්දය කවුරු ජය ගනු ඇද්ද ආදී කරුණු පසෙක තබා බලන්නේ නම් මෝඩිගේ හැසිරීම සමාව දිය නොහැකි එකක් බව පැහැදිලිය. හෙතෙම බිලියන සංඛ්‍යාත ජනයාගේ ජීවිත පරදුවට තබා ඇති අතර කාශ්මීරයේ යුද්ධය සාමාන්‍ය ඉන්දියානුවන්ගේ දොරකඩ වෙත ගෙන ඒමට ක්‍රියා කොට තිබේ. උදේ දවල් හා රෑ තිස්සේ උමතු ලෙස මොර ගසන රූපවාහිනිය තම දුක්ඛ දෝමනස්සයන් - රස්සා නැතිකම, බඩගින්න, සුලු ව්‍යාපාර වැසී යාම, ගෙවල්වලින් එලවා දැමීමේ තර්ජනය, විනිසුරුවරුන්ගේ අභිරහස් මරණ විමර්ශනයට ලක්කල යුතු බවට වූ ඉල්ලීම්, ඉන්දීය ඉතිහාසයේ වඩාත්ම දූෂිත ආරක්ෂක ගනුදෙනුව කලේ කවුදැයි කරන සොයාබැලීම්, තමුන් මුස්ලිම් නම්, දලිත් නම් හෝ ක්‍රිස්තියානි නම් කොයි මොහොතේ පහරදීමට ලක්වේදැයි තිබෙන බිය - මේ ආදී වූ සියලු දුක් සංකා අමතක කොට ජාතික අභිමානයේ නාමයෙන් තමන්ව අසරණභාවයට ලක්කල අයටම ඡන්දය දිය යුතු බවට ඉන්දීය පොදු ජනයාට යෝජනා කරමින් සිටී. 

මෙම ආණ්ඩුව ඉන්දියාවේ ආත්මය ඉතාම ගැඹුරින් තුවාල කොට ඇත. යලි සුවපත් වීම සදහා අපට අවුරුදු ගණනාවක් ගත වනු ඇත. එම ක්‍රියාවලිය අවම වශයෙන් පටන් ගැනීමට නම් අප මෙම භයානක, ලේ පිපාසිත වංචනිකයින් රැල එලවා දමන ලෙසකට ඡන්දය භාවිතා කල යුත්තෙමු.  

කිසිවෙක්ගේ අදහස් නොවිමසා රටේ එතෙක් භාවිතා වෙමින් තිබුණු මුදල්වලින් සියයට අසූවක් නීති විරෝධී බව එක රැයෙන් නිවේදනය කොට රටේ බිලියන සංඛ්‍යාත ජනතාවකගේ ආර්ථික පිට කොන්ද කඩා දැමූ අගමැතිවරයෙක් අප ඉවසිය යුතු නැත. ඉතිහාසයේ මෙවැන්නක් මීට පෙර සිදුවීද? විශාල අර්බුදයක් රට වෙලා ගන්නා විට තමා ගැන හදන චිත්‍රපටියක් වෙනුවෙන් ජාතික උද්‍යානයේ කෙරෙන රූගත කිරීම්වලට සහභාගී වන ගමන් ඊලගට කල යුතු දේ තමුන් හමුදාවට භාර දී තිබෙන බවට මහත් උදාරම්ව ප්‍රකාශ කරන අගමැතිවරයෙක් අප ඉවසිය යුතු නැත. මෙවැන්නක් කල ප්‍රජාතන්ත්‍රවාදීව ඡන්දයෙන් තේරී පත්වූ කිසිදු නායකයෙක් ඉතිහාසයේ සිටියේද?

මෝඩි යා යුතුය. ඔහු වෙනුවට ඇති විය හැක්කේ භේදයන්ගෙන් යුක්ත, පසමිතුරුතා ගහණ, අස්ථාවර සභාග ආණ්ඩුවක් විය හැක. එය කමක් නැත. ප්‍රජාතන්ත්‍රවාදයේ සාරය එයයි. එය දැනට තිබෙන තත්වයට වඩා සබුද්ධික හා අඩුවෙන් වගකීම් විරහිත තත්වයකි. 

