ටර්මිනේටර් : සීසන් 2



නිලධාරිවාදී ගර්වයෙන් පිම්බුණු ලාංකීය ටර්මිනේටර්වරයාගේ පෙනුම ඔහුගේ  වැඩිමහල් සහෝදරයා සතුව තිබුණු ජනප්‍රිය මහජන දේශපාලනඥයාගේ පෙනුමට වඩා බෙහෙවින් වෙනස් වුවද, එය අඩු වැඩි වශයෙන් සමාන වන්නේ ජනප්‍රිය දේශපාලනඥයෙක්ගේ පෙනුමට වඩා ලතින් ඇමරිකානු පන්නයේ හමුදා ඒකාධිපතියෙක්ගේ පෙනුමට වුවද, ටර්මිනේටර්වරයාගේ ආගමනය සිංහල සමාජය තුල මහත් උද්‍යෝගීමය ප්‍රතිචාරයක් ජනිත කොට තිබේ. මෙය එක් අතෙකින් අමුතු දෙයක් නොවේ. 2018 වර්ෂයේ පැවැත්වුනු පලාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයගැන්මෙන් පසු, එම පක්ෂය ආණ්ඩු බලය ඩැහැගැනීම හුදෙක් කාලය පිලිබද ප්‍රශ්නයක් පමණක් විය. ඉදිරි ජනාධිපතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂය කවරෙක් ඉදිරිපත් කල ද සිංහල සමාජය තුල එම තරගයේ වැඩි වාසිය ටර්මිනේටර්වරයා සතු බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන කාරණාවකි.

රටේ විනය නැතිවීම ගැන විස්සෝප වන, ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ සිය පූර්ව වාර්තාව ගැන උදම් අනන, නාගරික සංවර්ධනය ‘විධිමත්’ කිරීම ගැන අධිකාරීමය ලෙස ප්‍රතිඥා දෙන ටර්මිනේටර්වරයාගේ ආගමනය විසින් නොවැලැක්විය හැකි ප්‍රති-ප්‍රවාදයක් නිර්මාණය කොට තිබේ. එනම් ගෝඨාභය නැවැත්වීම සදහා සියලු විකල්ප බලවේග එක් කදවුරකට - එනම් එක්සත් ජාතික පක්ෂය විසින් නායකත්වය දෙන කදවුරට ගොනු විය යුතු බවට වූ ප්‍රවාදයයි. එක්සත් ජාතික පක්ෂයේ රනිල් පිලේ ආධාරකරුවෙක් වන එක්තරා ප්‍රකට ෆේස්බුක් මත දක්වන්නෙක් ගෝඨාභය අභිෂේකය සමග නැගුණු රතිඤ්ඤා හඩට සලිතව මුහුණු පොතේ සටහන් කොට තිබුණේ ලංකාවේ බහුතරය ග්‍රාමීය බයියන් බවත්, ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස ආදී වටිනාකම් අරුචි බවත්, ටර්මිනේටර්වරයාට තරගයක් දිය හැකි එකම එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස වන බැවින් - සජිත් ද ටර්මිනේටර්වරයා තරම්ම ‘බයියෙක්’ වූවත් - හිත හදාගෙන සජිත්ට මනාපය දීම හැර ඉදිරි ජනාධිපතිවරණයේ දී වෙනත් විකල්පයක් නොමැති බවයි. මීට සමාන්තරව, වාමාංශික අදහස්වලට නැඹුරු එක්තරා දමිල ජාතික කථිකාචාර්යවරයෙක් ද තුන්වන අපේක්ෂකයෙක් ගැන සිතීමට මේ මොහොත අපට ඉඩ නොදෙන බවත්, ෆැසිස්ට්වාදී ටර්මිනේටර්වරයා පරාජය කිරීම උදෙසා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කදවුරට සහයෝගය දීමට සිදුවන බවත් ව්‍යංගයෙන් යෝජනා කොට තිබුණි. ටර්මිනේටර්ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය තීව්‍ර ලෙස දිග හැරෙන්නට නියමිත ඉදිරි පසුබිම තුල යම් ප්‍රගතිශීලී නැඹුරුවක් තිබෙන දේශපාලන මත දක්වන්නන් අතර මෙම අදහස ඉදිරියේ දී තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කල හැක.

