දේශපාලන අර්බුදය සහ පහල මාලයේ දේශපාලන බලයක් ගොඩනැගීම


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අගමැති රනිල් වික්‍රමසිංහ එම ධූරයෙන් ඉවත් කිරීම සමග ඇති වී තිබෙන නව දේශපාලන වටපිටාව පිලිබදව 'පහල මාලයේ ජනයා බල ගැන්වීමේ ව්‍යාපාරය' විසින් නිකුත් කල නිවේදනය පහත පල වේ. උතුරේ සහ දකුණේ ගොවි, ධීවර, කම්කරු වෘත්තීය සමිති හා බහුජන සංවිධාන නියෝජිතයින්ගෙන් සමන්විත පහල මාලයේ ජනයා බල ගැන්වීමේ ව්‍යාපාරය එම ජනයාගේ දේශපාලන අභිලාෂයන් නියෝජනය වන බලවේගයක් ගොඩනැගීමේ අරමුණින් ක්‍රියාත්මක වේ. 

                •                                                                     
ජනාධිපතිවරයා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත් කොට මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පත් කොට ඇත. විධායක ජනාධිපතිවරුන් විසින් රටේ ප්‍රජාතන්ත්‍රවාදී සාම්ප්‍රදායන්ට පිටුපාමීන් බලය අපයෝජනය කිරීම ශ්‍රී ලංකාවට අලුත් අත්දැකීමක් නොවන අතර සිරිසේන ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාමාර්ගයද එවැනිම වූ ක්‍රියාවකි. ඒ මගින් ප්‍රභූ දේශපාලන පරිමන්ඩලයේ අර්බුදයක් ඇති කොට තිබෙන අතර පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය දිනාගන්තේ කවුරුන් විසින්දැයි පෙන්වීම මත ප්‍රභූ තන්ත්‍රයේ මෙම ගැටුම අවසන් කල හැකිය. කෙසේ වෙතත් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව කල් තැබීමේ තීරණය හේතුවෙන් රට තුල අරාජික හා අවිනිශ්ෂිත තත්වයක් වර්ධනය වී ඇත. දෙපාර්ශවයම බල අරගලයේ යෙදෙමින් මන්ත්‍රීවරුන්ගේ පක්ෂපාතීත්වයන් මිල දී ගැනීමේ සටනක යෙදී සිටී. ජනාධීපතිවරයාගේ අත්නෝමතික ක්‍රියාකලාපය නිසා මේ වන විට ඉහළ මාලයේ දේශපාලන බල අරගලයේ වන්දිය පහල මාලයේ ජන ජීවිතවලින් ගෙවීමට සිදු වී ඇත. එම නිසා තවදුරටත් සාමාන්‍ය ජනතාවගේ ජීවිත බිලි නොගෙන ජනාධිපතිවරයා වහාම පාර්ලිමේන්තුව රැස් කර ඇති වී ඇති අර්බුදය අවසන් කිරීමට කටයුතු කල යුතු බව අප අවධාරණය කරමු.
කෙසේ වෙතත් මෙම පෙරලිය සිදු වී ඇත්තේ යහපාලන ආණ්ඩුව විසින් ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට අසමත් වූ පසුබිමක් තුල බවද අප පවසා සිටිමු. යහපාලන රජය ජනතා විරෝධී ජාත්‍යන්තර මුල්‍ය ආයතන මගින් මෙහෙයවන ආර්ථික වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන ලදී. මේ අතර රජයේ වැඩි අවධානයක් යොමු වුයේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර බලපොරයකටය. මහජනතාව අතර ඉතාමත් වේගයෙන් අප්‍රසාදයට පත් වෙමින් වැරදි කල මිනිසුන් ආරක්ෂා කරමින්, යුක්තිය පිළිබඳ අදහසට කිසිඳු අර්ථයක් එක් නොකරමින් ගෙන ගිය ගමන අවසන් වුයේ ආර්ථික ප්‍රතිපත්තිමය වශයෙන් පැවති ආණ්ඩුවට වඩා කිසිඳු විකල්පයක් නොමැති ඉතාමත් අනීතික, අත්තනෝමතික, මර්ධනකාරී පාලනයක නියුතු වූ හා ජනතාවගේ චන්දයෙන් 2015 දී බලයෙන් පහ කල රාජපක්ෂ රෙජීමය නැවත බලයට පමුණුවමිනි.