අල්ලා ගත් ගුවන් නියමුවා ගැන ප්‍රශ්නය ඉතිරි වී තිබේ. පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් ගැන තිබෙන විවිධ අදහස් සහ කාශ්මීර අර්බුදය තුල පකිස්ථානය රගදක්වන භූමිකාව ගැන විවේචන සියල්ල තිබියදී හෙතෙම මෙම අර්බුදය පුරාවට ගෞරවාන්විත හා වගකීම්සහගත ලෙසකට ක්‍රියා කලේය. වර්ධමන් වෙත ජිනීවා සම්මුතීන්ට අනුව යුද සිරකරුවන්ට ලැබිය යුතු සියලු අයිතිවාසිකම් ලැබිය යුතු බව ඉල්ලා සිටින විට ඉන්දීය ආණ්ඩුව නිවැරදිය. පකිස්ථාන රැදවුම් භාරයේ සිටිය දී ඔහුව බැලීමට අන්තර්ජාතික රතු කුරුස සංවිධානයට අවසරය ලැබිය යුතු බවට වූ ඉල්ලීම නිවැරදිය. හොද හිත පෙන්වීමේ සංඥාවක් ලෙස ගුවන් නියමුවා නිදහස් කරන බව අද අගමැති ඉම්රාන් ඛාන් ප්‍රකාශ කොට ඇත. 

මේ හා සමානවම ඉන්දියාවටත් කාශ්මීරයේ සහ ඉන්දියාවේ වෙනත් ප්‍රදේශවල දේශපාලන සිරකරුවන්ට සැලකිය හැකිද? ජිනීවා සම්මුතීන් ප්‍රකාර ඔවුන්ගේ අයිතිවාසිකම් පිලිගනිමින් රතු කුරුස සංවිධානයට ඔවුන් බැලීමට තිබෙන අයිතිය ඉන්දියාවට පිලිගත හැකිද?

අප මැදි වී සිටින යුද්ධය ඉන්දියාව සහ පකිස්ථානය අතර යුද්ධයක් නොවේ. ඉන්දියාව සහ පකිස්ථානය අතර යුද්ධයක ආරම්භයක් දක්වා වර්ධනය වී තිබෙන්නේ කාශ්මීරයේ යුද්ධයයි. කොයි මොහොතක හෝ අපව ප්‍රචණ්ඩත්වය හා න්‍යෂ්ඨික යුද්ධයක් වෙත ඇද දැමිය හැකි, කිව නොහැකි තරම් වූ හිංසනයක සහ සදාචාරාත්මක නාය යාමක සැබෑ වේදිකාව වන්නේ කාශ්මීරයයි. මෙය වැලැක්වීමට නම් කාශ්මීරයේ ගැටුම ආමන්ත්‍රණය කල යුතුය. එය විසදිය යුතුය. එය විසදිය හැක්කේ තමුන් සටන් කරන්නේ කුමක් වෙනුවෙන් ද, තමුන්ට ඇත්තටම අවශ්‍ය මොනවාද යන්න නිදහස්ව සහ බිය නැතිව ලෝකයා වෙත කීමට කාශ්මීර වැසියන්ට අවස්ථාව ලබා දීමෙන් පමණි. 

දයාබර ලෝකය, මේ සදහා මගක් සොයාගනු මැනව. 


Comments

Popular posts from this blog

සිංහල ජාත්‍යානුරාගයේ ප්‍රතිරූප දෙකක් : ඉරාජ් වීරරත්න සහ එදිරිවීර සරච්චන්ද්‍ර

කෙටි විසඳුම් නැති ගෘහස්ථ ණය අර්බුදය

පුත්තලම රංගෙ බණ්ඩාර සහ වරකාපොල නාමල් කුමාර