ටර්මිනේටර් ආගමනය වැලැක්වීමට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කදවුරට සහයෝගය දැක්වීම අර්ථයක් තිබෙන දෙයක්ද? මේ ප්‍රශ්නයට පිලිතුරු දීම සදහා පලමුව අපි දේවල් ඒවා ඇති සැටියෙන් තේරුම් ගත යුතු වෙමු. ටර්මිනේටර්වරයා යනු රාජපක්ෂවාදය නම් දේශපාලන ව්‍යාපෘතියේ වත්මන් අනුප්‍රාප්තිකයාය. රාජපක්ෂවාදය යනු හුදෙක් ගම්බද බයියන්ගේ අඥානකමේ හා ජාතිවාදයේ ප්‍රකාශනය යැයි සිතීම සුවපහසු නාගරික ජීවිත ගත කරන මැද පන්තික ලිබරල්වාදීන්ට පහසු විය හැකි වුව ද එය බෙහෙවින් ඌනිත තේරුම් ගැනීමකි. 2005 ට පසු රට තුල සංකේන්ද්‍රණය වීම පටන් ගත් රාජපක්ෂවාදී දේශපාලන ව්‍යාපෘතිය ජනප්‍රියවාදී ව්‍යාපෘතියකි. ජනප්‍රියවාදී ව්‍යාපෘතීන්වල ලක්ෂණය වන්නේ දේශපාලනය ‘අප’ සහ ‘උන්’ ලෙස පසමිතුරුතාමය තේරුමින් අක්ෂගත කොට සංවිධානය කිරීමය. උදාහරණයක් විධිහට, සමකාලීන ජාත්‍යන්තර දේශපාලනයේ ජනප්‍රියවාදී ව්‍යාපෘතියකට තිබෙන හොදම නිදසුන වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ව්‍යාපාරය ගත්තහම ට්‍රම්ප් ඇමරිකානු සුදු ජාතිකයාට මෙසේ කියයි : ‘ඔබගේ දෛනික ප්‍රශ්නවලට හේතුව රට තුලට අනවසරයෙන් ඇතුලු වී ඔබගේ රැකියා සොරකම් කරන සංක්‍රමණිකයින්ය. අන්‍ය ජාතිකයින්ය. එම අන්‍ය ජාතිකයින්ගේ අයිතිවාසිකම් රකින්නට කථා කරන - බහුසංස්කෘතිකවාදය ආදී මගුල් ප්‍රචාරය කරන - ලිබරල් සංස්ථාපිතයය. මේ ප්‍රභූ සංස්ථාපිතයට සහ නොරටුන්ට - එනම් ‘උන්ට’ - එරෙහිව ‘අපි’ එකතු වී බලය ලබා ගත යුතුය’.