මේ සියලු වෙනස්කම් අතර පසුගිය කාලයේ දිගින් දිගටම සිදු වූ අරගල බහුත්වයක් විය. සයිටම් අරගලය, අතුරැදහන් වුවන් පිලිබඳ අරගලය, ටෙලිකොම් අරගලය, රාජ්‍යය දේපල පෞද්ගලීකරණයට විරුද්ධ හා රාජ්‍යය දේපල විකුණා දැමීමට විරුද්ධ අරගලය , ක්ෂ්ද්‍ර මුල්‍ය ණය මංකොල්ලයට එරෙහි අරගලය, අර්ථසාධක අරමුදල කොල්ලකෑමට එරෙහිව කල අරගලය, කම්කරු නීති අරගලය, ජලය පෞද්ගලීකරණයට එරෙහි අරගලය, පොහොර සහනාධාරය කැපීමට එරෙහිව කල අරගලය, නයගැතිභාවයට එරෙහිව කල අරගලය , අස්වැන්නට නියම මිලක් ඉල්ලු ගොවීන්ගේ අරගලය, ධීවර ජනතාවගේ අරගලය, වතු කම්කරුවන්ගේ අරගලය, උතුරේ අනීතික ඉඩම් මංකොල්ලයට එරෙහි අරගලය, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සදහා වූ අරගලය ආදී විශාල අරගල ප්‍රමාණයක් නෑසූකන්ව සිටි රජයට නැවතත් ප්‍රජාතන්ත්‍රවාදය සිහි වී ඇත්තේ තම බලය අහිමි වී ඇති විටදීය.
මෙම බල පෙරළිය අපට පසක් කරන්නේ ධනේශ්වර ප්‍රධාන පක්ෂවලට ප්‍රජාතන්ත්‍රවාදයට හෝ ජනතාවාදී පාලනයට අර්ථයක් ලබා දිය නොහැකි බවත් ප්‍රභූ තන්ත්‍රයේ බල පෙරළිවලට ඒවා සීමා වී ඇති බවත්ය. එසේ වුවත් දේශපාලනික, ආර්ථික හා සමාජීය ප්‍රභූ තන්ත්‍රය විසින් ප්‍රජාවගේ පාලනය සඳහා වූ අපේක්ෂාවන් නිර්වචනය කරන්නේ නැත. මෙම ප්‍රභූ පක්ෂ දේශපාලනයට එරෙහිව ඉහත කී අරගල මුල් කරගත් පීඩිත ජනතාවට පක්ෂපාතී සමාජ යුක්තිය උදෙසා වූ පහල මාලයේ ජන අරගල ව්‍යාපාරයක් වෙනුවෙන් අප සැම පෙළ ගැසිය යුතුව තිබෙන බව අවධාරණය කරමු. 
මේ අතර ජාතිවාදී, ගෝත්‍රවාදී, අත්තනෝමතිකවාදී රාජපක්ෂ රෙජීමය බලයට පත්වීමෙන් විශේෂ අවධානමකට පත් වන සංක්‍යාත්මක වශයෙන් සුළුතර ජනතාවගේ අයිතිය ආරක්ෂා කිරීම අප සැමගේ වගකීම බවත් උතුරේ හා දකුණේ පොදු පෙරමුණක් වෙනුවෙන් අප සැම පෙළ ගැසිය යුතුව තිබෙන බව අවධාරණය කරමු. ආරක්ෂා කල යුත්තේ ජනතාව මිසෙක ජනතා විරෝධී ආණ්ඩු නොවන බව තරයේ සිහිපත් කරන අපි රට ආර්ථික හා දේශපාලනික අර්බුදයේ ගිල්වන ලද ප්‍රභූ දේශපාලනයට විකල්පව ජනතා හිතවාදී අර්ථක්‍රමයක් සඳහා ප්‍රගතිශීලී බලවේගයන්ගේ සාමූහික ක්‍රියාදාමයක් වෙනුවෙන් පෙලගැසීමේ අවශ්‍යතාවය මේ අර්බූදය අපට බලකර සිටින බව මතක් කරන අතර සමානාත්මතාවය, ප්‍රජාතන්ත්‍රවාදය, යුක්තිය, සහෝදරත්වය හා නිදහස මුල්කරගත් ඒකාබද්ධ ව්‍යාපාරයක් සඳහා ජනතාව සමග සිට ගනිමු යයි ආරාධනා කර සිටිමු.

පහල මාලයේ ජනයා බලගැන්වීමේ ව්‍යාපාරය වෙනුවෙන්

ලීනස් ජයතිලක - එක්සත් කම්කරු සම්මේලනය 
චින්තක රාජපක්ෂ - ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය
ගීතිකා ධර්මසිංහ - විමුක්ති ව්‍යාපාරය

Comments

Popular posts from this blog

සිංහල ජාත්‍යානුරාගයේ ප්‍රතිරූප දෙකක් : ඉරාජ් වීරරත්න සහ එදිරිවීර සරච්චන්ද්‍ර

කෙටි විසඳුම් නැති ගෘහස්ථ ණය අර්බුදය

පුත්තලම රංගෙ බණ්ඩාර සහ වරකාපොල නාමල් කුමාර