රාජපක්ෂවාදී ව්‍යාපෘතිය සිංහල සමාජය තුල ලබන සාර්ථකත්වය ද මේ හා සමාන විධිහකට ‘අප’ සහ ‘උන්’ වෙන් කරමින් ගොඩනගන කතිකාමය බෙදුම්කඩනයක් තුලින් ගලා එන්නකි. මේ  කතිකාව අනුව ‘අප’ යනු සිංහල පොදු ජනයාය. මෙහි සිංහල පොදු ජනයා යන ප්‍රවර්ගයට පන්ති භේදයක් නැත. සිංහල නාගරික මැද පන්තිකයාගේ සිට ගම්බද දිලින්දා දක්වා, ඉරාජ් වීරරත්නගේ සිට ජැක්සන් ඇන්තනී දක්වා, පියුමි හංසමාලිගේ සිට නලින් ද සිල්වා දක්වා සියල්ල මෙම ‘අප’ යන්න තුල අන්තර්ගතය. මෙම අපේ කදවුර ගොඩනැගෙන්නේ කවරකට ප්‍රතිවිරුද්ධවද? සිංහලයාට රටේ තිබෙන තැන අහිමි කිරීමට උත්සාහ කරන සුලු ජාතිකයින්, ඊට සහය දෙන විජාතික බලවේග, එම විජාතික බලවේග සමග නියමින් හෝ අනියමින් සන්ධානගතව සිටින සුලු ජාතීන්ගේ අයිතිවාසිකම් හා එවැනි රටට නොගැලපෙන දේවල් වෙනුවෙන් පෙනී සිටින ලිබරල් කව හා ඇතැම් වාමාංශික කොටස් මෙම ‘අනෙකා’ සංයුක්ත කරයි. දේශපාලන පසමිතුරුතාවය ඉතාම තියුණු ලෙස සලකුණු කරන මෙම එදිරිවාදී ආමන්ත්‍රණය සමග නව ලිබරල් සංවර්ධන කතිකාවේ අංගෝපාංග (ගෝඨාභයගේ නාගරික සංවර්ධන ව්‍යාපෘති) සහ එක්තරා විධිහක රාජ්‍ය සුබසාධනවාදී කතිකාවක අංගෝපාංග (බැසිල් රාජපක්ෂ) ශූර ලෙස සුසංයෝග වී නිර්මාණය වූ හෙජමොනික ව්‍යාපෘතියකි රාජපක්ෂවාදය.

මෙම ව්‍යාපෘතියට සිංහල පොදුජන සමාජය මහා පරිමාණයෙන් ආකර්ෂණය වන්නේ ඇයි? මෙම බහුජන ආකර්ෂණය හුදෙක් බයියන්ගේ මෝඩකම හෝ වහල්කම ලෙස විස්තර කල නොහැකි සංකීර්ණ ප්‍රපංචයකි. අප විසින් නගන තර්කය මෙයයි. රාජපක්ෂවාදය වෙත තිබෙන විශාල මහජන ආකර්ෂණය පසුපස ජාතිවාදය බදු පසුගාමී ගතානුගතිකත්වයන් පැහැදිලි භූමිකාවක් ඉටු කරන බව සැබෑ නමුදු - එම ආකර්ෂණය පසුපස තවත් වැදගත් සාධකයක් ද පවතී. එය වූ කලී ස්වාධිපත්‍යය සදහා මහජනයා අතර තිබෙන ප්‍රජාතාන්ත්‍රීය ආවේශයයි.

මෙම සාධකය තේරුම් ගැනීමට නම් අප රාජපක්ෂවාදී ව්‍යාපෘතිය එහි පසමිතුරු අනෙක් ව්‍යාපෘතිය වන - වර්තමානය වනවිට රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුක්ත - ලිබරල් ව්‍යාපෘතිය යැයි නම් කල හැකි ව්‍යාපෘතිය සමග සංසන්දනය කල යුතුය. මෙම ලිබරල් ව්‍යපෘතියේ බිහිවීම තරමක මෑතකාලීන, එනම් 1990 ගණන් - විශේෂයෙන්ම චන්ද්‍රිකා කුමාරතුංගගේ 1994 මැතිවරණ ජයග්‍රහණය දක්වා දිව යන සංසිද්ධියකි. ඓතිහාසික වශයෙන් එක්සත් ජාතික පක්ෂය ආර්ථික වශයෙන් දක්ෂිණාංශික හා සමාජමය වශයෙන් තත්වාරක්ෂකවාදී පක්ෂයක් වූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආර්ථික වශයෙන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නැඹුරුවක් සහිත සමාජමය වශයෙන් තත්වාරක්ෂකවාදී පක්ෂයක් විය. එහෙත් සෝවියට් දේශයේ බිද වැටීමෙන් ඉක්බිති 1990 ගණන්වලින් පසුව ඇති වූ නව ලෝක තත්වයේ බලපෑම තුල, විශේෂයෙන් බටහිර රටවල ණය ආධාර ප්‍රතිපත්තිවල ඇති වූ වෙනස්කම් සමග මෙම සමීකරණය යම් වෙනස් වීමකට භාජනය විය. අප අද දකින ලිබරල් ව්‍යාපෘතිය මෙම විපර්යාසයේ ප්‍රතිඵලයකි. 1994 සිට 2005 දක්වා එක්සත් ජාතික පක්ෂය වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද ස්ථානගත වූයේ අඩු වැඩි වසයෙන් මෙම ලිබරල් ව්‍යාපෘතිය තුලය. 2005 න් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම අක්ෂයෙන් ගිලිහුණු අතර වර්තමානයේ එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ පාර්ශවය විසින් මෙම ව්‍යාපෘතිය නියෝජනය කරයි.

මෙම ව්‍යාපෘතියේ අංගලක්ෂණ මොනවාද? ආර්ථිකමය වසයෙන් එය දැඩි ලෙස නව ලිබරල්වාදයට නැඹුරු වූවකි. ඒ අර්ථයෙන් ගත්තහම බටහිර බලගතු රටවල් සමග, ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන සමග මෙම ව්‍යාපෘතියට සමීප සම්බන්ධයක් තිබේ. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ නායකත්වය යටතේ මෙම නැඹුරුව ඉතාම මූලධර්මවාදී ලෙස දක්නට ලැබේ. අනෙක් අතට, ඇතැම් දේශපාලන ප්‍රශ්න සම්බන්ධයෙන් එය සතුව ‘ප්‍රගතිශීලී’ මුහුණුවරක් ඇත. මෙම ප්‍රගතිශීලී මුහුණුවර බටහිර රටවල ණය ආධාර වැඩසටහන් තුලින් මේ ව්‍යාපෘතිය තුලට රිංගා ගත් එකකි. ජනවර්ග ප්‍රශ්නයට විසදුමක් ලෙස බලය බෙදීමට එකග වීම, සුලු ජාතික අයිතිවාසිකම් ගැන සාධනීය ප්‍රතිචාර දැක්වීම ආදිය තුලිනි මෙම ප්‍රගතිශීලී මුහුණුවර එය විසින් ආරෝපණය කර ගෙන තිබෙන්නේ. දේශපාලන විචාරිකාවක වන නැන්සි ෆ්‍රේසර් බටහිර රටවල ප්‍රධාන ධාරාවේ ලිබරල් දේශපාලනය විශ්ලේෂණය කිරීම සදහා යොදාගන්නා ‘ප්‍රගතිශීලී නව ලිබරල්වාදය’ යන වහර මෙම ව්‍යාපෘතිය හැදින්වීමට සුදුසුය. ‘ප්‍රගතිශීලී’ නව ලිබරල්වාදයේ ලාංකීය ප්‍රකාශනය සදහා හොදම උදාහරණය වන්නේ අමාත්‍ය මංගල සමරවීරය. සමාජයේ ස්ථාපිත සංස්කෘතික ගතානුගතිකවාදයන්ට එරෙහිව ප්‍රසිද්ධියේ රණ ගොස නගන හෙතෙම අනෙක් අතට මුදල් අමාත්‍යවරයා විධිහට මෙරට සුලු ගොවීන් හා නිෂ්පාදකයින් අස්වාමික කරන ඊනියා නිදහස් වෙලද ගිවිසුම්වල උද්‍යොගීමත් ආධාරකරුවෙකි. කාන්තා අයිතිවාසිකම්වලට සංවේදී වී කාන්තාවන් සදහා වෙනම දුම්රිය මැදිරි වෙන් කිරීමට යෝජනා කරන ඔහුගේ අය වැය අනෙක් අතට අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීම සදහා, කම්කරු නීති කප්පාදු කිරීම සදහා, ඉඩම් වෙලදපොල ලිහිල්කරණය කිරීම සදහා ඉතාම ආක්‍රමණශීලී යෝජනා ද ඉදිරිපත් කරයි.

අනෙක් අතට මෙය බෙහෙවින් ප්‍රභූවාදී ගති ලක්ෂණවලින් යුක්ත ව්‍යාපෘතියක් ද වෙයි. වෙනත් වචනවලින් කියනවා නම්, රාජපක්ෂවාදය විසින් සංවිධානය කරන සිංහල පොදු සමාජයට ලිබරල් ව්‍යාපෘතිය පෙනෙන්නේ බටහිර ගැති, පොදු ජනයාගේ සමාජ ආර්ථික අයිතිවාසිකම් සත පහකට මායිම් නොකරන, පොදු සමාජයෙන් වියෝ වූ සංස්ථාපිතයක් ලෙසය. මෙම ප්‍රභූවාදී පැතිකඩ සමග එම ව්‍යාපෘතිය පෙනී සිටින ප්‍රගතිශීලී ලිබරල් වටිනාකම් ද ගැට ගැසී තිබේ. මෙම ගැටගැසීමේ ප්‍රතිඵල ලෙස සුලු ජාතික අයිතිවාසිකම්, බලය බෙදීම, මානව අයිතිවාසිකම් ආදී දෑ ද බටහිර සංස්ථාපිතය විසින් අප මත පැටවූ අනවශ්‍ය කුණුකන්දල් ලෙස සිංහල පොදු සමාජය වෙත අර්ථ දැක්වීමේ හැකියාව එහි ප්‍රතිවාදීන්ට ලැබී තිබේ. සිංහල සමාජයේ අති විශාල ජනකායකට මෙම ව්‍යාපෘතිය තමුන්ව නියෝජනය කරන බවක් හැගෙන්නේ නැත. මෙම නියෝජිතත්වය පිලිබද ප්‍රශ්නය එහි නියමුවන් මුහුණ දෙන බරපතලම ප්‍රශ්නයකි. ලිබරල් ව්‍යාපෘතිය හා එහි නායකත්වය සිංහල පොදු සමාජයට පිටස්තරය. ආගන්තුකය. එය ඔවුන් වෙත දිස්වන්නේ තමුන්ට ආගන්තුක බාහිර බලවේගවල රූකඩයක් ලෙසය. ‍

ප්‍රජාතන්ත්‍රවාදයේ එක් පදනම් ශික්ෂාවක් වන්නේ මහජන ස්වාධිපත්‍යය සහ නියෝජිතත්වය ගැන අදහසයි. නූතන ප්‍රජාතන්ත්‍රවාදය පැන නැංගේ ජාතික රාජ්‍යයේ සන්දර්භය තුලය. එම සන්දර්භය තුල මහජනයා ස්වාධිපත්‍යය අභ්‍යාස කරන්නේ සිය නියෝජිතයින් හරහාය. ස්වාධිපත්‍යය පිලිබද මෙම අභිලාෂය බෙහෙවින් බලගතු ප්‍රජාතාන්ත්‍රීය අභිලාෂයකි. ලිබරල් ව්‍යාපෘතිය ගැන දකුනු ලංකාව තුල පැතිරී තිබෙන ගැඹුරු අතෘප්තියේ එක් මූලයකි එම ව්‍යාපෘතිය ස්වකීය නියෝජනයක් ලෙස සාතිශය බහුතරයක් ජනයා වෙත නොදැනීම. මෙය හුදෙක් පෙනුම පිලිබද ප්‍රශ්නයක් නොව ප්‍රතිපත්ති පිලිබද ද ප්‍රශ්නයකි. උදාහරණයකින් කියනවා නම්, පොහොර සහනාධාරය දෙන මහින්ද රාජපක්ෂ සහ කුඹුරු ඉඩම් ගොඩකිරීමට මාන බලන රනිල් වික්‍රමසිංහ යන වරණය දුන් විට සාමාන්‍ය ගොවියෙක්ට ‘තම නියෝජිතයා’ යැයි හැගෙන්නේ කවුද?  සරල රූපකයකින් මෙය තවදුරටත් පැහැදිලි කරනවා නම්, 2015 දී බලය අහිමි වූ විට මහින්ද රාජපක්ෂ කල පලමු ක්‍රියාව වූයේ ආපසු මැදමුලනට ගොස් මහජනයා ඇමතීමය. 2018 දී ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් මගින් රනිල් වික්‍රමසිංහට බලය අහිමි වූ විට හෙතෙම කල පලමු ක්‍රියාව වූයේ බටහිර රටවල තානාපති නිලධාරීන්ට සිය දුක් ගැනවිල්ල ඉදිරිපත් කිරීමය.

මෙබදු තන්ත්‍රයක් තමුන්ට බාහිර, ආගන්තුක බලවේග විසින් මෙහෙයවෙන රූකඩ තන්ත්‍රයක් ලෙස පොදු ජනයාට පෙනී යාම පුදුමයක් නොවේ. එබදු රූකඩ තන්ත්‍රයක් ගැන පැතිරී තිබෙන අවිශ්වාසය සහ අතෘප්තිය හුදෙක් ‘ජාතිවාදී යමක්’ ලෙස බැහැර කල නොහැක්කකි. එම අතෘප්තිය වර්තමානයේ ප්‍රකාශමාන වී තිබෙන්නේ සුලු ජාතීන්ට එරෙහිව තිබෙන විරෝධය හා මුසුව සිංහල ජාතිවාදී ලෙසකින් බව සැබෑ වුවද, එම අතෘප්තිය යට ප්‍රජාතන්ත්‍රවාදයේ අත්‍යවශ්‍ය සංරචක වන මහජන ස්වාධිපත්‍යය සහ නියෝජිතත්වය අහිමි වීම පිලිබද හැගීම ද කැකෑරෙමින් තිබෙන බව වටහා ගත යුතුය. මෙන්න මේ අතෘප්තිය ‘අප’ සහ ‘උන්’ ලෙස සමාජය දෙකට බෙදමින් කරනු ලබන දක්ෂ ව්‍යාපෘතියක් හරහා රාජපක්ෂවාදය විසින් ජාතිවාදී ලෙසකට සංවිධානය කරන අතර නියෝජිතත්වය පිලිබද ප්‍රශ්නය ජාතිවාදය සමග සුසම්බන්ධ කිරීම රාජපක්ෂ ව්‍යාපෘතියේ සාර්ථකත්වයට විසාල වශයෙන් බලපා තිබෙන හේතුවකි.

ප්‍රශ්නය දිහා මේ විධිහට බැලුවහම රාජපක්ෂවාදී ජනප්‍රියවාදය පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂයට ආධාර කිරීම තේරුමක් නැති ක්‍රියාවක් වන්නේ ඇයි දැයි පැහැදිලි වේ. එක්සත් ජාතික පක්ෂයේ ලිබරල් ව්‍යාපෘතිය සහ රාජපක්ෂවාදී ජනප්‍රියවාදය යනු එකම කාසියේ දෙපැත්තය. පලමුවැන්න විසින් පොදුජනයා අතර නිර්මාණය කරන විගලිතභාවය පිලිබද හැගීම විසින් දෙවැන්න පෝෂණය කරයි. ශක්තිමත් කරයි. (රනිල් වික්‍රමසිංහ වෙනුවට සජිත් ප්‍රේමදාස ලෙස කරන මුහුනු මාරුවකින් මෙම තත්වය වෙත කරනු ලැබිය හැකි බලපෑම වෙනම සංවාදයකි. එම සංවාදය වෙනම ගත හැක)

රාජපක්ෂවාදී හෙජමොනික ව්‍යාපෘතිය පරාජය කිරීමට අවශ්‍ය නම්  අවබෝධ කරගත යුතු පලමු පාඩම වන්නේ එම ව්‍යාපෘතිය වෙත සිංහල පොදු ජනයා අතර තිබෙන ආකර්ෂණය හුදෙක් ජාතිවාදයට හෝ බයියන්ගේ මෝඩකමට ලඝු කල නොහැකි බවයි. එම ව්‍යාපෘතියට සහය දෙන ඇතැමෙක් ගලේ ගැසුවත් වෙනස් නොවෙන උග්‍ර ජාතිවාදී හා ප්‍රතිගාමී අදහස් දරන්නන් විය හැකි වුවද ඊට ආකර්ෂණය වී සිටින සැලකිය යුතු ජනතාවක් - විශේෂයෙන්ම පහල පාන්තික ජනතාවක්- එලෙස සහයෝගය දීම සදහා නියෝජිතත්වය පිලිබද ප්‍රශ්නය ද හේතු වී තිබෙන බව වටහා ගැන්ම වැදගත්ය. ටර්මිනේටර්වරයා පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභූවාදී ව්‍යාපෘතිය සතුව තිබෙන ශක්තිය දුර්වල එකක් වන්නේ මෙන්න මේ පසුබිම නිසාය. එම ප්‍රභූවාදී ව්‍යාපෘතියට කර ගැසීම එලෙස කර ගසන්නවුන් ද ඉතිහාසයේ කුණු බක්කියට විසි කර දැමීමට හේතු වන අඥාන තීරණයකි.

ටර්මිනේටර් අභියෝගයට සාර්ථකව මුහුණ දිය හැකි එකම විධිය ඔහු විසින් නියෝජිත අධිකාරීත්ව-ජනප්‍රියවාදයට වගේම එක්සත් ජාතික පක්ෂයේ නව ලිබරල් ප්‍රභූවාදයට ද එරෙහි තුන්වන බල හවුලක් ශක්තිමත් කිරීමය. එම බල හවුල ද්විත්ව අර්ථයකින් ප්‍රගතිශීලී විය යුතුය. එනම් එක් අතෙකින් මහජන ස්වාධිපත්‍යය වෙනුවෙන් පෙනී සිටින නව ලිබරල් විරෝධී සහ අධිරාජ්‍ය විරෝධී ආර්ථික වැඩපිලිවෙලකින් ද, අනෙක් අතට මානව අයිතිවාසිකම් ආදී ප්‍රගතිශීලී ලිබරල් වටිනාකම් වෙනුවෙන් පෙනී සිටින දේශපාලන වැඩපිලිවෙලකින් ද යුක්ත වූවක් විය යුතුය. ‘සතුරා’ සහ ‘අප’ යන්න වෙනස් විධිහකට නිර්වචනය කල හැකි සටන්කාමී උපායමාර්ගයක් එය සතු විය යුතුය. මෙබදු හවුලක් ඇති කිරීම සම්බන්ධයෙන් සමහර විට මේ මැතිවරණයේ දී ලොකු දෙයක් කල නොහැකි වීමට පුලුවන. ලොකු දෙයක් කල හැකි වුවත් නැතත් ඉදිරි මාවත වැටී තිබෙන්නේ එවැනි වෙනස් පරිකල්පනයක් තුල බව නිශ්චිතවම සටහන් කල යුතුය.

- රමිදු පෙරේරා





Comments

Popular posts from this blog

සිංහල ජාත්‍යානුරාගයේ ප්‍රතිරූප දෙකක් : ඉරාජ් වීරරත්න සහ එදිරිවීර සරච්චන්ද්‍ර

පුත්තලම රංගෙ බණ්ඩාර සහ වරකාපොල නාමල් කුමාර

2019 අය වැය : මිල්ටන් ෆ්‍රීඩ්මාන්ට සුබසාධනවාදී වෙස්මුහුණක් දැමීම